2014 වසරේ නොවැම්බර් මාසයට අයත් විද්‍යා පණිවුඩ

28

සිකුරාදා

සතියේ පැනය

ශීතකරනය තුල නොතැබූ බටර් හා මාගරින් කලකට පසු ආහාරයට ගැනීමට යෑමේදී එහි අප්‍රසන්න ගන්ධයක් ඇති වී තිබෙන බව ඔබ අත්දැක තිබෙනවා නේද?මෙයට හේතුව ඔබ දන්නවාද?


27

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සරුංගලයක් ඉහල යන අයුරු බලා විනෝද වුනු ඔබ ඉහල අහසට නැගීම සදහා සරුංගලයට එහි හැඩය සහ වර්ගඵලය බලපාන බව මදකටවත් සිතුවාද?ඔබේ කාමරයේ ජනේලය ඇර තිබු අවස්ථාවකදී දිග හැර තැබූ කඩදාසි කොළ සුළගේ පාවී ගියත් ගුලිකර තැබූ කඩදාසි කොලයක් සුළගේ පාවී නොගිය අයුරු ඉහත සංසිද්ධියට සමාන බව ඔබට හැගෙනවා නේද?


26

බදාදා

අද විදු වදන

වදුරන් ලේනුන් වැනි සතුන් ඉහල ස්ථාන වලින් ගමන් කිරීමේදී සමබරතාවය පවත්වා ගැනීම සදහා ඔවුන්ගේ වලිගය උපකාරී කරගන්නා අයුරු ඔබ දැක ඇති. නමුත් කැන්ගරුවන්ගේ වලිගය ඉතා ශක්තිමත් හා විශාල ලෙස සැකසී ඇත්තේ ඇයි කියා ඔබ දන්නවාද? කැන්ගරුවන් පොලවේ සිට ගැනීමේදී හා සටන් කිරිමේදී තවත් එක් පාදයක් ලෙස තම වලිගය භාවිතා කරන අතර පැනිම සදහා අවශ්‍ය බලය ලබා ගන්නේද වලිගය ආධාරයෙනි


25

අඟහරුවාදා

අද විදු වදන

සොබාදහමේ අපුරු නිර්මාණයක් වන මීවදය සාදා ඇති මීඉටි වලින් සෑදූ කඩදාසිවල අතීතයේ මිනිසුන් සටහන් තැබූ බව ඔබ දන්නවාද?මීඉටි ඉතා සථායි සංයෝගයක් වන අතර වායුගෝලය සමග ගැටීමේදී ප්‍රතික්‍රියා වීම ඉතා අඩුය. මෙහි සථායි බව කෙතරම් ප්‍රයෝජනවත්ද කිවහොත් මුහුදුබත්වී අවුරුදු සිය ගණනකට පසු වත් ඒවායේ පන්හිද සලකුණු තවමත් ඉතා ආරක්ෂිතව පැවතිම පුදුම සහගතයි නේද ?


24

සඳුදා

සතියේ පැනයට පිළිතුර

වැසි දිනයන්හිදී මෙසේ මීදුම් පටලයක් බැදෙන්නේ වාහනය තුල ජල වාෂ්ප වීදුරව මත ඝණීභවනය වීම නිසයි.වාහනය පිටත පරිසර‍යේ උෂ්ණත්වය කෙමෙන් පහල බසින විට වාහන වීදුරුවේ උෂ්ණත්වයද පහල බසී මෙම නිසා යම් අවස්ථාවකදී වාහනය තුල පරිසරය ජල වාෂ්ප වලින් සංතෘප්ත ‍වේ. තවදුරටත් වාහනය පිටත සහ වීදුරු වල උෂ්ණත්වය පහල යෑමෙදී වාහනය ඇතුලත ජල වාෂ්ප වීදුරුව මත ඝණීභවනය වේ.මෙම උෂ්ණත්වය වාහනය තුල තුෂාර අංකය ලෙස හදුන්වන බව ඔබ අසා ඇති. නමුත් වායු සමීකරණය ක්‍රියාත්මක කලවිට එමගින් ඇතුලත ජාල වාෂ්ප ඉවත් කරන අතර වාහනය ඇතුලත පරිසරය ජල වාෂ්ප වලින් අසංතෘප්ත කරයි.එමනිසා මීදුම් පටලයක් ඇති නොවෙයි.


21

සිකුරාදා

සතියේ පැනය

වැසි දිනයන්හිදී වායු සමීකරණය ක්‍රියා නොකර වාහන පදවන විට වාහනයේ වීදුරුවල ඇතුලතින් මීදුම් පටලයක් බැදී තිබෙන අයුරු ඔබ දැක තිබෙනවානේද?මෙයට හේතුව ඔබ දන්නවාද?


20

බ්‍රහස්පතින්දා

අද විදු වදන

පරිසරයේ ඇති මල්වර්ග විවිධ වර්ණයන්ගෙන් යුක්තව අපට දිස් වුවත් ,මල් පැණි සොයා එන කෘමීන් මලෙහි පැහැයන් අපට වඩා වෙනස් අයුරින් හදුනාගන්නා බව ඔබ දන්නවාද? මලෙහි අඩංගු රටාවන්,මධු සහ පරාග පවතින ස්ථාන වඩාත් තීව්‍ර ලෙස හදුනාගත හැකිවන්නේ පාරජම්බුල ආලෝකයේදීය . කෘමීන්ගේ දෑස් පාරජම්බුල කිරණවලට පවා සංවේදී බැවින් ඔවුන්ට මෙම ස්ථාන වඩා තීව්‍ර ලෙසින් දිස්වෙයි


19

බදාදා

අද විදු වදන

පෙන්ගුවින් පක්ෂීන් ඉතා ශීතල දේශගුණයන්ට ඔරොත්තු දෙමින් අයිස් තට්ටු මත පවා ඇවිද යන අයුරු ඔබ දැක තිබෙනවා නේද?මෙතරම් සීතලක් ඔවුන්ගේ පාද වලට දරාගැනීමට හැකිවී ඇත්තේ වෙන වෙනම ගමන් කරන රුධිර නාල පද්ධති දෙකක් ඔවුන් සතු වීම නිසයි.සිරුරේ ඉහල ප්‍රදේශවල සිට උණුසුම් රුධිරය නාල ඔස්සේ පාද වෙත පරිවහනය වන අතර සිසිල්වූ රුධිරය ඊට ඉතා ආසන්න නාල ඔස්සේ ඉහලට ගමන් කරයි. මෙහිදී උණුසුම් රුධිරයෙන් සීත රුධිරයට තාප හුවමාරු වීම සිදුවේ


18

අඟහරුවාදා

අද විදු වදන

ක්‍රිකට් ක්‍රීඩකයන් පන්දු රැකීමේදී පන්දුවේ ගමන් දිශාවටම තම දෑත් ගෙනයමින් පන්දුව රැක ගන්න අයුරු ඔබ දැක තිබෙනවා නේද? ක්‍රිකට් පිත්තේ වැදී එන පන්දුවේ ගම්‍යතාව (ස්කන්ධය X ප්‍රවේගය) ඉතා විශාලය.කෙලින්ම පන්දුව ඇල්ලීමේදී පන්දුව අතෙහි වැදී නිශ්චල වීමේදී අතට දැනෙන බලය හා වේදනාව වැඩිය.නමුත් පන්දුව සමග ඇත චලනය කිරීමේදී පන්දුව අතෙහි වැදී නිශ්චල වන විට සිදුවන ගම්‍යතා වෙනස අඩු නිසා අතට දැනෙන බලය හා වේදනාව අඩුවේ.


17

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ඔබ උපත ලබන විට ඔබේ මුඛය ,විෂබීජවලින් තොර එනම් ජීවානුහරිත තත්ත්වයේ පැවතුනු අතර ඉපදීමෙන් පැය කිහිපයකට පසු ඇඩීමේදී ,හුස්මගනීමේදී හා මවගෙන් කිරි උරා බීමේදී බාහිර විෂබීජ මුඛය තුලට ඇතුළු වී මුඛයේ ජීවානුහරිත බව නැතිකරයි.


14

සිකුරාදා

සතියේ පැනය

ඔබේ මුඛය විෂබීජ වලින් බහුල ස්ථානයක් බව ඔබ දන්නවා ඇති.නමුත් ඔබේ මුඛය ජීවානුහරිත තත්ත්වයේ පැවතුනු එක් අවස්ථාවක් ඔබ දන්නවාද?එහි ජීවානුහරිත බව නැතිවීමට හේතුවූ මුල්ම ක්‍රියාව කුමක්ද?


13

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සමනළුන් මඩ කඩිති වලින්ද පෝෂණය වන බව ඇසුවොත් ඔබ පුදුම වනු නියතයි. සමනළුන්ට ජීවය පවත්වා ගැනීමට මල් පැණි වලින් ලැබෙන සීනි ප්‍රමාණවත් නොවන අතර ඛනිජද අවශ්‍ය වේ . එම නිසා මොවුන් වරින් වර ඛනිජ ලවන වලින් පොහොසත් මඩකඩිති වලින් යුෂ උරා බොමින් තම පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කර ගනියි.


12

බදාදා

අද විදු වදන

Ice cream හෝ වඩාත් සීතල යමක් ආහාරයට ගත් විට ඉතා ක්ෂණිකව හිසේ කැක්කුමක් ඇතිවී නැතිවන බව ඔබ අත්විඳ තිබෙනවා නේද ? ඔබේ උඩතල්ලේ අධික ලෙස සීතල යමක් ගැටුණු විට මෙහි කෙලවර ඇති රුධිර නාල අධික සීතල නිසා සංකෝචනයවී නැවත යථා තත්වයට පත්වේ. මෙවිට උඩුතල්ලේ ඇති වේදනා ප්‍රතිග්‍රාහක උත්තේජනය වී මොළයට ඒ බ‍ව දැනුම් දෙයි.මොළයට මෙම පණිවිඩය රැගෙන යන ස්නායුව මුහුණේ සංවේදනයන්ටද බලපාන බැවින් මොළය විසින් මෙම උත්තේජ නළලේ සිට පැමිණෙන බව හඳුනාගන්නා අතර මෙය අපට හිසරදයක් ලෙස දැනේ.


11

අඟහරුවාදා

අද විදු වදන

සත්ත්ව ලෝකයේ සතුන් අතරින් විශාලම ශබ්දයක් ඇතිකළ හැක්කේ තල්මසුන්ට බව අප පැවසුවා ඔබට මතක ඇති.මිනිසුන්ට මෙන් ස්වර තන්ත්‍ර නොමැති වුවත් ඔවුන් මෙවැනි ශබ්දයක් නිකුත් කරන්නේ කෙසේදැයි කියා ඔබ මදකටවත් සිතුවාද? Humpback තල්මසුන් විසින් ඔවුන්ගේ විශාල නාස් කුහර තුලට තෙරපීමක් යටතේ වාතය ඇතුළු කර ගනිමින් මෙවැනි විශාල ශබ්දයක් ඇතිකරනු ලබයි.


10

සඳුදා

සතියේ පැනයට පිළිතුර

සෙම්ප්‍රතිශ්‍යාව සැදීමට ප්‍රථම උගුර කසන්නේ ,සෙම්ප්‍රතිශ්‍යාව සාදන වෛරසය ප්‍රථමයෙන් උගුර අසාදනය කර එය ඉදිමීමට ලක්කිරීම නිසාය. උගුර ඉදිමීමට ලක්වීම නිසා උගුරේ ස්නායු තන්තු උත්තේජනය වේ. එමනිසා ඔබට කැසීමේ සංවේදනයක් ඇතිවේ.


7

සිකුරාදා

සතියේ පැනය

5

බදාදා

අද විදු වදන

රස කැවිලි ආහාරයට ගැනීමෙන් පසු තේ කෝප්පයක් පානය කල විට තේ එකෙහි පැණිරස මද ගතියක් දැනෙනවානේද?මෙයට හේතුවන්නේ දිවෙහි රස අංකුර අධික පැණිරසට උත්තේජනය වූ විට නැවත ඊට වඩා අඩු පැණිරසකට උත්තේජනය වීමට මද කාලයක් ගතවීම්යි


4

අඟහරුවාදා

අද විදු වදන

ඔබ කුඩාකාලයේ යහළුවන් සමග කැරකීමේ සෙල්ලම් කර තිබෙනවානේද ?මෙවැනි සෙල්ලමකින් පසු ඔබ, හිසෙහි කැරකෙන ස්වභාවයක් අත්විද තිබෙනවා නේද?ඔබ කරකීමේදී අභ්‍යන්තර කනෙහි තරලයන් කැරකීමට ලක්වී මොලයට ඔබේ පිහිටීම පිළිබදව දැනුම් දෙයි.නමුත් ඔබ නැවතුනු පසුවත් කනෙහි තරලයන් තවදුරටත් කරකැවේ.එමනිසා ඔබේ මොලය තවමත් සිතන්නේ ඔබ කැරකෙන බවයි.මේ හේතුවෙන් ඔබට කැරකිල්ල ස්වභාවයක් දැනේ.


3

සඳුදා

සතියේ පැනයට පිළිතුර

කැපීමෙන් පසු සලාද කොළ දුඹුරු පැහැයට පත්වීමට හේතුව සලාදා කොළ වල අඩංගු ෆීනොලික සංයෝග පොලිෆීනොලොක්සි‍‍‍ඩේස් නමැති එන්සිමයේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් ඔක්සිකරනයවී දුඹුරු පැහැති වර්ණකයක් සැදීමයි. සාමාන්‍යයෙන් එන්සයිමය හා ෆීනොලික සංයෝග සෛලය තුල හොදින් වෙන් වී ගබඩාවී පවතින අතර කැපීමේදී හා ඉරීමේදී මෙම සංයෝග මිශ්‍ර වී දුඹුරු වර්ණකය සාදයි