2015 වසරේ සැප්තැම්බර් මාසයට අයත් විද්‍යා පණිවුඩ

30

බදාදා

අද විදු වදන

අපගේ සිරුරේ වෙසෙන බැක්ටීරියා ‍සෛල ගණන, අපගේ දෛහික සෛල ගණනට වඩා විශාල ප්‍රමාණයකින් වැඩි බව ඔබ දන්නවා ඇති. අප ගන්නා හුස්ම පිට කරන විට, මේ බැක්ටීරියා වලින් සුළු ප්‍රමාණයකුත් පිට වෙනවා. මෙසේ පිටවන බැක්ටීරියා වලින් පුද්ගලයින්ගේ අනන්‍යතාව තහවුරු කරගත හැකි බව නවතම අධ්‍යනයකින් හෙලි වී තිබෙනවා. එනම්, අපටම අනන්‍යවූ බැක්ටීරියා වලාවන් අපගේ මුඛයෙන් පිටවනවා.


29

අඟහරුවාදා

අද විදු වදන

අඟහරු ග්‍රහලොව මත මිනිසුන් පදිංචි කිරීමට අදහස් කරන “Mars One” නම් මෙහෙයුම පිළිබඳ ඔබ දැන සිටියාද? 2026 වන විට, සම්පූර්ණයෙන් පුහුණු කරවන ලද පුද්ගලයින් පිරිසක් අඟහරු වෙත යවා මිනිස් වර්ගයාගේ ඊළඟ විශාල පිම්ම පැනීමට ඔවුන් සැලසුම් කර ඇත.


28

සඳුදා

සතියේ පැනයට පිළිතුර

දේදුනු ඇතිවීමේදී ආලෝක කිරණ වර්තනයටත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයටත් ලක්වේ. ජල බිඳුවක් තුලට ඇතුල්වන ආලෝක කිරණත්, ජල බිඳුව තුලදී ඉහත ක්‍රියාවලීන්ට ලක්ව පිටතට එන ආලෝක කිරණත් අතර 41° පමණ ආනතියක් පවතී. වෙනස් වර්ණ නිරීක්ෂණය වන්නේ විවිධ තරංගආයාම ඇති ආලෝක කිරණ වර්තනය වන්නේ එනිනෙකට වෙනස් කෝණ වලින් නිසායි. එබැවින් එම ආලෝක කිරණ අර්ධ කවයක ආකාරයෙන් අපවෙතට ගමන් කරයි.


25

සිකුරාදා

සතියේ පැනය

23

බදාදා

අද විදු වදන

සූර්යයා මොන පාටදැයි ඇසුවොත්, බොහෝමයක් දෙනා පවසාවි එය කහ, තැඹිලි හෝ රතු පාට බව. නමුත් අභ්‍යවකාශයේදී සූර්යයා දිස්වන්නේ සුදු පාටින්. සූර්යයා අපට ඉහත කී පාට වලින් පෙනීමට හේතුව වායුගෝලය හරහා සුදු ආලෝකය ගමන් කිරීමේදී ප්‍රකිරණය වීමයි.


22

අඟහරුවාදා

අද විදු වදන

අක්මාවකින් 25% ක් පමණකට වුවද එය තිබූ මුල් තත්වයට, එනම් සම්පූර්ණ අක්මාවක් බවට වර්ධනය විය හැකි බව ඔබ දැන සිටියාද? මෙලෙස පුනර්වර්ධනය විය හැකි එකම මිනිස් අභ්‍යන්තර අවයවය අක්මාවයි.


21

සඳුදා

සතියේ පැනයට පිළිතුර

අප ව්‍යායාම් වල හෝ ක්‍රීඩා වල යෙදෙන විට, විශාල තරල ප්‍රමාණයක් හා සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, ක්ලෝරයිඩ් වැනි අයන දහඩිය ලෙස අපේ සිරුරෙන් පිටවේ. මෙවැනි අවස්ථාවකදී ජලය පානය කළහොත් අපගේ සිරුරේ සෝඩියම් අයන සාණ්ද්‍රණය තවදුරටත් අඩු වන නිසා එය සිරුරට හානිදායක විය හැක. එබැවින් සිරුර සජලනය කිරීමට ජලය පමණක් ප්‍රමාණවත් නොවේ. බොහෝ Sports drinks වල ජලය, අයන වර්ග හා ශක්තිය ලබාදෙන සීනි වර්ගයක් අඩංගු වන බැවින් ක්‍රීඩා වලට පෙර හා පසු ඒවා පානය කිරීම වඩා හිතකර වේ.


18

සිකුරාදා

සතියේ පැනය

ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් තමන්ගේ ක්‍රීඩා වල යෙදීමෙන් පෙර හා පසු ජලය පානය කිරීමට වඩා ශක්තිමය පානයන්, එනම් Sports Drinks පානය කිරීමට යොමුවේ. මෙයට හේතුව කුමක්ද?


17

බ්‍රහස්පතින්දා

අද විදු වදන

වයස අවුරුදු 40න් පමණ පසු මිනිසුන් උසින් අඩුවීම ඇරඹේ. මෙය සිදුවන්නේ අවුරුදු දශකයකට අඟල් භාගයක් ලෙසයි. මෙසේ වීමට හේතුව වයස් ගතවීමත් සමඟ අපේ කශේරුවේ අස්ථි ඝණත්වය අඩුවීම හා කශේරුක අස්ථි අතර ඇති ජෙල් වැනි ද්‍රව්‍යය ගෙවී ගොස් සිහින් වීමයි.


16

බදාදා

අද විදු වදන

මුහුදේ කෙතරම් ලුණු ප්‍රමාණයක් ඇත්දැයි ඔබ කල්පනා කොට තිබෙනවාද? මුහුදේ ලුණු සියල්ල ගෙන ගොඩබිම මත ගොඩගැසුවහොත්, මුළු මහාද්වීප සියල්ලම අඩි 500ක් තරම් උසින් වැඩි කිරීමට හැකිවේ.


15

අඟහරුවාදා

අද විදු වදන

කාන්තාර වල වෙසෙන ඇතැම් කුරුමිණියන් ජලය රැසකිරීමට සඳහා අපූරු ක්‍රියාවලියක් සිදුකරයි. කාන්තාර වල වාතයේ ඇති ජල වාශ්ප ඝණීකරණය වී ද්‍රව බවට පත්ව ඔවුන්ගේ පිට මත තැන්පත් වේ. මෙසේ වීමට අනුබල දෙන, ඔවුන්ගේ පිටෙහි ඇති සැකැස්ම අධ්‍යනය කිරීමෙන් ජලය හිඟ පරිසර වල ජලය රැස් කිරීම සඳහා භාවිතා කළ හැකි පෘෂ්ඨයන් නිපදවීමට පර්යේෂකයන් සමත්ව ඇත. වීදුරු හා ප්ලාස්ටික් යොදා ගෙන තනා ඇති මෙම පෘෂ්ඨ යොදාගෙන ඉබේටම වතුර පිරවෙන වතුර ‍බෝතල් නිපදවීමටද ඔවුන් බලාපොරොත්තු වේ.


14

සඳුදා

සතියේ පැනයට පිළිතුර

අහස ගුගුරන කම්පන සංඛ්‍යාත, ජනෙල් වල ස්වභාවික සංඛ්‍යාතයට ආසන්න සංඛ්‍යාතයක් ගත් විට එම අහස ගුගුරන ශබ්දයත් සමඟ ජනෙල් අනුනාද වේ. එවිට ඒවා චලනය වී දෙදරයි. ජනෙල් වල ස්වභාවික සංඛ්‍යාතයට හරියටම සමාන සංඛ්‍යාතයකින් අහස ගුගුරන විටදී නම් ජනෙල් විශාල ලෙස අනුනාද වී ඒවායේ වීදුරු බිඳී යාමට වුවද පුළුවන.


11

සිකුරාදා

සතියේ පැනය

10

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ගිනි මැලයකට ඉහළින් ඇති ගස්වල කොළ අතු සෙලවෙනු ඔබ දැක තිබෙනවාද? මෙය සිදුවන්නේ ගිනි මැලයේ තාපයෙන් ඇතිවන සංවහන ධාරා මගිනි. ගිනි මැලය අවට ඇති වාතය රත් වී ඉහළට ගමන් කරන විට එහි ගැටෙන කොළ අතු සෙලවේ.


9

බදාදා

අද විදු වදන

බහුලව වෙළඳපොලේ භාවිතා කල කෘතීම රසකාරකයක් වන සැකරින් අහඹු අන්දමින් සිදුවූ සොයාගැනීමකි. මෙය සිදුවී ඇත්තේ එක් විද්‍යාඥයෙකුට අතසේදීමට අතපසුවී කෑමත් සමඟ අතේ ගෑවී තිබු රසායනික සංයෝගයක් ආහාරයට ගෙන එහි රස දැනීමෙනි. ස්වභාවික සීනි මෙන් සිය ගුණයකටත් වැඩි පැණිරසක් ඇති සැකරින් එහි අඩු කැලරි අන්තර්ගතය නිසා දියවැඩියාවෙන් පෙලෙන පුද්ගලයින්ටද සුදුසුය.


8

අඟහරුවාදා

අද විදු වදන

Polybia paulista නමින් හඳුන්වන බඹර විශේෂයක් නිපදවන විෂ තුල පිළිකාවන්ට එරෙහිව සටන් කරන MP1 නම් රසායනිකයක් අඩංගු වන බව සොයාගෙන තිබෙනවා. MP1, පිළිකා සෛල පෘෂ්ඨය මත අසාමාන්‍ය ලෙස ව්‍යාප්ත වී ඇති ලිපිඩ සමඟ අන්තර්ක්‍රියා කර ඒවා විනාශ කරයි. සාමාන්‍ය සෛල ආරක්ෂා වේ.


7

සඳුදා

සතියේ පැනයට පිළිතුර

මඤ්ඤොක්කා තුල විෂ සහිත සයනයිඩ් සංයෝග අඩංගු වේ. තම්බන විට එම සයනයිඩ්, හයිඩ්‍රජන් සයනයිඩ් ලෙස වායුමය ස්වරූපයෙන් ඉවත් වේ. පියන වසා ඇත්නම් මෙම වායුව නිසියාකාරව ඉවත් නොවේ. විෂ බව ආහාරයෙන් ඉවත් නොවේ.


4

සිකුරාදා

සතියේ පැනය

3

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මහමග ඇති මෑන්හෝල් රවුමට සාදා ඇත්තේ ඇයි දැයි ඔබ දන්නවාද? ඒ, ඒවායේ පියන් එම වලවල් තුලට වැටීමෙන් වළක්වා ගැනීමටයි. මේවා කොටු හැඩයට සෑදුවේ නම් කොටු වල විකර්ණවල දිග ඒවායේ පැත්තක දිගට වඩා වැඩි වන බැවින් වැසීමේදී පියන් එම වලවල් තුලට වැටීමට හැකියාවක් ඇත.


2

බදාදා

අද විදු වදන

පුරුද්දක් ලෙස නිතර ඇවිදීම හොඳ සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා අත්තිවාරම සපයයි. හෘදයට හා සංසරණ පද්ධතියට ඉතා වැදගත් ව්‍යායාමයක් වන ඇවිදීම මගින් හෘද රෝග, ආඝාත, ඇදුම, ඔස්ටියෝපොරෝසිස් හා දියවැඩියාව ඇතිවීමට ඇති අවදානම අඩු කරන අතර සිරුරට අහිතකර කොලස්ටරෝල්ද බිඳ දමයි.


1

අඟහරුවාදා

අද විදු වදන

ඈත ඇති කඳු නිල් පාටින් දිස්වන්නේ ඇයි දැයි ඔබ කල්පනා කොට තිබෙනවාද? මෙය සිදුවන්නේ වායුගෝලයේ ඇති ඇතැම් අංශු, ඒවා හරහා යන ආලෝකය ප්‍රකිරණයට ලක් කරන නිසාවෙනි. වායුගෝලයේ ඇති මූලද්‍රව්‍ය, නිල් පැහැය වැඩිපුර ප්‍රකිරණය කරයි. අහස නිල් පාටින් පෙනීමටද හේතුව මෙයම වේ.