2015 වසරේ පෙබරවාරි මාසයට අයත් විද්‍යා පණිවුඩ

27

සිකුරාදා

සතියේ පැනය

ඔබට නිදිමත දැනුණු හෝ විඩාබර අවස්ථාවකදී කෝපි කෝප්පයක් පානය කිරීමෙන්, එම විඩාකාරී හැඟීම් යටපත් වී පැය කිහිපයක් හෝ ගත වන තුරු ප්‍රබෝධයෙන් සිටීමට හැකිවන බව ඔබ අත්දැක ඇති. මෙය සිදුකිරීමට කෝපි පානයකට හැකි වන්නේ කෙසේද?


26

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මිනිසුන්ගේ ශ්‍රව්‍ය පරාසයට ග්‍රහණය නොවන ඉතා අඩු සංඛ්‍යාතයක් සහිත හඬක් යොදා ගනිමින්, අලින් සැතපුම් ගණනක් ඈතින් සිටින තම වර්ගයා සමඟ සන්නිවේදනය කරන බව ඔබ දැන සිටියාද?


25

බදාදා

අද විදු වදන

ඔබ නිවසේදී සාදාගත් බීම වීදුරුවක් නිවස තුල එහා මෙහා ගෙන යාමේදී හදිසියෙන් ඉහිරුවා ගත් අවස්ථාවක් මතකයට නගා ගත හැකිද? නවතම පරීක්ෂණයකින් පෙන්වා දී ඇත්තේ බීම මත පෙණ නගා ගැනීම මගින් බීම, වීදුරුවෙන් පිටතට ඉහිරීම අවම වන බවයි. මෙය සිදුවන්නේ පෙණ බුබුළු හා බීම වීදුරුවේ බිත්ති අතර ඇතිවන ඝර්ෂණය නිසාවෙනි.


24

අඟහරුවාදා

අද විදු වදන

ස්ට්‍රෝබෙරි, ඇපල් හා දොඩම් වැනි පලතුරු වලට ඔබේ දත් දෙපල සුදු කිරීමට හැකියාවක් ඇති බව ඔබ දැන සිටියාද? ඒවාට මෙම හැකියාව ලැබී ඇත්තේ එහි අඩංගු මැලික් අම්ලය මගින් දත් මත ඇති කහට ඉවත් කිරීම නිසාවෙනි. කෙසේවෙතත් දන්ත සෞඛ්‍යෙව්දීන්ට අනුව සීනි සහිත පලතුරු වැඩිපුර ගැනීමද දත් වලට අහිතකර වේ. එයට හේතුව දත් මත වෙසෙන බැක්ටීරියා සීනි මත ක්‍රියා කර ඒවා වෙනත් අම්ල බවට බිඳ හෙලා එම අම්ල මගින් දත් වල එනැමලය දුර්වල කර කුහර ඇති වීමට හැකි වීමයි.


23

සඳුදා

සතියේ පැනයට පිළිතුර

රේඩියෝ තරංග TV තරංග වලට සාපේක්ෂව වැඩි තරංග ආයාමයකින් යුතුය. මෙම සාධකය නිසා රේඩියෝ තරංග වලට කඳු අතරින් වඩාත් හොඳින් නැමී ගමන් කල හැක(විවර්තනය). මෙලෙස තරංගයේ තරංග ආයාමය වැඩි වන තරමට විවර්තනයද වඩාත් හොඳින් සිදුවේ. TV තරංග වල තරංග ආයාමය කුඩා බැවින් හොඳින් විවර්තනය නොවේ. එබැවින් TV තරංග කඳු අවට හොඳින් පැතිරීම සිදු නොවේ. එවිට එම තරංග ග්‍රහණය කර ගැනීම සඳහා බාහිර ඇන්ටනාවක් යොදා ගැනීමට සිදුවේ.


20

සිකුරාදා

සතියේ පැනය

ගුවන්විදුලියට සවන්දීමේදී මෙන් නොව, රූපවාහිනිය නැරඹීමේදී රූපවාහිනී සංඥා ලබාගැනීම අපහසු බැවින් අප බොහෝ විට බාහිර ඇන්ටනාවක් යොදා ගනී. විශේෂයෙන්ම, ඔබ කඳුකර ප්‍රදේශයක ජීවත් වන්නේ නම් මෙය හොඳින්ම අත්දකිනවා ඇති. මෙම සංසිද්ධිය විද්‍යාත්මකව පහදන්න.


19

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මකුළු දැල තනිව ගත් කල, එහි නිර්මාතෘ මෙන්ම යම් ආකාරයක විලෝපිකයෙතු බව ඔබට ඇදහිය හැකිද? පියාඹන කෘමීන් ඉලෙක්ට්‍රෝන ඉවතලෑම නිසා ස්වල්ප ලෙස ධන ආරෝපිත අතර මකුළු දැල සෘණ ආරෝපිත හෝ උදාසීන වේ. එබැවින් කෘමීන් ප්‍රතිවිරුද්ධ ආරෝපණයක් සහිතව ඒ අසලින් පියාඹන විට මකුළු දැල කෘමීයා වෙත ආකර්ෂණය වී ග්‍රහණය කර ගනී.


18

බදාදා

අද විදු වදන

දළඹුවන් සමනලුන් බවට පත්වීමේදී, ඔවුන් සම්පූර්ණයෙන්ම පාහේ ද්‍රවනය වන බව ඔබ දැන සිටියාද? මෙම ක්‍රියාවලියේදී දළඹුවා විසින් ස්වකීය සිරුර ජිරණය කරන එන්සයිම නිදහස් කර, ජිරණය වූ පසු කෝෂය තුල ඉතිරිවන පෝෂක අඩංගු ද්‍රාවණය තුල සමනලයා ලෙස වර්ධනය වේ.


16

සඳුදා

සතියේ පැනයට පිළිතුර

හිරු උදාව හා බැසයාම මත, චන්ද්‍ර චක්‍රය රඳා නොපවතින බව බොහෝ දෙනෙකුගේ සැලකිල්ලට ලක්නොවූ කරුණකි. එනම් සඳ නැගීමට හිරු බැසයාම අවශ්‍යයම නොවේ. සඳ අහසෙහි නැග ඇති සෑම විටම, හිරුගේ ආලෝකය පරාවර්තනය කරයි නම්, අපට එය දර්ශනය වේ.


13

සිකුරාදා

සතියේ පැනය

12

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඔබගේ ශ්වසන පද්ධතියට විවේකයක් ලබාදීමට ‍‍හෝ දිය යට දියකිඳුරු ජීවිතයක් ගත කිරීමට ඔබ සිහින මවා ඇත්ද? එන්නත් කළ හැකි ඔක්සිජන් අංශු නිපදවීම මගින් එම සිහිනය යථාර්තයක් කිරීමට අද වනවිට විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇත.


11

බදාදා

අද විදු වදන

Pepsis Formosa යන දෙඹර විශේෂයේ ගැහැණු දෙඹරුන් ඔවුන්ගේ දළ මගින් විශාල මකුළුවන් අඩපණ කර ඔවුන්ගේ සිරුරු මත බිත්තර දමයි. එවිට එම බිත්තර වලින් පිටතට එන කුඩා පැටවුන්ට කෑමට නැවුම් මස් ලැබේ.


10

අඟහරුවාදා

අද විදු වදන

කිරිගරැඬ යනු සැලකිය යුතු තරමේ ස්ථායි සංයෝගයක් වුවද, දූෂක අංශු වලට විශාල වශයෙන් නිරාවරණය වීමේදී එය අවපැහැ ගැන්විය හැක. මෙයට පැහැදිලි උදාහරණයක් වන්නේ ටාජ්මහල්හි පුරාතන කිරිගරැඬ, පරිසර දූෂනය නිසා ක්‍රමයෙන් දුඹුරු පැහැ ගැන්වීමයි.


9

සඳුදා

සතියේ පැනයට පිළිතුර

අපට වේදනාවක් දැනෙන්නේ අපේ ශරීරයේ ඇති වේදනා ප්‍රතිග්‍රාහක උත්තේජනය වී එම තොරතුරු මොළය වෙත යැවීමෙනි. වේදනා ප්‍රතිග්‍රාහක උත්තේජනය කිරීම සඳහා අදාල රසායනික සංකීර්ණක එම වේදනා ගෙනදෙන ස්ථාන මඟින් නිපදවයි. වේදනානාශක රුධීරයට ඇතුළුවී අදාල රසායනිකය වැඩි ප්‍රමාණයන්ගෙන් නිපදවී ඇති ස්ථානවල ඒවා නිෂ්පාදනය අඩු කරයී. වේදනානාශක ක්‍රියාකරන මේ ආකාරයේ යාන්ත්‍රණ කිහිපයක් තිබුණද ඒවා සියල්ල මගින් පොදුවේ කරනුයේ වේදනාව පිළිබඳ පණිවිඩය ස්නායු පද්ධතිය මගින් සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලියට බාධා පැමිණවීමයි.


6

සිකුරාදා

සතියේ පැනය

ඔබේ ශරීරයේ වේදනාවක් ඇතිවූ විට ඔබ වේදනානාශක පෙති භාවිතා කර තිබෙනවා නේද? ඒවා එම ස්ථාන මත සෘජුවම නොයෙදුවද, අදාල ස්ථාන හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි ඔබට පැහැදිලි කල හැකිද?


5

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ලොව නීතිවිරෝධීතම මත්ද්‍රව්‍ය වන ඩයිමෙතිල්ට්‍රිප්ට්ඇමයින්(DMT) ඔබ නිදගන්නාවිට ඉතා සුලු ප්‍රමාණ වලින් ඔබේ මොළය තුල ස්වභාවිකව සංස්ලේෂණය වන බව ඔබට ඇදහිය හැකිද?


2

සඳුදා

සතියේ පැනයට පිළිතුර

දුර හා ළඟ බැලීමට හැකියාව ලබාදෙන්නේ අක්ෂි ප්‍රතියෝජක පේශීන් මගින් අක්ෂි කාචයේ වක්‍රතාව අඩු වැඩි කිරීම මගිනි. දුර ඇති වස්තු වල සිට පැමිණෙන සමාන්තර ආලෝක කිරණ නාභිගත කිරීම සඳහා කාචයේ වක්‍රතාව අඩුවේ. ළඟ ඇති වස්තු වල සිට පැමිණෙන්නේ අපසාරී ආලෝක කිරණ වේ. ඒවා නාභිගත කිරීම සඳහා කාචයේ වක්‍රතාව වැඩි වේ. මෙලෙස මාරුවෙන් මාරුවට අක්ෂි කාචයේ වක්‍රතාව අඩු වැඩි කිරීමට සිදු කිරීම නිසා ඇසේ ප්‍රතියෝජක පේශීන් වලට හොඳ ව්‍යායාමක් ලැබේ. එවිට ඒවායේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු වේ. එබැවින් බොහෝ වේලා ළඟ බලාගෙන සිටීමට සිදුවන ක්‍රියාකාරකම් වල යෙදීමේදී ඒ අතරතුර කෙටි කාලයක් ඈත බැලීමෙන් ඔබේ ඇස වලට ඇතිවන විඩාව අවම වේ.