2015 වසරේ නොවැම්බර් මාසයට අයත් විද්‍යා පණිවුඩ

30

සඳුදා

සතියේ පැනයට පිළිතුර

LDL කොලෙස්ටරෝල්, අපගේ ධමනි බිත්තිවල ඝන ලෙස තැන්පත් වී ධමනි අවහිර කිරීම හා ධමනි බිත්තිවල ප්‍රත්‍යස්තතාවය අඩු කිරීම නිසා අපට හෘදයාබාධ හා ආඝාත වැනි තත්වයන් ඇති විය හැකිය. නමුත් බිය නොවන්න!HDL කොලෙස්ටරෝල් අපව බේරාගැනීමට සැදීපැහැදී සිටී.

HDL කොලෙස්ටරෝල් මගින් LDL කොලෙස්ටරෝල්, ධමනි බිත්තිවලින් ඉවත් කර අක්මාවට ගෙනයෑම සිදුකරයි.අක්මාවේදී LDL කොලෙස්ටරෝල් බිදවැටී පසුව දේහයෙන් බැහැර වේ.


27

සිකුරාදා

සතියේ පැනය

කොතැනත් හොද සහ නරක ඇත. අපේ රුධිරයේත් එලෙස වර්ග 2ක කොලෙස්ටරෝල් ඇති බව ඔබ දන්නවාද? HDL කොලෙස්ටරෝල් හොද වන අතර LDL කොලෙස්ටරෝල් නරක වේ .HDL කොලෙස්ටරෝල් හොද වීමටත් LDL කොලෙස්ටරෝල් නරක වීමටත් හේතුව ඔබ දන්නවා ද?


26

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සම මත, ගස් කඳන්වල ඇති පරිදි ඉන්නන් හටගන්නා Tree Man Syndrome (Epidermodysplasia Verruciformis) නම් දුර්ලභ රෝගය පිළිබඳ ඔබ අසා තිබෙනවාද? හිරු එළියට නිරාවරණය වීමෙදී මෙම ඉන්නන් තවත් ව්‍යාප්ත වන අතර මෙම රෝගයට හේතු වන්නේ HPV නම් වෛරසයක් වේ.


24

අඟහරුවාදා

අද විදු වදන

ඔබගේ උණුසුම් බීම කෝප්පය නිවීමට තැබූ විට, ද්‍රවයේ උෂ්ණත්වය සාපේක්ෂව වැඩි අවස්ථාවලදී එය සිසිල් වන වේගයද ඉහළ බව ඔබ නිරීක්ෂණය කොට තිබෙනවාද? ද්‍රවයේ උෂ්ණත්වය පහළ යාමත් සමග එය සිසිල්වන සීඝ්‍රතාවයද පහළ යාම ඇරඹේ. මෙම සිදුවීම නිව්ටන්ගේ සිසිලන නියමයෙන් පහදා දී තිබෙනවා. එයින් පැවසෙන්නේ වස්තුවක සිසිලන සීඝ්‍රතාවය, එම වස්තුවේ එම අවස්ථාවේ උෂ්ණත්වයත් අවට පරිසරයේ උෂ්ණත්වයත් අතර අන්තරයට අනුලෝමව සමානුපාතික බවයි.


23

සඳුදා

සතියේ පැනයට පිළිතුර

උණුවෙන් සුප් බොනවිට, ඉහළ උෂ්ණත්වය නිසා දිව හා සුප් අතර ඇති පෘෂ්ඨික ආතතිය අඩුවේ. එවිට සුප්, දිවෙහි ඇති රසාංකුර තුලට හොඳින් ගමන්කර දිවෙහි වැඩි වර්ගඵලයක් පුරා පැතිරේ. එපමණක් නොව වැඩි උෂ්ණත්ව වලදී සුප් එකට යොදා ඇති ද්‍රව්‍ය වල ද්‍රාව්‍යතාවද වැඩි නිසා රසය වැඩිපුර දැනේ.


20

සිකුරාදා

සතියේ පැනය

19

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සයිරන් එකක් සහිත ඇම්බියුලන්ස් රථයක් ඔබව පසු කරගෙන යන විට එම ශබ්දයේ තාරතාවයේ(Pitch) සැලකිය යුතු වෙනස්වීමක් ඔබට නිරීක්ෂණය කළ හැකියි නේද? මෙයට හේතුව ඔබ දැන සිටියාද? මෙම සිදුවීමට හේතුව වන්නේ ඩොප්ලර් ආචරණය නම් සංසිද්ධියයි. මෙයට අනුව යම් ශබ්දයක ප්‍රභවය හා නිරීක්ෂකයා අතර සාපේක්ෂ චලිතයක් ඇති විට, තරංග ආයාමයේ සිදුවන දික්වීම් හා කෙටිවීම් නිසා ශබ්දයේ තාරතාවයේ වෙනස්කම් ඇතිවේ.


18

බදාදා

අද විදු වදන

තම්බාගත් බිත්තරයක කටුව ගලවා ගැනීමට ඔබ වෙර දැරූ අවස්ථාවක් සිහියට නගා ගත හැකිද? එසේ කටුව ගැලවීමට අපහසු බිත්තර වල නැවුම් බවද ඉහළ බව අනාවරණය වී තිබෙනවා. කල් ගතවූ බිත්තර වල බිත්තර සුදු මදය කටුවට බැඳ තබන අම්ලය ක්ෂය වී බිත්තර මදය ස්වල්ප ලෙස හැකිලේ. එවිට මදය හා කටුව අතර ඇති ඉඩ ප්‍රමාණය වැඩිවී බිත්තරය තැම්බූ පසු කටුව ගැලවීම පහසුවේ.


17

අඟහරුවාදා

අද විදු වදන

Kakapo ගිරවා ලොව ජීවත්වන වැඩිම දේහ බරක් සහිත ගිරවායි. පියෑඹීමට නොහැකි හා නිශාචර පක්ෂියෙකු වන මෙම ගිරවාගේ ඇති ප්‍රභල සුගන්ධය නිසා විලෝපික ජීවීන්ගෙන් ආරක්ෂාවී සිටීම අපහසුය. එබැවින් මෙම විශේෂය අතිශයින් අන්තරායට ලක්වූ විශේෂයක් ලෙස සැලකේ.


16

සඳුදා

සතියේ පැනයට පිළිතුර

එම කාඩ්පත්වල විශේෂිත රටාවලට තැන්පත් කර ඇති කාන්දම් පවතී. කාඩ්පත යන්ත්‍රය තුලින් ගෙනගිය විට යන්ත්‍රය තුල ඇති කම්බි දඟරය මගින් එහි පවතින චුම්භක ක්ෂේත්‍රයේ වෙනසක් ඇති කරයි. මෙම ක්‍රියාවලිය විද්‍යුත් චුම්භක ප්‍රේරණය නම්වේ. චුම්භක ක්ෂේත්‍රයේ ඇතිවන මෙම වෙනස නිසා හටගන්නා වෝල්ටීයතාවය/විභව අන්තරය නිසා ධාරාවක් ජනනය වී ඒ හරහා කාඩ්පත් හිමිකරුගේ ගිණුම් තොරතුරු යන්ත්‍රය වෙත යවයි.


13

සිකුරාදා

සතියේ පැනය

12

බ්‍රහස්පතින්දා

අද විදු වදන

බෝතල් කළ ජලයට කල් ඉකුත්වීමේ දිනයක් ඇත්තේ ඇයිදැයි ඔබ කල්පනා කොට තිබෙනවාද? මෙය අදාල වන්නේ ජලයට නොව ජලය අඩංගු කර ඇති බෝතලයටයි. බෝතලයේ කල් ඉකුත්වූ විට එයි අඩංගු රසායනික ජලය තුලට කාන්දු වීම ඇරඹී ජලයේ ගුණාත්මක බව අඩුවේ.


11

බදාදා

අද විදු වදන

මිනිසුන් මෙන්ම ගිරවුන්ද ඔවුන්ගේ පැටවුන්ට නම් තබන බව ඇසුවහොත් ඔබ පුදුම වේවි. මේ බව හෙලිවී ඇත්තේ ගිරවුන් පිළිබඳ කරන ලද අධ්‍යනයකින්. පැටවුන් ඉපදී කුඩා කාලයක් තුලදීම අනෙකුත් ගිරවුන්ගේ විශේෂිත ශබ්ද වලට ප්‍රතිචාර දක්වන බවත්, මෙම ශබ්ද ජානමය ඒවා නොව ඉගෙනගත් ඒවා බවත් සඳහන් කෙරෙනවා. මෙම විශේෂිත “නම්” පැටවුන්ට ලබා දෙන්නේ දෙමව්පියන් බවත් හෙලිවී තිබෙනවා.


9

සඳුදා

සතියේ පැනයට පිළිතුර

අධි රුධිර පීඩනය සහිත පුද්ගලයින්ගේ සෝඩියම් පොටෑසියම් අනුපාතය ඉහළ අතර එවිට සිරුරේ ජලය ප්‍රතිශෝෂණය වැඩිවේ. මේ නිසා රුධිර පරිමාව වැඩිවී ධමනි බිත්ති මත ඇතිවන පීඩනය වැඩිවේ. පළතුරු පොටෑසියම් වලින් සරුවේ. එබැවින් අධි රුධිර පීඩනය සහිත පුද්ගලයින් වැඩිපුර පළතුරු ආහාරයට ගත්විට, වැඩිපුර පොටෑසියම් මගින් සෝඩියම් පොටෑසියම් අනුපාතය සමාන්‍ය අගයට පහළ වැටේ. එවිට රුධිර පීඩනය පහළ යයි.


6

සිකුරාදා

සතියේ පැනය

අධි රුධිර පීඩනයෙන් පෙලෙන රෝගීන් සදහා පෝෂණවේදීන් වැඩිපුර පළතුරු ආහාරයට එක්කරගැනීමට උපදෙස් දෙයි. මෙසේ වැඩිපුර පළතුරු ආහාරයට ගැනීමෙන් එම රෝගීන්ට ඇති වාසිය කුමක්ද?


5

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සෞරග්‍රහ මණ්ඩලයේ ඇති උසම කන්ද කුමක්දැයි ඔබ දන්නවාද? එය, අඟහරු වල පිහිටා ඇති Olympus Mons වේ. මෙම කන්ද කි.මි. 27ක් පමණ උස අතර අඟහරුගේ වායුගෝලයෙන් පිටතට මතුවී පවතී.


4

බදාදා

අද විදු වදන

සීත කාලයෙදී අයිස් මිදී ඇති ජලාශවල මාළුවන් ජීවත් වන්නේ කෙසේදැයි ඔබ කල්පනා කොට තිබෙනවාද? මෙම ජලාශ වල, පිටින් බැලූ විට අයිස් මිදී ඇති බව පෙනුනද ජලාශ පත්ලේ මිදී නොමැති ද්‍රව ජලය අඩංගු වේ. ජලාශ වල ඇති ජලය සම්පූර්ණයෙන්ම මිදින්නේ නැතිව මෙසේ පැවතීමට හේතුව ජලයේ ඇති විශේෂ ගුණාංගයක් වන අනියම් ප්‍රසාරණයයි. ජලයට වැඩිම ඝණත්වයක් ඇත්තේ 4°C හිදීය. එබැවින් එම උෂ්ණත්වයේ ඇති ජලය ජලාශයේ පත්ලටම ගොස් අයිස් ජලය මත පාවේ. මේ නිසා මාළුන්ට මිදී ඇති ජලාශ පත්ලේ ඇති ද්‍රව ජලය තුල හානියකින් තොරව සිටීමට හැක.


3

අඟහරුවාදා

අද විදු වදන

කුඩා කෘමීන් වැනි සතුන්ට කාලය සෙමින් ගත වන ලෙස දැනෙන බව අධ්‍යන වලින් පෙනී ගොස් තිබෙනවා. එවිට, ඔවුන් වටා සිදුවන චලන, ඉතා කුඩා කාල සීමාවක් තුල සියුම්ව නිරීක්ෂණය කිරීමටත් ඒවාට වේගවත් ප්‍රතිචාර චලන දැක්වීමටත් ඔවුන්ට හැකිය. එබැවින් විශාල විලෝපික ජීවීන්ගෙන් ආරක්ෂා වීමට හැකිවේ.


2

සඳුදා

සතියේ පැනයට පිළිතුර

වැස්සකට පෙර අවට වායුගෝල‍යේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩිවී වාතය ජල වාෂ්ප වලින් සංතෘප්ත වේ. එවිට වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි නිසා අපේ සිරුරේ දහඩිය වාෂ්ප වීම අඩුවේ. එවිට අපේ සිරුරට අපහසු බවක් ඇතිවේ.