2015 වසරේ මාර්තු මාසයට අයත් විද්‍යා පණිවුඩ

31

අඟහරුවාදා

අද විදු වදන

වර්ණ අන්ධතාව නිවැරදි කළ හැකි අව්කණ්ණාඩි විශේෂයක් ඇමරිකානු විද්‍යාඥයෙක් විසින් අහම්බයෙන් නිපදවා ඇති බව ඔබ දන්නවාද? මෙම කණ්ණාඩි මූලිකව නිපදවා ඇත්තේ ලේසර් ශල්‍ය වෛද්‍යවරයින්ට ශල්‍යකර්ම වලදී ඇස් වල ආරක්ෂාවට හා සිරුරේ පටක හා රුධිරය වෙන් කොට හඳුනාගැනීමට වන අතර ඔවුන් අහම්බයෙන් මෙන් ඒවා එළිමහනෙහි පැළඳූවිට ඒවා මගින් වර්ණ අන්ධතාවද නිවැරදි කරන බව සොයාගෙන තිබේ.


30

සඳුදා

සතියේ පැනයට පිළිතුර

රේල් පීලි ක්‍රම දෙකකට රත්වේ. එනම් දිවා කාලයේදී සුර්ය තාපය මගින් හා දුම්රිය ධාවනයේදී රේල් පීලි මත ඇති වන ඝර්ෂණය හේතුවෙන්ය. මෙම රත්වීම නිසා රේල් පීලි ප්‍රසාරණය වේ. රේල් පීලි දිගින් ඉතා වැඩි වීම නිසා වැඩි ප්‍රසාරණක් ඇතිවේ. මෙම ප්‍රසාරණය වන කොටස සඳහා අවශ්‍ය තරම් ඉඩ රේල් පීලි අතර නොතිබුණහොත් ඒවා එකිනෙක මත තෙරපී නැවී ගොස් දුම්රිය ධාවනයට නුසුදුසු තත්වයකට පත්වේ.


27

සිකුරාදා

සතියේ පැනය

26

බ්‍රහස්පතින්දා

අද විදු වදන

පෙනහළු සහිත, වාතය ආශ්වාස කරන, “Arapaima” නම් මත්ස්‍ය වර්ගයක් ගැන ඔබ දැන සිටියාද? ඔවුන් මිරිදිය වෙසෙන විශාලතම මත්ස්‍ය වර්ගයක් වන අතර අඩි 10ක් දක්වා දිගට වැඩිය හැක.


25

බදාදා

අද විදු වදන

දැඩි පරිශ්‍රමයකින් අනතුරුව, විද්‍යාඥයින් පිරිසක්, මිහි මතින් තුරන්වූ සත්ව විශේෂයක් වන වූල් මැමතයන්ට යළි ජීවය ලබා දීමට පළමු පියවර ගෙන ඇත. මෙම ක්‍රියාවලියේදී මියගිය හිමායිත මැමතයෙකුගේ අවශේෂ වලින් වෙන්කරගත් DNA කොටස් පර්යේෂණාගාර තත්වයන් යටතේ, අලියෙකුගේ සෛල වල රෝපණය කර ඇත. එම සෛල මේ වන විටත් අංගසම්පූර්ණව ක්‍රියාකරන නමුත් මෙම ක්‍රියාවලිය අලියන්ගේ ඩිම්බ තුල සිදුකිරීමට ඔවුන්ට තවත් බොහෝ කරුණු අනාවරණය කර ගැනීමට අවශ්‍ය බව එම විද්‍යාඥයින් පවසයි.


24

අඟහරුවාදා

අද විදු වදන

වසර බිලියන කීපයකට පසු අපගේ මන්දාකිණිය වන ක්ෂීරපථය අපගේ අසල්වැසි මන්දාකිණිය වන ඇන්ඩ්‍රොමීඩාව සමග මුසු වී ඒකාබද්ධ වන බවට ගුරුත්වය පිළිබඳ නිව්ටන් නියම පමණක් උපයෝගී කොටගෙන තාරකා විද්‍යාඥයින් අනාවැකි පවසයි. එහෙත් ග්‍රහලෝක අතර දුර ඉතා අධික නිසා ඒවා අතර ගැටීම් ඇති වීමට ඇති හැකියාව අඩුය. එබැවින් ඒ වන විටත් පෘථිවියේ ජීවය පැවතුණද, පෘථිවියට ආපදාවක් වීමට ඇත්තේ ඉතා අඩු හැකියාවකි.


23

සඳුදා

සතියේ පැනයට පිළිතුර

දත්වල එනැමලයේ කැල්සියම් හයිඩ්‍රොක්සිඇපටයිට් ඇත. ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප භාවිතා කල විට ෆ්ලෝරයිඩ් ඉහත සංයෝගය සමඟ ප්‍රතික්‍රියා කර කැල්සියම් ෆ්ලෝරොඇපටයිට් යන වඩා ශක්තිමත් සංයෝගය දත් වටා තද ආවරණයක් මෙන් සෑදෙයි. බැක්ටීරියා මගින් නිපදවන අම්ල වලට ඔරොත්තු දීමට මෙම සංයෝගයට වැඩි හැකියාවක් ඇති නිසා එවිට දත්වල කුහර ඇති වීමට ඇති හැකියාව අඩුවේ. එමෙන්ම ආරම්භක අවධි වල ඇති දත් කුහර පිරවීමටද ෆ්ලෝරයිඩ් උපකාරී වේ.


20

සිකුරාදා

සතියේ පැනය

19

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ෆොසිල ඉන්ධන බිඳුවක්වත් නොමැතිව, සූර්‍ය බලයෙන් පමණක් ක්‍රියා කරන ගුවන් යානාවක් නිපදවීමට ඉංජිනේරුවන් සමත්ව ඇත. මෙහි තටු, බෝංයි 747 යානයක තටු වලටත් වඩා විශාලව පැතිර ඇති අතර ඒවා මතුපිට අතුරා ඇති සූර්ය කෝෂ විශාල සංඛ්‍යාවක් මගින් නිපදවන සූර්‍ය ශක්තිය මෝටර් 4කට ලබාදී එමගින් අවරපෙති වලට බලය සපයයි.


18

බදාදා

අද විදු වදන

නවතම සොයාගැනීම් වලට අනුව අඟහරු වල ජීවය තිබිය හැකි බව අනාවරණය වී ඇත. පර්යේෂකයන්ට අනුව වසර බිලියන 4.5කට පෙර අඟහරු වල පෘෂ්ඨයේ 20%කම ජලයෙන් සැදි මුහුදක් පැවත ඇති අතර මෙම ජලයෙන් 87%ක් කාලයත් සමඟ වාෂ්ප වී ඇත. ඒ අනුව පෘථිවියටත් වඩා වැඩි කාලයක් පුරාවට අඟහරු මත ජලය තිබී ඇති අතර එබැවින් එහි ජීවය බිහිවී පරිණාමය වීමට තරම් කාලයක් තිබුණු බව පෙනේ.


17

අඟහරුවාදා

අද විදු වදන

ප්‍රභාසංස්ලේෂණය කර ඔක්සිජන් නිපදවිය හැකි කෘතීම ශාක පත්‍රයක් නිපදවීමට විද්‍යාඥයෙකු සමත් වී ඇති බව ඔබ දැන සිටියාද? ස්වභාවික ශාක පත්‍ර වලින් වෙන්කරගත් හරිතලව, ප්‍රෝටීනමය මාධ්‍යයක තැන්පත් කර මෙම ශාක පත්‍රය සාදා ඇති අතර මේවා දිගු කල් ගතවන අභ්‍යවකාශ චාරිකා වලදී ඔක්සිජන් ප්‍රභවයක් ලෙස භාවිතා කිරීමට සැලසුම් කර ඇත.


16

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ආහාර දාමයක මාංශභක්ෂකයන් ඇත්තේ ශාකභක්ෂකයන්ට පසුව බැවින් ඔවුන්ට ලැබෙන ශක්ති ප්‍රමාණය අඩුය. මෙයට පිලියමක් ලෙස ඔවුන් වැඩිපුර දඩයම් කළ යුතුය. ඒ සඳහා ඔවුන් වැඩි ශක්තියක් හා බලයක් වැයකල යුතු බැවින් අවශ්‍ය තරමටම ගොදුරු ප්‍රමාණයක් ඇල්ලීමට ඔවුන්ට හැකි නොවේ. එබැවින් මාංශභක්ෂකයන්ට බොහෝ විට පරිභොජනය කල හැකි වන්නේ ශාකභක්ෂකයින්ට වඩා අඩු ශක්ති ප්‍රමාණයකි. එමෙන්ම, සාපේක්ෂව කුඩා දේහ දැරීම වඩාත් කාර්යක්ෂමව දඩයම් කිරීමටද ඉඩ සලසන බැවින් ඔවුන් එලෙස පරිණාමය වී ඇති බව සැලකේ. තවත් මතයක් වන්නේ ශාකභක්ෂකයන් විශාල දේහ දැරීමට හේතුව ඔවුන්ගේ ආන්ත්‍රික අවයව විශාල වීම නිසා බවයී.


13

සිකුරාදා

සතියේ පැනය

12

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මිනිත්තු 8ක් පමණ තම්බා ගන්නා ලද අර්තාපල් අලයක් මගින් වියලි කෝෂයක මෙන් දහ ගුණයක පමණ බලයක් නිපදවන බැටරියක් සාදා ගත හැකි බව අනාවරණය කර ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇත. ඔවුන් මෙම බැටරිය සාදා ඇත්තේ අලය තුල භාගිකව ගිල්වන ලද කොපර් කැතෝඩයක් හා සින්ක් ඇනෝඩයක් යොදාගැනීමෙනි.


11

බදාදා

අද විදු වදන

ලොව ජීවත්වන දැඩිතම සත්වයා “Tardigrade” ලෙස හඳුන්වන මිලිමීටරයකටත් වඩා කුඩා ජීවියෙකු බව ඔබ දැන සිටියාද? ජීවී ඉතිහාසය තුල සිදුවී ඇති මහා නෂ්ටවීම් 5දීම මෙම ජීවියා නොනැසී සිට ඇති අතර ඒ සඳහා ඔවුනට උපකාරී වී ඇත්තේ ආන්තික තත්ව වලදී සිරුරේ ඇති ජලය ට්‍රෙහලෝස් නම් සීනි වර්ගයකින් ප්‍රතිස්ථාපනය කර වියළීමට ඇති හැකියාවයි.


10

අඟහරුවාදා

අද විදු වදන

පෘථිවිය හැරුණුකොට වැසි වැටෙන එකම ග්‍රහයා සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා වන ටයිටන් බව ඔබ දන්නවාද? නමුත් ටයිටන්හි වැසි සෑදී ඇත්තේ පෘථිවියේ මෙන් ජලයෙන් නොව මෙතේන් හා එතේන් වලිනි.


9

සඳුදා

සතියේ පැනයට පිළිතුර

සුවවන තුවාලයක් ආශ්‍රිතව ඇත්තේ තුනී සමක් බැවින් එහි ඇති ස්නායු අන්ත සිරුරේ අනෙක් ස්ථාන වලට සාපේක්ෂව වැඩි සංවේදීතාවයක් දක්වයි. මෙම අවධියේ සෛල බෙදෙමින් තුවාලය වැසීමට ක්‍රියාකරන විට ඇතිවන යාන්ත්‍රික ආතතිය නිසා ඒ අසල ස්නායු අන්ත උත්තේජනය වී සම කැසීමක් ලෙස අපට දැනේ.


6

සිකුරාදා

සතියේ පැනය

4

බදාදා

අද විදු වදන

හිරු එළියෙන් ආරක්ෂා වීමට භාවිතා කරන ආලේපන සෞඛ්‍යට අහිතකර UV කිරණ අවශෝෂණය කිරීමට හැකිවන ලෙස නිෂ්පාදනය කර ඇත්තේ කෙසේදැයි ඔබ කල්පනා කර තිබේද? ඒවාට මෙම ගුණය ලබාදී ඇත්තේ එම ආලේපන වල TiO2 හා ZnO2 නැනෝ අංශු අඩංගු කිරීම මගිනි.


3

අඟහරුවාදා

අද විදු වදන

අඩවශයෙන් සූර්‍ය ශක්තියෙන් ක්‍රියාකරන දෙඹර විශේෂයක් (Vespa orientalis) පිළිබඳ ඔබ අසා ඇත්ද? මෙම දෙඹරුන් තුල හිරු එලිය, ඵලදායී ශක්තිය බවට පරිවර්තනය කරන “සූර්ය සෛල” පිහිටා ඇති බව පර්යේෂකයන් විසින් සොයාගෙන තිබේ.


2

සඳුදා

සතියේ පැනයට පිළිතුර

කෝපි වල අන්තර්ගත කැෆේන් නම් සංයෝගයට අපේ ශරීරයේ ස්වභාවිකව සංස්ලේෂණය වන ඇඩිනොසීන්හි ව්‍යුහයට සමාන රසායනික ව්‍යුහයක් ඇත. අපේ මොලයේ ඇති ඇඩිනොසීන් ප්‍රතිග්‍රාහක වලට ඇඩිනොසීන් සම්බන්ධ වීමෙන් අපට නිදිමත ඇතිවේ. අප කෝපි පානය කළ විට එහි ඇති කැෆේන්, ඇඩිනොසීන් වෙනුවට මෙම ප්‍රතිග්‍රාහක හා සම්බන්ධ වේ. කැෆේන්, ඇඩිනොසීන් මෙන් ස්නායු සෛල ක්‍රියාත්මක වන වේගය අඩු නොකරන බැවින් අපට නිදිමතක් ඇති නොවේ. එමෙන්ම, ශරීරයට ශක්ති උත්තේජනයක් ලබාදීමට හේතු වන ඇඩ්‍රිනලින් හෝමෝන ස්‍රාවය වැඩි කිරීමද කැෆේන් මගින් සිදුකරයි.