2015 වසරේ අගෝස්තු මාසයට අයත් විද්‍යා පණිවුඩ

31

සඳුදා

සතියේ පැනයට පිළිතුර

පොලිෆීනෝල නමින් හැඳින්වෙන රසායනික විශාල ප්‍රමාණයක් තේ වල අන්තර්ගත වේ. තේ වල ඇති ආවේණික රසය හා සුවඳ ඇති කරන්නේ මේවා මගිනි. උණු වතුර බෝතල් තුල තේ දමා තිබූ විට වැඩි වේලාවක් පවතින ඉහළ උෂ්ණත්වය යටතේ මෙම සංයෝග ඔක්සිකරණය වී ටැනික් අම්ලය සාදයි. එමගින් තේ වල ඉහත කී ගුණ වෙනස් වේ.


28

සිකුරාදා

සතියේ පැනය

27

බ්‍රහස්පතින්දා

අද විදු වදන

වෛරස් යනු අජීවීන් ලෙස සැලකුනද, නූතන සොයාගැනීම් වලට අනුව ඔවුන් සජීවී සෛල ආක්‍රමණය කිරීමේදී එකිනෙකා හා රසායනිකව සන්නිවේදනය කර කණ්ඩායම් තීරණ ගන්නා බව හෙලිවී තිබෙනවා. මෙම සන්නිවේදන ක්‍රම අධ්‍යයනය කිරීම මගින් වඩාත් සූක්ෂම ලෙස ක්‍රියාකරන සන්නිවේදන ආම්පන්න වැඩි දියුණු කිරීමට විද්‍යාඥයින් මේ වන විට පර්යේෂණ සිදු කරනවා.


26

බදාදා

අද විදු වදන

ඔබ කැරකෙන පුටුවක වාඩිවී කැරකෙන අතරම ක්ෂණිකව දෑත් දෙපසට දික්කර තිබෙනවාද? එසේනම් එවිට පුටුව කැරකෙමින් තිබු වේගය ක්ෂණිකව අඩුවන බව නම් ඔබට දැනී ඇති. මෙසේ වීමට හේතුව එහි භ්‍රමණ වේගය එය කැරකෙන අක්ෂය වටා ඇති ස්කන්ධ ව්‍යාප්තිය මත රඳා පැවතීමයි. ඔබ දෑත් දිගුකළ විට, පුටුවේ භ්‍රමණ අක්ෂය ඔස්සේ ඔබේ සිරුරේ පැතිරීම වැඩි වේ. මේ නිසා පුටුව කැරකෙන වේගය අඩුවේ.


25

අඟහරුවාදා

අද විදු වදන

කැරපොත්තන්ට ඔවුන්ගේ හිස නැතිව වුවත් ඔවුන් හාමත්වී මිය යන තුරු සති කිහිපයක් වුවද ජීවත් විය හැකි බව ඔබ දන්නවාද? ඔවුන්ගේ හිස ගැලවී ගියහොත් බෙල්ලේ රුධිරය කැටි ගැසී සිරුර මුද්‍රා තබයි. බෙහෝදෙනා අප්‍රිය කරන ජීවීන්ට වුවද, අපව පුදුම කිරීමට හැකි ලක්ෂණ ඇති බවට මෙය හොඳ උදාහරණයක් නොවේද?


24

සඳුදා

සතියේ පැනයට පිළිතුර

වෙනත් තැනක සිටුවීම සඳහා කෙසෙල් පැළයක් ගැලවීමේදී එහි ඇති මුල් කැඩී යයි. වෙනත් තැනක සිටුවීමෙන් පසු මුල් නැවත වැඩෙන තෙක් පැළයට පසෙන් ජලය අවශෝෂණය කර ගැනීමට අපහසු වේ. මුල් වැඩෙන තෙක් පැළයේ ඇති ජලය උත්ස්වේදනය මගින් ඉවත්වීම අවම කරගැනීම සඳහා (එවිට උත්ස්වේදනය සිදුවන පෘෂ්ඨ වර්ගඵලය අඩුවන නිසා) අතු කපා දමයි. මෙමගින් පැළය මලානික වීම වැළකේ.


21

සිකුරාදා

සතියේ පැනය

20

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මුළු දේහ බරින් 2%ක් පමණ වන කුඩා අගයක් ගන්නා මොළය, අනෙකුත් අවයව වලට සාපේක්ෂව ඉහළතම ඔක්සිජන් පරිභෝජනයක් සිදු කරයි. ඒ, දේහය ලබා ගන්නා ඔක්සිජන් වලින් 20%කට අධික පරිභෝජනයක් සිදුකරමිනි.


19

බදාදා

අද විදු වදන

හිරුට ආසන්නතම ග්‍රහයා වන බුධ මත අයිස් පවතන බව නිරීක්ෂණය කර තිබෙනවා. අධික උෂ්ණත්වයක් සහිත ග්‍රහලෝකයක් වුවද එය මත අයිස් පැවතීමට හේතුව, එම අයිස් ඇත්තේ ග්‍රහලොවෙහි උත්තර ධ්‍රැවයේ ඇති කිසිදිනක හිරු එළිය නොලබන ආවාට තුල වීමයි. මෙම අයිස් බුධ වෙත ගෙනගොස් ඇත්තේ වල්ගා තරු මගින් බව විශ්වාස කෙරේ.


18

අඟහරුවාදා

අද විදු වදන

අන්නාසි කෑමෙන් පසු ඔබේ මුඛයේ ඇතිවන කැසීම හා රළු බව ඔබට මතක් කරගත හැකිද? මෙය ඇතිවන්නේ අන්නාසි වල ඇති ප්‍රෝටීන ජීරක එන්සයිම මිශ්‍රණයක් වන බ්‍රොමිලේන් (Bromelain) නිසාවෙනි. එබැවින් ඒවා සංවේදී සම මත ගැටුණු විට, සමෙහි පෘෂ්ඨයේ ඇති ප්‍රෝටීන බිඳ දමා අපහසු හා රළු බවක් ඇති කරයි.


17

සඳුදා

සතියේ පැනයට පිළිතුර

කිවුල් ජලයේ කැල්සියම් හා මැග්නීසියම් අයන පවතී. සබන් භාවිතා කොට සේදීමේදී සබන් වල ක්‍රියාකාරී සංයෝගයේ ඇති සෝඩියම් අයනය, ජලයේ ඇති කැල්සියම් හෝ මැග්නීසියම් අයනයක් මගින් ප්‍රතිස්ථාපනය වී සුදු පැහැති ජල අද්‍රාව්‍ය සංයෝගයක් සාදයි. රෙදි සේදීමට අමතරව මෙම සංයෝගය සෑදීමටද සබන් ප්‍රමාණයක් වැය වන බැවින් මුළු ක්‍රියාවලිය සඳහා විශාල සබන් ප්‍රමාණයක් වැයවේ.


14

සිකුරාදා

සතියේ පැනය

13

බ්‍රහස්පතින්දා

අද විදු වදන

බොහෝමයක් සිහින අපට පෙනෙනුයේ අපගේ නින්දේ REM අවධියේදීයි. REM යනු Rapid Eye Movement, එනම් වේගවත් අක්ෂි චලන යන්නට කෙටි යෙදුමයි. මෙසේ වේගවත් අක්ෂි චලන ඇතිවන්නට හේතුව සිහින වලදී පෙනෙන දෑ “බැලීමට” අප ඇස් එහා මෙහා යැවීමයි.


12

බදාදා

අද විදු වදන

“ආහාරයට නොගන්න.” යැයි සඳහන් කොට ඇති සිලිකා ජෙල් පැකට්ටුවක් නොදැනුවත්වම ගිලිනොත් කුමක් සිදුවන්නේදැයි ඔබ දැන සිටියාද? එවිටත් එය සිදුකරන්නේ ජලය අධිශෝෂණය කිරීමයි. මේ නිසා ඔබගේ ඇස්, උගුර, නාසය වියළීමට ලක්වීම හා උදරයේ අපහසු බවක් දැනීම සිදු විය හැක. සාමාන්‍යයෙන් සිලිකා වලට එහි ස්කන්ධය මෙන් 40ගුණයක ජලය අධිශෝෂණය කළ හැක.


11

අඟහරුවාදා

අද විදු වදන

බළලුන්ගේ ඇස්වල කණීනිකා දික්වූ හැඩයක් ගන්නේ ඇයිදැයි ඔබ කල්පනා කොට තිබෙනවාද? කණිනිකාවේ මෙම හැඩය මගින් ඔවුන්ට යම් ගොදුරක් සඳහා ඇති දුර නිර්ණය කරගෙන එම ගොදුර වෙත පැන එය අල්ලාගැනීමට හැකියාව ලබා දේ. රාත්‍රී කාලයේ සැරිසරන මාංශභක්ෂක සිව්පාවුන් තුළ මෙම ආකාරයේ ඇස් සුලභව දැකිය හැක.


10

සඳුදා

සතියේ පැනයට පිළිතුර

කාන්තාර ආශ්‍රිතව ඇති වියළි පරිසරය හා සාමාන්‍යයෙන් වලාකුළු අඩු අහස නිසා සූර්යයාගෙන් විකිරණය වන තාපය කෙලින්ම කාන්තාරයේ පොළෙව මතට පතිත වී එය රත් වී කාන්තාරයේ උෂ්ණත්වය ඉහළ යයි. තෙතමනය සහිත පරිසරයක් නම් තාපය රඳවා ගැනීමට හැකි බැවින් උෂ්ණත්වය ඉහළ යාමට ඇති හැකියාව අඩුවේ. රාත්‍රී කාලයේදී, උණුසුම් වු කාන්තාර පෘෂ්ඨයෙන් පිට වන තාපයද රඳවා ගැනීමකට ලක් නොවන නිසා උෂ්ණත්වය සීඝ්‍ර ලෙස පහළ යයි.


7

සිකුරාදා

සතියේ පැනය

6

බ්‍රහස්පතින්දා

අද විදු වදන

හවායි දූපත් නිර්මාණය වී ඇත්තේ මීට වසර මිලියන ගණනකට පෙර මුහුද තුල සිදුවූ ගිනිකඳු පිපිරීම් වල ප්‍රතිඵලයක් ලෙස බව ඔබ දැන සිටියාද? පෘථිවි කබොලට පහළින් පවතින මැග්මා මුහුදු පතුල දක්වා පැමිණ පුපුරා ගිනිකඳු සාදයි. මේවායින් ඉවතට පැමිණෙන ලාවා ජලය සමඟ ගැටී සිසිල් වී මුහුද මතුපිට දක්වා ගොඩගැසී, කාලයත් සමඟ විශාල දූපත් සාදයි.


5

බදාදා

අද විදු වදන

සහල් වල ඇති ආසනික් පිළිබඳ ප්‍රවෘත්ති වල පළ වූ කාලය පිළිබඳ ඔබට මතක ඇති. මෙය පිළිබඳ ඔබ තවදුරටත් සැළකිලිමත් වන පුද්ගලයෙක් නම්, සහල් වල ඇති ආසනික් විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට හැකි ක්‍රමයක් පර්යේෂකයන් විසින් සොයාගෙන තිබෙනවා. ඔවුන් පවසන්නේ සහල් පිසීමට පෙර උණු වතුරින් නැවත නැවත කිහිපවරක් සේදීමෙන් ඒවා තුළ ගබඩා වී ඇති ආසනික් ඉවත් කළ හැකි බවයි.


4

අඟහරුවාදා

අද විදු වදන

වැවී ඇති පසෙහි pH අගයන් අනුව තම මල්වල වර්ණය වෙනස් කරන හයිඩ්‍රෙන්ජියා නම් ශාක විශේෂයක් පිළිබඳ ඔබ අසා තිබෙනවාද? ආම්ලික පසකදී (pH අගය 6ට අඩු) මෙම මල් නිල් පැහැ ගැන්වෙන අතරරෙක් තුල (pH අගය 7ට වැඩි) මල් රෝස පැහැයක් ගනී.


3

සඳුදා

අද විදු වදන

ළදරුවන්ට මෙලොව එළිය දැකීමෙන් පසු ප්‍රතිශක්තිකරණ එන්නත් රැසක් ලබා දෙනවා. මෙලෙසම, මීමැසි පැටවුන්ටද ප්‍රතිශක්තිකරණ හැකියාව ලබා දීමට ක්‍රමයක් තියනවා. ඔවුන්ට එම හැකියාව ලැබෙන්නේ ඉපදීමටත් පෙර සිටයි. වැඩකාර මීමැස්සන් මල්වල පරාග, පැණි, බැක්ටීරියා හා නොයෙක් රෝගකාරක බීජ වල මිශ්‍රණයක් මීමැසි රැජින වෙත ගෙන එනවා. මේවායින් සැදුම්ලත් ජෙලි වර්ගයක් රැජින විසින් ආහාරයට ගන්නා අතර ඒවා‍යේ වෙසෙන බැක්ටීරියා රැජින තුල වර්ධනය වන බිත්තර වෙතට ගමන්කර ඒවා තුල වෙසෙන මීමැසි පැටවුන්ට ප්‍රතිශක්තිය ලබා දෙනවා.