2015 වසරේ අප්‍රේල් මාසයට අයත් විද්‍යා පණිවුඩ

30

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මිනිසුන්ගේ ආහාර විෂවීම් සඳහා හේතුවන සැල්මොනෙල්ලා ලෙස හඳුන්වන හානිදායක බැක්ටීරියා කාණ්ඩයක් ජානමය ලෙස විකරණය කිරීමෙන් ආරක්ෂාකාරී පිළිකා ප්‍රතිකාරයක් සොයාගැනීමට විද්‍යාඥයින් සමත්ව ඇතිවීම ඇත්තෙන්ම අපූරුයි නේද?


29

බදාදා

අද විදු වදන

කොට්ටෝරුවන් අධික වේගයෙන් හිස චලනය කරමින් ශාක කඳන් වලට කොටන්නේ කෙසේදැයි අප වරක් පැවසුවා ඔබට මතකද? කොට්ටෝරුවන්ගේ හිසෙහි ඇති මේ සඳහා උපකාරී වන ලක්ෂණ අධ්‍යනය කොට, හමුදා සෙබළුන්ට, මලල ක්‍රීඩකයින්ට හා වේග මෝටර් රථ ධාවකයින්ට ඉතාමත් ආරක්ෂාකාරී, කම්පන අවශෝෂක උපකරණ නිපදවීමට පර්යේෂකයින් යොමු වී ඇත.


28

අඟහරුවාදා

අද විදු වදන

යම් මානසික කැළඹීමක් ඇතිවූ පසු හැඬීම මගින් මානසික ආතතිය අවම කරවන බව ඔබ දැන සිටියාද? හඬන විට පිටවන කඳුළු හරහා ආතතිය ඇතිකරවන යම් හෝමෝන හා වෙනත් රසායන ද්‍රව්‍ය සිරුරෙන් බැහැර වන අතර එමගින් ඔබට පහසුවක් දැනී සංසුන් වේ.


27

සඳුදා

සතියේ පැනයට පිළිතුර

අපට ස්වභාවිකව ඇසෙන අපගේ කටහඬ ක්‍රම දෙකකින් අපේ ඇතුළු කණ වෙත ලඟාවේ. එනම්, ශබ්දය වාතය තුලින් ගමන් කර බාහිර කණ හරහා ඇතුළුවීමට අමතරව ස්වර තත්ත්‍ර කම්පනයේදී එම කම්පන අස්ථි තුලින් ගමන් කිරීමෙනි. එහිදී, අස්ථි වල ඇතැම් ගුණ නිසා ශබ්දයේ අඩු සංඛ්‍යාත ඉස්මතු වී වඩාත් ගැඹුරු වේ. එබැවින් අපට අපේ කටහඬ ලෙස ස්වභාවිකව ඇසෙන්නේ ශබ්ද දෙකක සංයෝජනයකි. පටිගතකල ශබ්ද අපේ කණට ලඟාවන්නේ වාතය තුලින් පමණක් නිසා එවිට ඇසෙන්නේ එක් ශබ්දයක් පමණකි. එබැවින් ඔබේ ස්වභාවික කටහඬ ලෙස අන් අය හඳුන්වන්නේ ඔබට පටිගත කළ පසු ඇසෙන හඬයි. අන් අයට ඔබේ සවභාවික කටහඬෙහිත් පටිගත කළ කටහඬෙහිත් වෙනසක් නොදැනේ.


24

සිකුරාදා

සතියේ පැනය

23

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සියලු දියර බිංදු ලෙස වැටෙන්නේ ඇයි කියා ඔබ කල්පනා කර තිබේද? වැස්ස ඝනක ආකාරයෙන් පතිත නොවන්නේ ඇයි? එසේ වන්නේ ද්‍රාවණ සැම විටම අවම පෘෂ්ඨික ආතතියක් ඇතිවන පරිදි සිටීමට පෙළඹීම නිසායි. ද්‍රව්‍යයක එකම පරිමාවකට තිබිය හැකි අවම පෘෂ්ඨ වර්ගඵලය ඇත්තේ ගෝලාකාර හැඩයට බැවින් අඩුම පෘෂ්ඨික ආතතියක් ඇත්තේ ගෝලාකාර හැඩයට වේ.


22

බදාදා

අද විදු වදන

අපගේ සිරුරු යම් නියත, කුඩා ප්‍රමාණයකට විකිරණශීලී බව ඔබ දැන සිටියාද? එසේ වන්නේ අප ආශ්වාස කිරීම, ආහාර ගැනීම ආදියේදී පරිසරයේ ස්වභාවිකව ඇති, විකිරණශීලි මූලද්‍රව්‍ය අඩංගු සංයෝග සිරුර තුලට ඇතුළු වීම නිසාවෙනි. කවුරුත් අසා ඇති, කාබන් කාල නිර්ණය සිදු කරන්නේ සත්ත්ව සිරුරු කොටස් වල ඇති විකිරණශිලි කාබන් ප්‍රමාණ මැනීම මගින් වේ.

 


21

අඟහරුවාදා

අද විදු වදන

ඔබ එක් වරක් හෝ අසා ඇති උණ්ඩුකය ඔබේ සිරුරට අවශ්‍ය නොවන අවයවයක් බව. එහෙත් එය ඔබේ අන්ත්‍ර වල වෙසෙන ප්‍රයෝජනවත් බැක්ටීරියා වල වැදගත් ගබඩාවක් ලෙස ක්‍රියා කරන බව ඔබ දැන සිටියාද?


20

සඳුදා

අද විදු වදන

සමනලුන්ගේ රස ප්‍රතිග්‍රාහක පිහිටා ඇත්තේ ඔවුන්ගේ පාද මත වීම පුදුමයි නේද? එබැවින් ඔවුන් ආහාරයට ගන්නා දෑ වල රස බැලීමට ඒවා මත පියවර තැබීම සිදුකරයි.


10

සිකුරාදා

අද විදු වදන

කෙසෙල් වලට ඔබව සතුටින් තැබීමට හැකියාවක් ඇති බව ඔබ දැන සිටියාද? කෙසෙල් යනු ට්‍රිප්ටොෆෑන් නම් සංයෝගය ඉහළ ප්‍රමාණ වලින් අඩංගු වන ආහාරයක් වන අතර එය ආතතිය හා විශාදය දුරලීමට උපකාරී වන අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයකි.


9

බ්‍රහස්පතින්දා

අද විදු වදන

අන් සෑම දෙයක්ම මෙන් ආලෝකයද එක් තැනක සිට තවත් තැනකට යාමට යම් කාලයක් ගනී. අප රාත්‍රී අහස දෙස බැලූ විට පෙනෙන ඇතැම් තාරකා, මන්දාකිණි වලින් පැමිණෙන ආලෝකය අප වෙත පැමිණීමට කෙතරම් කාලයක් ගතවී ඇත්ද යත්, අපට සත්‍යයෙන්ම දිස්වන්නේ ඒවා වසර ගණනාවකට පෙර තිබුණු ආකාරයන්ය. එබැවින් අපි රාත්‍රී අහස නිරීක්ෂණය කිරීම කාලය තුල ආපසු බැලීමක් වැනිය.


8

බදාදා

අද විදු වදන

ජලය තුල සිට වුවද, මාළුවෙකුට ජලයෙන් පිටත ඇති දෑ සියල්ලක්ම පාහේ දැකගත හැකි වීම පුදුම සහගත නොවේද? මාළුවාට, මේ සියල්ලක්ම දර්ශනය වන්නේ 98°ක පමණ කෝණයක් තුල වන අතර මෙම සිදුවීම සඳහා හේතු වන්නේ එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට (මෙහිදී නම් වාතයේ සිට ජලයට) ආලෝකය ගමන් කිරීමේදී සිදුවන වර්තනයයි.


7

අඟහරුවාදා

අද විදු වදන

70%ට වැඩි කොකෝවා ප්‍රතිශතයක් අන්තර්ගත චොක්ලට් වලට පිළිකා වලට විරුද්ධව සටන් කිරීමට හැකියාවක් ඇති බව ඔබ දැන සිටියාද? කොකෝවා වල අඩංගු Catechin නම් රසායනික සංයෝග කාණ්ඩයකට පිළිකා, හෘද රෝග හා ආඝාත වලින් ආරක්ෂාව ලබාදීමට හැකියාව ඇති අතර මෙම සංයෝග කාණ්ඩය තේ වලද අඩංගු වේ.


6

සඳුදා

අද විදු වදන

ඔබ හොඳින් නිරීක්ෂණය කර ඇත්නම්, ඇතැම් කුරුල්ලන් (පරවියන්, කුකුළන්, පොල්කිච්චන් etc.) හිස ගසමින් ඇවිදිනු ඔබ දැක ඇති. ඔවුන් එසේ කරන්නේ එමගින් දේහ සමබරතාව සඳහා ආධාර වීමත්, වස්තු අතර දුර හා ත්‍රිමාන ස්වරූපය පිළිබඳ අවබෝධයක් ලබාදීමත්, ඔවුන්ගේ දෘෂ්ටිය තීවෘ කිරීමත් නිසාය.


2

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඕනෑම වස්තුවක් ප්‍රබලවම අනුනාද වන නිශ්චිත සංඛ්‍යාතයක් ඇත. මෙය අදාල වස්තුවේ ස්වභාවික සංඛ්‍යාතයයි. 1940 දී කඩා වැටුණු, එක්සත් ජනපදයේ පිහිටි “Tacoma Narrows” පාලම පිලිබඳ ඔබ අසා ඇත්ද? මෙය කඩා වැටීමට හේතුව එහි ස්වභාවික සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයකින් හැමූ සුළඟ නිසා එය කම්පනය වීමයි.


1

බදාදා

අද විදු වදන

සෞරග්‍රහ මණ්ඩලයේ ඇති බරින් වැඩිම ග්‍රහලෝකය බ්‍රහස්පතියි. එය කෙතරම් බරද යත් සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් සියළු ග්‍රහලෝක වල බරෙහි එකතුවටත් වඩා එය බරින් වැඩියි. මෑතදී සොයාගන්නා ලද පරිදි බ්‍රහස්පති විසින් පුරාණ සෞරග්‍රහ මණ්ඩලයේ පැවති ග්‍රහලෝක ගණනාවක් විනාශ කොට ඇත.