2015 වසරේ ජූනි මාසයට අයත් විද්‍යා පණිවුඩ

30

අඟහරුවාදා

අද විදු වදන

නෙළුම් කොළවල ඇති ස්වයං පිරිසිදුකාරක හැකියාව ලබාදෙන ලෝටස් ආචරණය පිළිබඳ ඔබ බොහෝ දෙනා අසා ඇති. වැටෙන ජලය නෙළුම් පත්‍රවල ඇති ඉතා සියුම් ක්ෂුද්‍ර නැනෝ නෙරීම් මගින් ජල බිඳිති බවට පත් කර පත්‍ර මත ඇති අපවිත්‍ර අංශුද සමඟ පෙරලී යැවීමෙන් පත්‍රය නිරතුරුව පිරිසිදුවට තබා ගැනේ. මෙම ජල භීතික ගුණය අධ්‍යනය කොට ස්වයං පිරිසිදුකාරක වීදුරු හා ආවරණ සෑදීමට අද වන විට සමත්ව ඇත.


29

සඳුදා

සතියේ පැනයට පිළිතුර

උණුසුම් දිනවලදී බයිසිකල් ටයරය තුළ ඇති වාතය රත්වී, එතුල පීඩනය වැඩිවේ. රබර් වලින් සාදා ඇති බයිසිකල් ටියුබයද, උෂ්ණත්වයේ වැඩිවීම සමඟ ප්‍රසාරණයවී වඩාත් සිහින් වන නිසා ටියුබය පළුදු වී සුළං යාමට වැඩි හැකියාවක් ඇතිවේ. මේ හේතු නිසා බයිසිකල් වල වැඩිපුර සුළං යන්නේ උණුසුම් දින වලදී වේ.


26

සිකුරාදා

සතියේ පැනය

ඔබ නිතර බයිසිකල් පදින්නෙක් නම්, බයිසිකල් රෝදයක හුළං යෑමට වැඩි හැකියාවක් ඇත්තේ සිසිල් දින වලදී නොව උණුසුම් දින වලදී බව ඔබ අත්විඳ ඇති. මෙයට හේතුව කුමක්ද?


25

බ්‍රහස්පතින්දා

අද විදු වදන

අඟහරු ග්‍රහයා රතු පාටින් දිස්වන්නේ ඇයි දැයි ඔබ දැන සිටියාද? අඟහරු පෘෂ්ඨය මත යකඩ වලින් සැදි දුහුවිලි අඩංගු වන අතර මෙම දුහුවිලි ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කොට රතු පැහැයක් සහිත අයන් ඔක්සයිඩ් නිපදවේ. එනම්, අඟහරු පෘෂ්ඨය මල බැඳී ඇති බව සිතුවාටද වරදක් නැත.


24

බදාදා

අද විදු වදන

බොහෝ විද්‍යාඥයින් පවසන ආකාරයට, ජීවි ඉතිහාසයේ 6වන මහා නෂ්ඨවීම මේ වනවිටත් ඇරඹී ඇති බව ඇසුවහොත් ඔබ විමතියට පත්වනු නිසැකයි. මිනිසුන්ගේ අහිතකර පාරිසරික පිළිවෙත් මේ සඳහා බලපා ඇති මූලික හේතුවයි. කාර්මික විප්ලවය ආරම්භයේ සිට මේ දක්වා ජීවී විශේෂ විශාල ගණනක් නශ්ඨවී ඇති අතර, වත්මන් නෂ්ඨවීමේ වේගයට අනුව තවත් සියවස් 2කට අඩු කාලයක් තුල දැනට හඳුනා‍ගෙන ඇති ජීවී විශේෂ වලින් 75%ක් නෂ්ඨ වී යා හැකි බවට ඇස්තමේන්තු ගතකොට ඇත. මෙය මිනිස් වර්ගයාගේ පැවැත්මටද තර්ජනයක්ව පවතී.


23

අඟහරුවාදා

අද විදු වදන

කෙසෙල් වලට ඔබව සතුටින් තැබීමට හැකි බව අප වරක් පැවසුවා මතකද? එපමණක් නොව, මෑතකදී ජපන් පර්යේෂකයින් පිරිසක් විසින් කරන ලද අධ්‍යනයකට අනුව හෙලිවී ඇත්තේ දුඹුරු පැහැති තිත් වැටී, හොඳින් ඉදී ඇති කෙසෙල් වලට පිළිකා ඇතිවීම වැළැක්වීමටත්, ඒවාට එරෙහිව සටන් කිරීමටත් හැකි බවයි. එම දුඹුරු පැහැ තිත් වල අඩංගු TNF නම් සංයෝගය නිසා කෙසෙල් වලට මෙම හැකියාව ලැබී තිබේ.


22

සඳුදා

සතියේ පැනයට පිළිතුර

අනෙකුත් ස්ඵටික වලට වඩා සැලකිය යුතු තරම් ඉහළ වර්තනාංකයක් දියමන්ති සතුය. එබැවින් බොහෝ ආලෝක කිරණ දියමන්ති තුලදී කිහිප වරක් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක්වී පිටතට පැමිණේ. මේ නිසා දියමන්ති වලට දීප්තිමත් දිස්නයක් ලැබේ. මීට අමතරව, මෙම දිලිසීම වැඩි කිරීමට දියමන්ති සුදුසු පරිදි කැපීම සිදුකරයි.


19

සිකුරාදා

සතියේ පැනය

18

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඉතා උස ගොඩනැගිලි, සුළඟත් සමග පැද්දෙන ලෙස නිර්මාණය කර ඇති බව ඇසුවොත් ඔබ පුදුමයට පත් වෙයි. එම ගොඩනැගිලිවල ඉහළ කොටස් චලනය නොවේ නම් ඇතිවන අධික සුළං පීඩනය නිසා ඒවාට හානි විය හැක. පැද්දීම නිසා, සුළඟ මගින් ඇතිවන පීඩනය මර්දනය වේ.


17

බදාදා

අද විදු වදන

මෑත කාලයේදි නේපාලයට බලපෑ දරුණු භූමිකම්පා යුගල පිළිබඳ ඔබට මතක ඇති. ඒවා කෙතරම් ප්‍රභල වීද යත්, ඒවායේ බලපෑම නිසා ලෝකයේ උසම කන්ද වන එවරස්ට් කන්ද සෙන්ටිමීටර 3කින් චලනය වී ඇති ඔබ දැන සිටියාද?


16

අඟහරුවාදා

අද විදු වදන

දිලීර ගොවිපළවල් පවත්වාගෙන යන, Leafcutter යන නමින් හැඳින්වෙන කූඹි විශේෂ කිහිපයක්ම සිටින බව ඔබ දන්නවාද? මෙම කූඹීන් වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ ශාක පත්‍ර කොටස් කපා ඔවුන්ගේ වාසස්ථාන වලට ගෙන යාමට ඇති පුරුද්ද සඳහායි. කෙසේවෙතත් බොහෝ දෙනෙක් සිතන පරිදි මෙම ශාක පත්‍ර ගෙනයන්නේ ආහාර සඳහා නොව, ඔවුන්ගේ වගා සඳහා පොහොර ලෙසයි.


15

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ලැක්ටෝස් ආසාත්මිකතා ඇතිවන්නේ කෑමට ගන්නා ආහාර වල ඇති ලැක්ටෝස් බිඳ වැටීමට උපකාරී වන ලැක්ටේස් එන්සයිමය අන්ත්‍ර මගින් අවශ්‍ය තරම් ප්‍රමාණයක් නිපද නොවන නිසායි. නමුත් පැසීමට ලක් කිරීමේදී බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා ආහාර වල ඇති ලැක්ටේස් සරල සංඝටක වලට බිඳ වැටේ. එබැවින් යෝගට් හා මිදවූ කිරි වැනි පැසීමට ලක් කරවන ලද ආහාර ගැනීම ලැක්ටෝස් ආසාත්මිකතා ඇති පුද්ගලයින්ට හානිදායී නොවේ.


12

සිකුරාදා

සතියේ පැනය

ලැක්ටෝස් ආසාත්මිකතා ඇති අයට නැවුම් කිරි පානය කළ නොහැකි වුවත් පැසීමට භාජනය කරවන ලද (fermented) යෝගට්, මුදවපු කිරි වැනි නිෂ්ෂාදන ආහාරයට ගත් විට කිසිදු ආසාත්මිකතාවක් ඇති නොවේ. එසේ වන්නේ ඇයි?


11

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මකුළුවන් තමන්ගේම දැල් වල නොපැටලී සිටින්නේ කෙසේදැයි ඔබ කල්පනා කර ඇත්ද? ඔවුන් ඇලෙනසුළු හා නොඇලෙනසුළු මකුළු සේද වර්ග දෙකක් නිපදවා ඒවායින් මකුළු දැල් සාදයි. ඔවුන්ට මෙම සේද පහසුවෙන් වෙන්කර හඳුනාගතහැකි බැවින් ඔවුන් ඇලෙනසුළු සේද මත ඇවීදීමෙන් වැළකී සිටී. ඊට අමතරව, ඔවුන් ඇවිදීමේදී, පාද මත ඇති චලනය කළ හැකි නිය මගින් මකුළු සේද අල්ලා ගැනීම හා මුදාහැරීම සිදු කරයි.


10

බදාදා

අද විදු වදන

කිඹුලන් තම ගොදුරු නොවිකා එකවර ගිල දමයි. එබැවින් ඔවුන්ගේ දත් ආහාර විකා කෑමට නිර්මාණය වී නැත. නමුත් ඔවුන් ආහාර මෙන්ම සාමාන්‍ය ප්‍රමාණයේ ගල්ද ගිල දමන බව ඇසුවොත් ඔබ පුදුමයට පත් වෙයි. ගිලින ලද ගල් ඔවුන්ගේ ආමාශය තුල ඇති ආහාර කුඩා කැබලි වලට පොඩිකිරීමට උදව් වේ. මීට අමතරව ශරීරයට අමතර බරක් ලබා ගැනීම මගින් පිහිනුම් හා කිමිදුම් හැකියාවන් වැඩි කරගැනීමටද මෙමගින් හැකිවේ.


9

අඟහරුවාදා

අද විදු වදන

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇති ජල ප්‍රතිචක්‍රීකරණ පද්ධතිය මගින් ගගණගාමීන්ගේ මූත්‍රා හා දහඩිය සියල්ලක්ම පාහේ නැවත බීමට ගත හැකි ජලය බවට පත් කිරීමට සමත්ය. මෙම ජලය අප පෘථිවියේදී බීමට ගන්නා ජලයටත් වඩා පිරිසිදු වේ.


8

සඳුදා

සතියේ පැනයට පිළිතුර

බෝලයක් කෙතරම් උසකට පොලා පනියිද යන්න තීරණය කරන්නේ බෝලය අදාල පෘෂ්ඨයෙහි ගැටීමෙන් පසු ඉතිරිවන ශක්ති ප්‍රමාණය මගිනි. රබර් බෝලයක් පෘෂ්ඨයක ගැටුනු පසු සම්පීඩනය වී නැවතත් මුල් හැඩයට පත්වේ. පොලා පැනීමට යොදා ගතහැකි ශක්තියෙන් සෑහෙන ප්‍රමාණයක් මෙම ක්‍රියාවලිය සඳහා වැයවී හානි වේ. වීදුරු බෝලයක මෙසේ හැඩය වෙනස් වීමක් සිදු නොවන නිසා එහිදී සිදුවන ශක්ති හානිය අවමය. එබැවින් වීදුරු බෝලයක් වැඩි උසකට පොලා පනියි.


5

සිකුරාදා

සතියේ පැනය

 

බිඳී නොගියහොත්, වීදුරු බෝලයක් එකම ආයාසයක් යටතේ රබර් බෝලයකට වඩා වැඩියෙන් පොලා පනින්නේ ඇයි? ඔබේ පිළිතුරු අප වෙත එවා සතියේ ජයග්‍රාහකයා වන්න.


4

බ්‍රහස්පතින්දා

අද විදු වදන

නිවෙස් වලදී රබර් දහනය නොකරන ලෙස ඔබට උපදෙස් දී ඇත්තේ ඇයිදැයි ඔබ දැන සිටියාද? අප නිවෙස් වලදී භාවිතා කරන රබර් බොහෝමයක් ඒවායේ ප්‍රත්‍යස්ථතාව හා කල්පැවැත්ම වැඩි කිරීමට වල්කනයිස් කිරීම නම් ක්‍රියාවලියකට ලක් කර ඇත. මෙම රබර් දහනය කිරීමේදී අධික වායු දූෂක වායුවක් වන SO2 පිටවේ. SO2, අම්ල වැසි හා දේශගුණ වෙනස්වීම්ද, මිනිසුන්ට හදවත් හා ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගද, ඇති කිරීමට ක්‍රියාකරන පරිසර දූෂකයකි.


3

බදාදා

අද විදු වදන

තාරකා විද්‍යාඥයින් පෘථිවියේ සිට අනෙක් තාරකා වලට ඇති දුර මනින්නේ කෙසේදැයි ඔබ සිතා තිබෙනවාද? ඔවුන් භාවිතා කරන්නේ අප පාසලේදී ඉගෙනගත් සරල ත්‍රිකෝණමිතියයි. ඔවුන් යම් තාරකාවක් යම් දිනක නිරීක්ෂණය කර ඊට මාස 6කට පමණ පසු නැවත එය නිරීක්ෂණය කරන විට පෘථිවියේ පරිභ්‍රමණය නිසා තාරකාව නිරීක්ෂණය වන්නේ ස්ථාන දෙකක සිටයි. එම ස්ථාන දෙක අතර දුර යනු පෘථිවි කක්ෂයේ විෂ්කම්භයකි. විෂ්කම්භය හා වාර දෙකෙදී තාරකාව නිරීක්ෂණය වන කෝණ වෙනස මිනිය හැකි බැවින් ඔවුන්ට පහසුවෙන්ම අදාල තරුව වෙත ඇති දුර ගණනය කල හැක.


1

සඳුදා

සතියේ පැනයට පිළිතුර

වීදුරු රත් වූ විට, පළමුවෙන්ම තාපය ලබා ගන්නා වීදුරු ස්ථර ප්‍රසාරණය වේ. වීදුරු යනු දුර්වල තාප සන්නායක් නිසා මෙම තාපය අනෙක් ස්ථර වලට ඉක්මනින් සන්නයනය නොවේ. එබැවින් වීදුරුවෙහි සිදුවන්නේ අසමාන ප්‍රසාරනයකි. එවිට ඇති වන ආතතිය නිසා වීදුරුව පුපුරා යයි. අද පවතින තාපයට ඔරොත්තු දෙන වීදුරු සාදා ඇත්තේ තාප සන්නායකතාව වැඩිකරන ද්‍රව්‍ය වීදුරු වලට මිශ්‍ර කිරීම මගිනි. බොහෝ අය සිතන පරිදි වීදුරු යනු ඝන අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් නොවේ. වීදුරු අධික ලෙස ශීත කළ ද්‍රවයකි.