2015 වසරේ ජූලි මාසයට අයත් විද්‍යා පණිවුඩ

30

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඔබ සියළුදෙනාම යන්නට කැමති ස්ථාන පිළිබඳ නින්දෙන් සිහින මවා ඇති. අප මෙන්ම සතුන්ද මෙලෙස සිහින මවන බව ලන්ඩන් යුනිවර්සිටි කොලිජීය මගින් මීයන් ඇසුරින් කරන ලද පරීක්ෂණයකදී හෙලිවී තිබෙනවා. මෙම පරීක්ෂණය සිදුකර ඇත්තේ මීයන් ඇසුරින් යොදාගෙන මීයන්ගේ මොලයේ ක්‍රියාකාරකම් අධ්‍යනය කිරීමෙන්.


29

බදාදා

අද විදු වදන

මෑතදී කළ අධ්‍යනයකින් පෙනී ගොස් ඇත්තේ හෙමින් ආහාර ගැනිමෙන් අඩු ආහාර ප්‍රමාණයක් මගින් බඩ පුරවා ගත හැකි බවයි. එබැවින් ඔබට කෙට්ටුවට සිටීමට අවශ්‍ය නම් හෙමින් ආහාර ගැනීම ඔබට වාසිදායක විය හැක.


28

අඟහරුවාදා

අද විදු වදන

“විද්‍යාව විශ්වීයයි. අයින්ස්ටයින්ගේ සමීකරණය E=mc^2 , සෑම අයෙක් කරාම ළඟා විය යුතුය. මනුෂ්‍ය වර්ගයා ලත් ඒ අසිරිමත් ත්‍යාගය, විද්‍යාව, අපි විකෘති නොකළ යුතුය.” -ලෝක ප්‍රකට විද්‍යාඥ සහ හිටපු ඉන්දීය ජනපති නැසීගිය ආචාර්ය අබ්දුල් කලාම් මහතා සිහිකිරීම පිණිසයි.


27

සඳුදා

සතියේ පැනයට පිළිතුර

පිලිස්සුම් රෝගීන්ගේ හානිවූ පටක නැවත වර්ධනය වී සුව වීම විශාල වශයෙන් ශක්තිය වැයවන දීර්ඝ ක්‍රියාවලියකි. මේ සඳහා අමතරව ප්‍රෝටීන වැඩි ප්‍රමාණයක් නොගත්තේ නම් රෝගියාගේ මාංශපේශී වැයවී සුවවන ක්‍රියාවලියට අවශ්‍ය ශක්තිය සපයයි. එබැවින් ප්‍රෝටීන අධික ආහාර වේල් ලබාදේ.


24

සිකුරාදා

සතියේ පැනය

23

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සුනඛයින් ඔවුන්ගේ දිව එලියට දමා හති අරිනු සුලභව දැකිය හැකියි. ඔවුන් එසේ කරන්නේ එමගින් ඔවුන්ගේ දේහ උෂ්ණත්වය යාමනය කිරීමටයි. දේහ සිසිල් කරගැනීම සඳහා මිනිසුන් මෙන් දහඩිය හෙලීම ඔවුන් වැඩි වශයෙන් සිදුනොකරන අතර දිව පිටතට දමා හති ඇරීමෙන් ඔවුන්ගේ දිවෙහි ඇති තෙතමනය වාශ්පවී සිසිල් බවක් ඇතිවේ.


22

බදාදා

අද විදු වදන

මුළු වායුගෝලයම මගින් ඔබ මත ඇති කරන වායුගෝල පීඩනයට සමාන පීඩනයක් මීටර් 10ක ජල කඳක් මගින් ඇති කළ හැකි බව ඔබ දන්නවාද? එබැවින්, ඔබ ජල තටාකයක් තුල මීටර් 10ක් දුරට කිමිදුනහොත් ඔබ මත සාමාන්‍ය වායුගෝල පීඩනය මෙන් දෙගුණයක පීඩනයක් ක්‍රියාත්මක වේ.


21

අඟහරුවාදා

අද විදු වදන

නයින්, ගැරඬියන් ආදීන් ඉවත් කල හැව පරිසරයේ වැටී තිබෙනු ඔබ නොයෙකුත් අවස්ථාවල දැක ඇති. නමුත්, මිනිසුන් වන අප තුලද මෙම ක්‍රියාවලියටම සමීප ක්‍රියාවලියක් සිදු වන බව ඔබට මතක් වී තිබෙනවාද? සාමාන්‍යයෙන් මිනිසෙකුගේ ජීවිත කාලයක් තුල සම කිලෝග්‍රෑම් 18ක් පමණ ගැලවී ඉවත් වේ.


20

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ආලෝකය මාධ්‍ය දෙකක් අතර ගමන් කිරීමේදී, එම මාධ්‍ය දෙක තුල ආලෝකයේ ප්‍රවේගය වෙනස් වීම නිසා ආලෝක කිරණ නැවීමට ලක්වේ. මෙය ආලෝකය වර්තනය වීම නම්වේ. ජලය තුල සිට ආනතව අපේ ඇස වෙත එන ආලෝක කිරණ ජල-වාත අතුරු මුහුණතේදී ජල පෘෂ්ඨය දෙසට නැවීමට ලක්වේ. මෙය සිදුවන්නේ ගහනතර මාධ්‍යය වන ජලයේ සිට විරලතර මාධ්‍යය වන වාතය දක්වා ගමන් කරන විට ආලෝකයේ ප්‍ර‍වේගය වැඩි වීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස පොකුණේ පතුල එසවී අපට එහි ගැඹුර සැලකිය යුතු ලෙස අඩුවට පෙනේ. කෙසේවුවත්, වර්තනයට ලක් වන්නේ ජල-වාත අතුරු මුහුණත වෙත ආනතව පතනය වන ආලෝක කිරණ පමණි.


17

සිකුරාදා

සතියේ පැනය

පොකුණු හා පිහිනුම් තටාක ආදිය පිටතින් බැලූ විට ඉතා අඩු ගැඹුරක් සහිතව පෙනුනද සත්‍ය වශයෙන්ම ඒවායේ ගැඹුර ඊට වඩා සෑහෙන තරමක් වැඩිය. මෙයට හේතුව කුමක්ද?


16

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ජලයේ ද්‍රවණය වී ඇති CO2 යොදාගෙන ස්වභාවිකව කොරල්පර නිර්මාණය වන ආකාරය අධ්‍යනය කිරීමෙන්, අමු ද්‍රව්‍යයක් ලෙස CO2 යොදාගෙන සිමෙන්ති නිෂ්පාදනය කිරීම සඳහා නව ක්‍රමයක් සොයාගැනීමට විද්‍යාඥයෙකු සමත්වී තිබෙනවා. දැනට පරිසරයට සිදුවන ගෝලීය CO2 විමෝචනයෙන් 5%ක් පමණ සිදුවන්නේ කාර්මිකව සිමෙන්ති නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය නිසාවෙනි.


15

බදාදා

අද විදු වදන

අපට ආලෝක වර්ෂ 40කට පමණ දුරින් පිහිටන 55 Cancri e නම් පෘථිවිය මෙන් දෙගුණයක් විශාල, 1/3ක් දියමන්ති වලින් සැදි ග්‍රහ ලෝකයක් පිළිබඳ ඔබ දැන සිටියාද? මෙම ග්‍රහ ලොවෙහි ඇති විශාල කාබන් ප්‍රමාණය හා 2100 °C ක පමණ අධික මතුපිට උෂ්ණත්වය දියමන්ති නිර්මාණය වීම සඳහා විශිෂ්ඨ තත්ව සපයයි.


14

අඟහරුවාදා

අද විදු වදන

විලෝපිකයන්ගෙන් ආරක්ෂාවීම සඳහා තම ඇස් වලින් රුධිරය විදින කටුස්සන් වි‍ශේෂයක් (Phrynosoma ගණය) පිළිබඳ ඔබ අසා තිබෙනවාද? ඔවුන්ට මීටර් 1.5ක් තරම් දුරට රුධිරය විදිය හැකි අතර මෙම රුධිරය තුල හානිකර රසායන ද්‍රව්‍ය අඩංගු වේ. මෙම රසායන ද්‍රව්‍ය ඔවුන්ට ලැබෙන්නේ ඔවුන් ආහාරයට ගන්නා විෂ සහිත කූඹි විශේෂයක් මගිනි.


13

සඳුදා

සතියේ පැනයට පිළිතුර

තට්ටු දෙකේ බස්වල ඉහළ තට්ටුවේ මිනිසුන් සිටගෙන යන විට, මගීන් හා බස් රථය යන පද්ධතිය අස්ථායි කරමින් එහි ගුරුත්ව කේන්ද්‍රය ඉහළට යයි. මේ නිසා වංගු ගැනීමේදී බස් රථය පෙරලී යාමට වැඩි අවදානමක් ඇතිවේ.


10

සිකුරාදා

සතියේ පැනය

9

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඔබේ සිරුරේ කෙතරම් බැක්ටීරියා පිරිසක් ජීවත්වනවාද කියා ඔබ කල්පනා කොට තිබෙනවාද? මිනිස් සිරුර ගොඩනැගී ඇති සෛල මෙන් 10 ගුණයක් බැක්ටීරියා අපගේ සිරුරුවල ජීවත් වනවා. විද්‍යාඥයින් සොයාගෙන ඇති පිරිදි, සාමාන්‍ය මිනිසෙකුගේ සිරුර සෛල ට්‍රිලියන 37.2කින් පමණ සෑදී ඇති බැවින්, මෙසේ ජීවත්වන බැක්ටීරියා ප්‍රමාණය ට්‍රිලියන 372 ක් පමණ වනවා! එබැවින් ලෝකයේ ජනගහණය මෙන් 53100 ගුණයක බැක්ටීරියා ප්‍රමාණයක් තනි පුද්ගලයෙකුගේ සිරුරක ජීවත්වනවා.


8

බදාදා

අද විදු වදන

මිනිස් ඛේටයේ ඉතාමත් ප්‍රභල වේදනා නාශකයක් අඩංගුවන බව ඇසුවොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමානයි. ඔපිඔෆීන් නැමැති මෙය, කවුරුත් අසා ඇති පොදු වේදනා නාශකයක් වන මෝර්ෆීන් මෙන් 6 ගුණයක් ප්‍රභලය.


7

අඟහරුවාදා

අද විදු වදන

රොබෝ තාක්ෂණ පර්යේෂකයින්ගේ විශේෂ අවධානයක් දිනා ගැනීමට මුහුදු අශ්වයින් සමත්ව ඇති බව ඔබ දන්නවාද? මේ සඳහා හේතු වී ඇත්තේ ඔවුන්ගේ වලිගයේ ඇති නම්‍යශීලි බවට ඉඩදෙන දැඩි ගතිය හා ඇඹරීම්, හැඩය වෙනස් වීම් ආදියෙන් පසු ක්ෂණයකින් නැවතත් ප්‍රකෘති හැඩය ලබා ගැනීමට ඇති හැකියාවයි. ඔවුන්ගේ වලිගය ගොඩනැගී ඇති ව්‍යුහය හා එය ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යනය කිරීමෙන් නොයෙකුත් ක්ෂේත්‍රයන්ගේදී ප්‍රයෝජනවත් වන නවතම රොබෝ තාක්ෂණ යෙදීම් වලට ඒවා ඇතුලත් කළ හැකි බව පර්යේෂකයින් විශ්වාස කරයි.


6

සඳුදා

සතියේ පැනයට පිළිතුර

කඳුකර ප්‍රදේශ වල, වායුගෝලීය පීඩනය අඩු නිසා ජලයේ තාපාංකය අංශක කීපයකින් පහළ යයි. එවිට, ජලයේ උෂ්ණත්වය 100 °C වීමට පෙර වතුර නටයි. මෙනිසා ජලයට ලැබෙන උපරිම උෂ්ණත්වය, මුහුදු මට්ටමේදීට(100 °C ට) වඩා අඩුය. එවිට එළවළු වලට ලැබෙන උෂ්ණත්වයද අඩුය. එබැවීන් ඒවා තැම්බීමට වැඩි කාලයක් ගතවේ.


3

සිකුරාදා

සතියේ පැනය

2

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සිකුරු ග්‍රහලොවේ හිම ලෙස පතිත වන්නේ ලෝහ බව ඔබ දැන සිටියාද? පෘථිවියේ හිම වලින් වැසුනු කඳු ඇති ආකාරයෙන්ම සිකුරු වලද ලෝහ පතිතවූ කඳු ඇත. මෙහි වැඩිපුර අන්තර්ගත වන්නේ බැර ලෝහ වර්ගයි.