2015 වසරේ මැයි මාසයට අයත් විද්‍යා පණිවුඩ

29

සිකුරාදා

සතියේ පැනය

28

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඔබ අයිස් කැට දෙකක් මද වේලාවක් එකිනෙක මත තබා තද කලහොත් ඒවා එකිනෙක ඇලෙනු ඔබට දැකිය හැකි. මෙසේ සිදුවීමට හේතුව, පීඩනයත් සමග අයිස් වල ද්‍රවාංකය පහළ ගොස් පහසුවෙන් එම තෙරපෙන ස්ථානයේ අයිස් දියවීමයි. පීඩනය ඉවත් කළ විට ද්‍රවාංකය නැවතත් සාමාන්‍ය අගයට පත්වී දියවූ අයිස් සියල්ල එක් ඒකකයක් ලෙස නැවත මිදේ.


27

බදාදා

අද විදු වදන

ඔබ අධික ලෙස දහඩිය දමන පුද්ගලයෙකු නම් මෙය ඔබට උද්යෝගිමත් තොරතුරක් විය හැකියි. අයර්ලන්තයේ විද්‍යාඥයින් පිරිසක් දහඩිය වැඩිපුර දමත්ම තව තවත් මිහිරි ලෙස සුවඳ වහනය වන සුවඳ විලවුන් වර්ගයක් හඳුන්වා දී තිබෙනවා. මෙහි අඩංගු කර ඇත්තේ තෙතමනය හමුවේ සුවඳ වහනය කරන රසායනිකයි.


26

අඟහරුවාදා

අද විදු වදන

ගොනුන් වර්ණඅන්ධතාව දක්වයි. එහෙත්, Bullfighting නම් ක්‍රීඩාවේදී මිනිසෙකු විසින් රතු පැහැති රෙද්දක් වනමින් ගොනුන් කෝපයට පත් කිරීම සිදු කරයි. එවිට ගොනුන් රෙද්ද වෙත දිවයන්නේ එහි පාට නිසා නොව එය සෙලවීම නිසායි. රතු පමණක් නොව, වෙනත් ඕනෑම පාටක රෙද්දක් සොලවමින් ගොනුන් කෝපයට පත් කළ හැක.


25

සඳුදා

සතියේ පැනයට පිළිතුර

කිරි පැස්චරීකරණයේදී, යම් උෂ්ණත්වයකට කිරි නිශ්චිත කාලයක් රත්කර ක්ෂණිකව සිසිල් කරනු ලැබේ. එහිදී බැක්ටීරියා නාශනය වන නමුත් තාප ප්‍රතිරෝධී ක්ෂද්‍රජීවී බීජානු විනාශ නොවේ. එම නිසා පැස්චරීකරනය කරනලද කිරි ශීතකරනයක ගබඩා නොකලොත් බැක්ටීරියාවලට හිතකර තත්ව ඇතිවී බීජානු නැවත සක්‍රීයවී කිරි නරක්වේ. නමුත් කිරි ජීවානුහරණයේදී කිරි සෙල්සියස් අංශක 120 කට පමන රත්කරන අතර එහිදී තාප ප්‍රතිරෝධී ක්ෂද්‍රජීවීන්ගේ බීජානුද විනාශවේ.එම නිසා ජීවානුහරණය කරන ලද කිරි විවෘත කරනතුරු කාමර උෂ්ණත්වයේ මාස කිහිපයක් ගබඩාකර තැබියහැකිය.


22

සිකුරාදා

සතියේ පැනය

පැස්චරීකරණය කරන ලද (pasteurization) කිරි ශීතකරණයක ගබඩා කිරීම අත්‍යවශ්‍ය වුවත් ජීවානුහරණය (sterilization) කරන ලද කිරි විවෘත කරනතුරු ශීතකරණයක ගබඩානොකර කාමර උෂ්ණත්වයේ තැබිය හැකිවන්නේ ඇයි?


21

බ්‍රහස්පතින්දා

අද විදු වදන

Naked Mole Rats නම් මීයන් විශේෂයක් සතුව සියළු ආකාරයේ පිළිකා වලට එරෙහි ප්‍රතිශක්තියක් තිබෙන බව ඔබ දැන සිටියාද? මෙම හේතුව නිසා ඔවුන්ගේ අප්‍රිය ස්වභාවය නොසලකා, ඔවුන් විශාල ලෙස අධ්‍යනය කිරීමට බොහෝ පර්යේෂකයන් පෙළඹී ඇත.


20

බදාදා

අද විදු වදන

බිත්තර යනු පෝෂ්‍ය ගුණයෙන් අධික ආහාරයක් බව ඔබ දැන සිටියාද? බිත්තර වල, මිනිසුන්ගේ දේහ පටක ගොඩනැගීමට අවශ්‍ය ඇමයිනෝ අම්ල නියම ප්‍රමාණවලින් අඩංගු වන අතර ඒවා ප්‍රෝටීන සංයුතිය අතින් දෙවැනි වන්නේ මව්කිරි වලට පමණී.


19

අඟහරුවාදා

අද විදු වදන

මදුරුවෙක්ගේ දශ්ඨ කිරීම කෙතරම් සියුම්ද යත් බොහෝ විට එම ස්ථානය පසුව කැසීමට ලක්වන තෙක් ඔබට එය දැනෙන්නේවත් නැති කරම් නේද? මෙම උපක්‍රමය අධ්‍යනය කොට, සිරුරට නොදැනෙන ලෙස, වේදනාවක් ඇති නොවන ලෙස විදිය හැකි එන්නත් කටු නිපදවීමට පර්යේෂකයින් සමත්වී ඇත.


18

සඳුදා

සතියේ පැනයට පිළිතුර

සැර ආහාර වල සැර බව ඇති කරන ප්‍රධාන රසායනික වන්නේ කැප්සයිසින් හා ඇලිල් අයිසොතයෝසයනේටි වේ. ඒවා නාස් මාර්ගයේ ඇති ශ්ලේස්මල පටල හා ඇස්වල කඳුළු ග්‍රන්ථි උතිතේජනය කරයි. එවිට නාසය බුරැල්වී සොටු ගලයි. ඇස් වලින් කඳුළු ගලයි.


15

සිකුරාදා

සතියේ පැනය

සැර ඇති ආහාර ආහාරයට ගත් විට නාසය බුරුල් වීම, ඇස් වලින් කඳුලු ගැලීම ආදී කටුක අත්දැකීම් වලට ඔබත් මුහුණ දී ඇති. මෙසේ වන්නේ ඇයිදැයි පැහැදිලි කරන්න.


14

බ්‍රහස්පතින්දා

අද විදු වදන

හඳෙහි වාතය හෝ සුළඟ නැති බැවින් ඔබට යම් දිනක සඳ මත පා තැබීමට හැකි වුවහොත්, නීල් ආම්ස්ට්‍රෝංගේ පා සළකුණු සඳ මත තවම දැකිය හැකි පරිද්දෙන්ම ඔබේ පා සළකුණුද සඳ මත සදහටම නොමැකී තිබීමට හැකියාවක් ඇත.


13

බදාදා

අද විදු වදන

අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී, පුද්ගලයෙකු මියගිය වේලාව නිර්ණය කිරීම සඳහා මළ සිරුරු මත හා අවට වෙසෙන කෘමීන් ප්‍රයෝජනයට ගන්නා බව ඔබ දැන සිටියාද? එපමණක් නොව මළ සිරුරක් අවට, දෙන ලද කෘමි විශේෂයක පැවැත්ම තහවුරු කිරීම මගින් මරණයට සම්බන්ධ යම් යම් ස්ථාන හා සිරුර එක් ස්ථානයකින් වෙනත් ස්ථානයකට ගෙන ගොස් ඇතිදැයිද හඳුනාගත හැක.


12

අඟහරුවාදා

අද විදු වදන

ඔබට දැනෙන හැඟීම් සියල්ල ඔබේ සිරුරේ ඇති රසායනික පණිවිඩකාරකවල, ප්‍රධාන වශයෙන් ස්නායු සම්ප්‍රේෂක වල, ක්‍රියාකාරකම් බව ඔබ මොහොතකටවත් සිතුවාද? ආදරය, ඊර්ෂ්‍යාව, සතුට ආදී හැඟීම් සියල්ල ඔබේ සිරුර තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියාවන් ඇසුරෙන් ඇතිවේ.


11

සඳුදා

සතියේ පැනයට පිළිතුර

සිසිල් බඳුනක් ශීතකරණයෙන් ඉවතට ගෙන සාමාන්‍ය වාතයේ තැබූ විට බඳුන අවට වාත ස්ථර සිසිල් වී උෂ්ණත්වය පහල යයි. එවිට බඳුන වටා ඇති වාත‍ අවකාශය ජල වාෂ්ප වලින් සංතෘප්ත වී, වැඩිමනත් ජල වාෂ්ප සණීභවනය වෙමින් බඳුනේ පිටත බිත්තියේ ද්‍රව බිංදු ලෙස තැන්පත් වේ.


8

සිකුරාදා

සතියේ පැනය

ශීතකළ බීමක් ශීතකරණයෙන් ඉවතට ගෙන සාමාන්‍ය පරිසරයේ තැබූ විට එහි බඳුනේ පිටත ද්‍රව බුබුළු තැන්පත් වනු ඔබට දැකිය හැකි. මෙසේ සිදුවන්නේ ඇයි?


7

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මිනිසුන් උත්පත්තියෙන්ම දිගු දුර ධාවකයන්ය. අපගේ සිරුරු දිවීම සඳහා කෙතරම් දුරට සංවිධානය වී ඇත්ද යත් ඇතැම් විද්‍යාඥයින් පවසන්නේ දිගු දුරවල් දිවිය හැකි සතුත් අතර ඉදිරියෙන්ම සිටීමට අපට හැකිවී ඇති බවයි. පුරාණ කාලයේ මිනිසුන් විසින් සතුන් අධික ලෙස වෙහෙසට පත්ව මියයන තෙක් ඔවුන් පසුපස හඹා ගොස් ඔවුන් දඩයම් කර ඇත.


6

බදාදා

අද විදු වදන

බළලුන් හා සුනඛයින් තණකොළ ගිල වමාරනු ඔබ දැක ති‍බෙනවාද? ඔවුන් එසේ කරන්නේ වමනය කර, එමගින් ඔවුන්ට ඇතිවන බඩේ කැක්කුම් ආදියෙන් සුවයක් ලබා ගැනීමටයි. මෙය සතුන් අතර දැකිය හැකි ස්වයං ප්‍රතිකාර ක්‍රමයක් වේ. චිම්පන්සීන්, අලින් ආදී සතුන්ද මෙවැනි ස්වයං ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරයි. චිම්පන්සීන් රළු ශාක පත්‍ර ගිලීම සිදුකරන අතර ඒවා ඔවුන්ගේ ආහාර ජීරණ පද්ධතියේ වෙසෙන පරපෝෂී ජීවින් ඉවත් කිරීමට වැලි කඩදාසි සේ ක්‍රියා කරයි.


5

අඟහරුවාදා

අද විදු වදන

ගැළපෙන දායක රුධිරය සොයාගැනීමට වෙරදරන දුර්ලභ රුධිර ගණ සහිත පුද්ගලයන් පිළිබඳ ඔබ අසා ඇති. මෙවැනි සිදුවීම් වලට නුදුරු අනාගතයේදීම තිත තැබීම සඳහා, ඕනෑම රුධිර ගණයක් සර්වදායක රුධිර ගණය වන O රුධිර ගණය බවට පත් කළ හැකි එන්සයිමයක් නිපදවීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇත.