2014 වසරේ අප්‍රේල් මාසයට අයත් විද්‍යා පණිවුඩ

30

බදාදා

අද විදු වදන

ඔබ මල් පෙති වල මතුපිට පවතින සියුම් රේඛා රටා අධ්‍යනය කොට තිබෙනවාද? සොබාදහමේ නිමැවුම් කෙතරම් සූක්ෂ්මදැයි කිවහොත් මෙම රටා ඇත්තවශයෙන්ම මල් පෙති වල පාදස්ථයේ පවතින මධු ග්‍රන්ථි වෙත යාමට කෘමීන්ට මග පෙන්වීම සඳහා නිමැවුණු ඒවා වේ .


29

අඟහරුවාදා

අද විදු වදන

වෙඩි නොවදින කබා හා ටයර් සෑදීම සඳහා භාවිතා වන කෙව්ලර් නම් සවි ගැන්නුම් ද්‍රව්‍ය මිනිසා විසින් මෙතෙක් නිපදවා ඇති වඩාත්ම සවිමත්ම ද්‍රව්‍ය වේ . නමුත් ඔබට විශ්වාස කල හැකිද මකුළු දැල් සේද කෙව්ලර් වලටත් වඩා ඉහළ ගුණ දක්වන බව ?


28

සඳුදා

සතියේ පැනයට පිළිතුර

පැණි බීම නිපදවීමේදී මේවා තුල අධික පීඩනයක් යටතේ කාබන් ඩයොක්සයිඩ් වායුව ද්‍රවණය කරනු ලැබේ . ඔබ මේවා පානය කරන විට මෙහි දියවී පවතින කාබන් ඩයොක්සයිඩ් ද්‍රාවණයෙන් පිටතට පැමිණ ඔබේ ආමාශයේ එක්රැස්වේ. ප්‍රමාණවත් තරම් කාබන් ඩයොක්සයිඩ් එක්රැස් වූ පසුව මෙම වායුව ඔබේ මුඛය හරහා පිටතට පැමිණීම උගුරට ඒම ලෙස ඔබට දැනේ .


25

සිකුරාදා

සතියේ පැනය

24

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඔබ කෙදිනක හෝ දත් මැදි විගසම දොඩම් යුෂ පානය කොට තිබෙනවානම් එවිට දැනෙන පිළිකුල් රසය අත්විඳ ඇති. දන්තාලේප වල අඩංගු වන සෝඩියම් ලෝරිල් සල්ෆේට් (SLS) නම් සංයෝගය මගින් අපේ දිවෙහි රස අංකුරවල ඇති පැණි රස ප්‍රතිග්‍රාහක වල ක්‍රියාකාරිත්වය තාවකාලිකව මැඩපවත්වා , තිත්ත රස ප්‍රතිග්‍රාහක වඩාත් සංවේදී කරයි.මේ නිසා දොඩම් යුෂ ඇතුළු බොහෝ ආහාර මෙවිට පිළිකුල් දනවන රසයක් ඇති කරයි


23

බදාදා

අද විදු වදන

ඔබේ නිවසේ සුරතලයට ඇති කරන බළලාගේ දිව යම් මොහොතක ඔබේ සිරුරේ ගැටී තිබෙනවානම් ,ඔබට ගැටළුවක් වන්නට ඇති මොවුන්ගේ දිව මෙතරම් රළු වුනේ කොහොමද කියලා. බළලුන්ගේ දිවෙහි මතුපිට ඉතා කුඩා , පසුපසට විහිදුනු කටු වැනි ව්‍යුහ තිබෙන අතර අපගේ නිය වලද අඩංගු වන සංඝටකයක් වන කෙරටින් මේවායෙහි අඩංගු වේ.මේවා නිසා බළලාගේ දිව වැලි කඩදාසියක් මෙන් රළු වේ .


22

අඟහරුවාදා

අද විදු වදන

ඔබ අසා තිබෙනවාද ප්‍රකාශ තන්තු භාවිතා කරන සත්වයින් පිළිබඳව? ඇන්ටාක්ටික් සාගරයේ වෙසෙන එක්තරා ස්පොන්ජින් විශේෂයක් ඔවුන්ගේ ශරීරයේ ඇති ඉතා සිහින් කූරු වැනි ප්‍රකාශ තන්තු මගින් ආලෝකය එක්රැස් කරන අතර එම ප්‍රදේශයට ආලෝක ප්‍රභවයක් ලෙසද ක්‍රියා කරයි. මෙම තාක්‍ෂණය ඉතා උස් ගොඩනැගිලි වල අඳුරු පෙදෙස් ආලෝකමත් කිරීමට භාවිතා වේ. මෙම ගොඩනැගිලි වල වහලයේ සවි කර ඇති කාච මගින් සූර්ය ආලෝකය ප්‍රකාශ තන්තු සම්ප්‍රේෂක වෙත යොමු කර ගොඩනැගිල්ලේ අඳුරු පෙදෙස් කරා ගෙන යයි.


21

සඳුදා

සතියේ පැනයට පිළිතුර

අහස් කූර තුල පවතින වෙඩි බෙහෙත් දහනයේදී සෑදෙන උණුසුම් වායු අහස් කුරේ පහළ කොටසින්පිටතට විදිනු ලැබේ.නිව්ටන්ගේ තෙවන නියමයට අනුව එලෙස පිටතට විදිනු ලබන වායු මගින් අවට පවතින වාතය මත ඇති කරන බලයට විශාලත්වයෙන් සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ එනම් ඉහළ දිශාවට බලයක් එම වාතය මගින් අහස් කූර වෙත ඇති කරනු ලැබේ.මෙම බලය නිසා අහස් කූර ඉහළ ගමන් කරයි.


11

සිකුරාදා

සතියේ පැනය

10

බ්‍රහස්පතින්දා

අද විදු වදන

කඩදාසි නිෂ්පාදන තාක්ෂණයේ නිපැයුම්කරු කවුරුන්ද කියා දන්නවාද? ඒ වෙන කිසිවෙක් නොව බඹරාය. (wasp).බඹර වදය තනනු ලබන්නේ, ඔවුන් විසින් තීරු කරන ලද දැව කොටස් ඔවුන්ගේ ඛේටය සමග මිශ්‍ර කිරීමෙන් සාදනු ලබන පල්පයෙනි . දැව භාණ්ඩ කර්මාන්තයේදී නිපදවන චිප් බෝඩ් සෑදීමේදීද භාවිතා වන්නේ මෙම ක්‍රියාදාමයම වේ. වෙනසකට ඇත්තේ මෙහිදී ඛේටය වෙනුවට මැලියම් භාවිතා වීමයි .


9

බදාදා

අද විදු වදන

වගුරු බිම් ජෛව විවිධත්වය අතින් ඉතා පොහොසත් ප්‍රදේශ බව ඔබ දැන සිටින්නට ඇති.නමුත් මේ වගුරු බිම් ස්වභාවිකව ජලය පිරිසිදු කරන බව නම් වැඩි දෙනෙක් නොදන්නා කරුණක් . මේවා මගින් ජලයේ අඩංගු නයිට්‍රජන් , හා ෆොස්ෆරස් අඩංගු සංයෝග සහ වෙනත් අවසාදන ඉවත්කරමින් එම ජලය ගංගා ආදියට ගමන් කිරීමට පෙර ඒවා පවිත්‍ර කරයි..


8

අඟහරුවාදා

අද විදු වදන

මකුළු දැලක් කැඩීම ඔබට එතරම් වෙහෙසකර කාර්යක් නොවන්නට ඇති. නමුත් මකුළු දැල් සේද වල ශක්තිමත් බව හා ප්‍රත්‍යස්ථ බව ඉතා ඉහලයි.මෙය මයික්‍රෝ මීටර් 1 තරම් ඝනකම් වුවද එම ඝනකමම දරන වානේ කොටසක් මෙන් 5 ගුණයක් පමණ ශක්‌තිමත් බව ඔබ දැන සිටියාද?


7

සඳුදා

සතියේ පැනයට පිළිතුර

හුළං පොම්පයකින් බයිසිකලයකට හුළං ගසන විට එය රත් වීමට කරුණු 2ක් බලපායි.
1.හුළං ගසන විට හුළං පොම්පය හා පිස්ටනය අතර ඇති වන ඝර්ෂණ බලය.
2. හුළං පොම්පයේ පිස්ටනය තල්ලු කිරීම නිසා වාතය සම්පීඩනය වේ . එවිට ,එම වාත අංශු වල ශක්තිය ඉහළ යන නිසා එහි උෂ්ණත්වය ඉහළ ගොස් පොම්පයේ උෂ්ණත්වයද ඉහළ යයි.


4

සිකුරාදා

සතියේ පැනය

3

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සමහර ගෙම්බන්ගේ ශරීරයේ වැඩි කොටසක් ශීත සෘතුවේදී මිදීමට භාජනය වේ. මෙම කාලය තුලදී ඔවුන්ගේ හදවත් ක්‍රියා නොකරන අතර රුධිරයේ පවතින ග්ලුකෝස් ඔවුන්ගේ අත්‍යවශ්‍ය අවයව මිදීමට භාජනය වීම වළක්වයි. ශීත සෘතුව අවසාන වන විට මොවුන් නැවතත් යථා තත්වයට පත් වේ . මෙම හැකියාව ඇත්තේ wood frog නම් විශේෂයට අයත් ගෙම්බන්ටය .


2

බදාදා

අද විදු වදන

මී පැණි ජලාකර්ශකය . එනම් එය අවට පවතින වාතයෙන් වුවද ජලය උරාගනියි . මේ නිසා ක්ෂුද්‍ර ජීවී වර්ධනයට අවශ්‍ය ආකාරයට ජලය එය තුල නොපවතියි. එමෙන්ම මී පැණි ,ක්ෂුද්‍රජීවී වර්ධනයට අහිතකර ආම්ලිකතාවයක් දක්වන අතර මී පැණි තුල අඩංගු ග්ලුකෝස් නියමිත තත්ත්ව යටතේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බවට පත් කල හැකි එන්සයිමද ඒ තුල අඩංගු වේ . මෙම සියලුම හේතුන් නිසා මී පැණි අනෙක් ආහාර මෙන් නරක් නොවේ.


1

අඟහරුවාදා

අද විදු වදන

පිලිහුඩුවෙකුට ජල පෘෂ්ටය කැලැත්තීමෙන් තොරව ජලයේ පවතින ගොදුර ඩැහැගැනීමට ඔහුගේ හොටෙහි අනාකුල හැඩය උපකාරී වේ. මෙම සංකල්පය අධිවේගී විදුලි දුම්රියන් බිම්ගෙවල් තුලින් ගමන් කිරීමේදී ඇතිවන විශාල ශබ්දය මැඩ පැවැත්වීම සඳහා’යොදා ගෙන ඇත . මෙම දුම්රියන්හි ඉදිරිපස පිලිහුඩුවාගේ හොටෙහි හැඩයට අනුරූපව අනාකුල හැඩයකට සකස් කිරීම මගින් පහසුවෙන් වාත ප්‍රතිරෝධය මැඩ පවත්වා විශාල ශබ්දයක් ඇති කිරීමෙන් තොරව බිම්ගෙවල් තුලින් ගමන් කිරීමට හා දුම්රියේ වේගය හා කාර්යක්ෂමතාවය වැඩි කරගැනීමට සමත් වී ඇත .