විදු නැණ හවුල පිළිබඳව

ව්‍යාපෘතියේ පසුබිම :

ශ්‍රී ලංකාව, අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට සාපේක්ෂව ඉහළ සාක්ෂරතාවයකින් යුතු රටක් ලෙස සැලකුණ ද, පුරවැසියන් ඉගෙනගන්නා දේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට යොදාගන්නා අවස්ථා විරලය. ප්‍රයෝගික යෙදුම්වල හිඟ බව නිසා ඔවුන් තම ද්විතීක අධ්‍යාපනයේ දී ලබාගන්නා ලද විද්‍යා දැනුම පොතට පමණක් සීමාවී ඇත. මෙහි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ, පාසල් වල උගන්වන විද්‍යාව හා තාක්ෂණ‍වේදය විෂය සීමිත සිසුන් පිරිසකට පමණක් ග්‍රහණය කර ගත හැකි අසීරු විෂයක් ලෙස වැඩි දෙනෙකු සැළකීමයි. මෙසේ විද්‍යාව කෙරෙහි වැඩි දෙනා දක්වන ආකල්පය හේතුවෙන්, සිසුන්ගේ විද්‍යා සාක්ෂරතාවය පමණක් නොව, ඔවුන් විද්‍යාව ඉගෙන ගැනීමට දක්වන කැමැත්ත ද අවදානමට ලක් වී ඇත.

ඒ අනුව විද්‍යා දැනුම වර්ධනය කර ගැනීම මෙන් ම විචාරාත්මක චින්තනයක් ගොඩනගා ගැනීම ද වැදගත් බැවින් සිසුන් ගුරුවරුන් සහ පොදු ජනතාව තුළ විද්‍යාව පිළිබඳ උද්යෝගය ඔපනැංවීම වැදගත් වේ. ඉහත ගැටලු සලකා බලමින් මහනුවර ජාතික මූලික අධ්‍යන ආයතනයේ විද්‍යා අධ්‍යාපන හා ව්‍යාප්ති අංශයේ අපි, “විදු නැණ හවුල (Open Science Circle in Electronic Media)” ව්‍යාපෘතිය හඳුන්වා දෙන ලදිමු.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් බහුතරයකට ජංගම දුරකථන හා අන්තර්ජාල පහසුකම් සහිත බැවින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පහසුම හා කාර්යක්ෂමත ම මාර්ගය විද්‍යුත් මාධ්‍ය විය. ඒ අනුව 2012 වර්ෂයේ ජනවාරි මස 02 වැනිදා සිට විදු නැණ හවුල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.

සපයනු ලබන සේවාවන් :

විදු නැණ හවුල මඟින් එහි සාමාජිකයන් වෙත නොමිලයේ සපයන සේවා කීපයකි. ඒවා නම්, රජයේ නිවාඩු හැර සතියේ දිනවල කෙටි පණිවිඩ ආකාරයෙන්, විද්‍යුත් තැපෑල මගින් සහ සමාජ වෙබ් අඩවි (Facebook, Twitter, Google Plus) හරහා යවන විදු වදනක්, විද්‍යා බ්ලොග් අඩවියක් සහ සාමාජිකයන් යොමු කරන විද්‍යා ගැටලුවලට පිළිතුරු සපයන විද්‍යා හවුල නමින් කොටසක් වේ.

විදු නැණ හවුලෙහි සාමාජිකයින්හට විද්‍යාව හා බැඳුණු ගැටලු පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇති අපගේ විද්‍යා සමාජය වෙත යොමු කොට ඒවාට පිළිතුරු ලබා ගත හැකි අතර එසේ සාමාජිකයින් විසින් යොමු කරන ලද සියලු ම විද්‍යා ගැටලු මෙම වෙබ් අඩවියෙහි පල කොට ඇත.අප විදු නැණ හවුල පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම ඉතා අගය කොට සලකන බැවින් එසේ ප්‍රශ්න එවන ලද සාමාජිකයාගේ තොරතුරු අප විසින් මෙහි සඳහන් නොකරනු ලබයි.තව ද Facebook, Twitter සහ Google Plus ඔස්සේ #AskVNH යන හෑෂ්ටැග් එක යොදාගනිමින් ද සාමාජිකයන්ගේ විද්‍යා ගැටලු අප වෙත යොමු කළ හැකි අතර මෙම සියලු විද්‍යා ගැටලු සඳහා පිළිතුරු වෛද්‍යවරුන්,ඉංජිනේරුවන්,ඖෂධවේදීන් වැනි වෘත්තිකයින් සහ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සේවය කරන මහාචාර්යවරුන්,ආචාර්යවරුන් සහ පර්යේෂණ සහකාරවරුන්ගෙන් සමන්විත විදු නැණ හවුලෙහි සම්පත්දායකයින් විසින් සපයනු ලබයි.

විද්‍යා කෙටි පණිවිඩ සේවාව මඟින් අඟහරුවාදා, බදාදා හා බ්‍රහස්පතින්දා දිනවල දී සාමාජිකයන්හට භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව සහ තාරකා විද්‍යාව අදාළ විද්‍යාත්මක කරුණක් ඉංග්‍රීසි හා සිංහල භාෂා වලින් යවනු ලැබේ.සිකුරාදා දිනවලදී එදිනෙදා ජීවිතයේ දී අත්දකිනු ලබන සාමාන්‍ය සිදුවීමක් ආශ්‍රිතව ගොඩනගාගත් විද්‍යා ගැටලුවක් සාමාජිකයන්හට යවන අතර සති අන්තය තුළ එම ගැටලුවට පිළිතුරු සැපයීමට අවස්ථාව ලබාදේ. නිවැරදි පිළිතුරු සපයන සාමාජිකයන් සතියේ ජයග්‍රාහකයන් ලෙස නම් කර විදු නැණ හවුල කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද ලකුණු සටහනකට අනුව ඔවුන්ට ලකුණු පිරිනමනු ලබයි. වසර අවසානයේ වැඩිම ලකුණු එකතුවක් ලබා ගත් සාමාජිකයා හට රන් පදක්කමක් හා සහතික පත්‍රයක් පිරිනැමේ. අප විසින් මේ තාක් කල් යවා ඇති සියලු කෙටි පණිවිඩ මෙම වෙබ් අඩවියේ පළ කර ඇත.

විදු නැණ හවුල විද්‍යා බ්ලොග් අඩවිය තුළ අප විසින් ලියන ලද රසවත් විද්‍යාත්මක කරුණු අඩංගු ලිපි රැසක් ඇතුළත් කර ඇති අතර විදු නැණ හවුල සාමාජිකයන්ගේ ලිපි ද අප වෙත යොමු කළ හැකි ය. සිංහලෙන් ලියන ලද විද්‍යාත්මක ලිපි අන්තර්ජාලය තුළ සොයා ගැනීම අපහසු බැවින් අපගේ මෙම බ්ලොග් අඩවිය විශාල පිරිසකගේ පැසසුමට ලක්ව ඇත.

ප්‍රතිචාර :

විදු නැණ හවුලෙහි ඉහත සඳහන් කළ සේවා සියල්ල ම නොමිලයේ සැපයීම මඟින් විශාල පිරිසකට ඔවුන්ගේ ආර්ථික මට්ටම් නොසලකා ප්‍රතිලාභ ලැබී ඇත. අපගේ සාමාජිකයන්ගෙන් අප ලබන ඉහළ ධනාත්මක ප්‍රතිචාර, විදු නැණ හවුල ව්‍යාපෘතිය සාර්ථකව එහි ඉලක්ක කරා ගමන් කරන බවට සාක්ෂි දරයි.

“ඔබ ආයතනයෙන් ‍එවන කෙටි පණිවිඩ, මගේ පාසල වන කොත්‍මලේ මාවැල ‍විදුහලේ බිත්ති පුවත් පතේ දරුවන් අතින්ම ප්‍රදර්ශනය වනවා. එලෙස එකතු වන විද්‍යාත්මක තොරතුරු ඇතුළත් පොතක් වාර්ෂිකව දරුවන් එලි දැක්වීමට බලාපොරොත්තු වෙනවා. මේ මහඟු සත්කාරයට ඔබට ගොඩක් පින්.” -ආර්.ඩී.ඩී.එම් කුමාරි

ලබාගත් ජයග්‍රහණ :

2000 ඉක්මවූ සාමාජිකයින් පිරිසක් සමඟින් පසුගිය වසර තුන විදු නැණ හවුල ව්‍යාපෘතිය එහි ඉලක්කය කරා සැලකිය යුතු තරමකින් ලඟා වී ඇත. මෙම කාලය තුළ අප ලබා ගන්නා ලද විශාලතම ජයග්‍රහණයක් වන්නේ e-ස්වාභිමානි 2014 ජාතික ඉ-මාධ්‍ය තරගාවලිය‍ේ සම්මාන උළෙලෙහි දී, e-ඉගෙනුම් හා අධ්‍යාපන අංශය යටතේ හොඳම e-අන්තර්ගතයට හිමි ජාතික සම්මානය දිනාගැනීමයි.

මෙම සේවාවට සම්බන්ධවීමට උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම ‍වෙබ් අඩවිය තුළ ලියාපදිංචි වීමෙන් හෝ අන්තර්ජාල පහසුකම් නොමැති අයට තම තොරතුරු 0777 600 845 යන දුරකතන අංකයට එවීමෙන් විදු නැණ හවුලෙහි සාමාජිකත්වය ලබා ගත හැකි ය.