2015 වසරේ දෙසැම්බර් මාසයට අයත් විද්‍යා පණිවුඩ

22

අඟහරුවාදා

අද විදු වදන

ලග එන උත්සව සමයේදී ඔබට ඔබගේ ශරීරයේ බර පාලනය කර ගැනීම අසීරු අභියෝගයක් වේවිද? බිය නොවන්න. ඉතා කුඩා පියවර මගින් ඔබට ශරීරයේ බර පාලනය කරගනිමින් උත්සව සමය විනෝදයෙන් ගතකල හැකිය. රාත්‍රී උත්සව වලට සහභාගි වන දිනවලදී දිවා ආහාරය අඩුවෙන් ගැනීම, බුෆේ ක්‍රමයට ඇති ආහාර බෙදා ගැනීමේදී සළාද සහ එළවලු වර්ග වැඩිපුර බෙදාගැනීම, උත්සවයකට සහභාගිවීමට පෙර සැහැල්ලු ආහාරයක් ගැනීමෙන් තෙල් අධික කෙටි ආහාර ගැනීම අවම කිරීම සහ ආහාර වේල අවසානයේ පළතුරු සළාද වැනි පෝෂදායී අතුරුපසක් ගැනීමට ඉඩ ඉතිරි කරගැනීම වැනි ක්‍රම මගින් ඔබටත් ශරීරයේ බර පාලනය කරගත හැකිවේ.


21

සඳුදා

සතියේ පැනයට පිළිතුර

වස්තුවක් වෘත්තාකාර පථයක ගමන් කිරීමට කේන්ද්‍රඅභිසාරි බලයක් තිබිය යුතුය(කේන්ද්‍රය දෙසට ක්‍රියාකරන බලය). මෙය වාහනය හා මාර්ගය අතර ඝර්ෂණය මගින් සැපයේ. නමුත් ඝර්ෂණ බලය මගින් වංගුවෙන් පිටතට භ්‍රමණයක් ඇති කෙරේ(කේන්ද්‍රඅපසාරි බලය දැනීමට හේතුව).මෙනිසා වාහන වංගුවලින් පිටතට තල්ලු වීමට පෙළඹේ .වංගු ,ඇතුල් පැත්තට ඇල වී ඇති විට අභිලම්භ ප්‍රතික්‍රියාව වාහනයේ ගුරුත්ව කේන්ද්‍රය තුළින් නොයයි .එමගින් ප්‍රතිවිරුද්ධ අතට භ්‍රමණයක් ඇති කෙරේ .මෙනිසා වාහනය අයාලේ නොයයි .වංගු ,ඇතුල් පැත්තට ඇල කිරීම ආරක්ෂක පිළිවෙතකි.


18

සිකුරාදා

සතියේ පැනය

ඔබ දහඅට වංගුවේ එක් සැරයක් හෝ ගමන් කර ඇති.එවිට ,එහි වංගු ඇතුල් දෙසට ඇල කර සාදා ඇති අයුරු, ඔබ නිරීක්ෂණය කර තිබේද?(එය දැක නැත්නම් ,ඔබත් ,එම මාර්ගය හා බැදී ඇති “ බඩ-දගලන” හැගීම නිසා කාර්යබහුල වූවෙකු විය හැකිය)වංගුවල මෙම සැකැස්මට හේතුව ඔබ දන්නවාද?


17

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඔබ සංගීත ශාලාවල රළු බිත්ති ඇති බව දැක තිබේ ද? රළු පෘෂ්ඨ මගින් ශබ්ද තරංග විසුරුවා හැරීම නිසා ශබ්ද තරංග විවිධ දිශා ඔස්සේ පරාවර්තනය වේ. එවිට ශ්‍ර‍වණය කරන්නාහට ශාලාවේ සෑම දෙසින්ම ශබ්ද තරංග යොමුවන බැවින් වඩා පරිපූර්ණ හඬක් ඇසේ.


16

බදාදා

අද විදු වදන

ඔබ සීතල කාමරයක සිට උණුසුම් කාමරයකට ගිය විටක කණ්ණාඩි කුට්ටමේ මීදුම් පටලයක් බැදෙන අයුරු දැක තිබේද? සීතල කාමරයක සිටින විට කණ්ණාඩි කුට්ටම සිසිල් උෂ්ණත්වයක පවතී. එය උණුසුම් කාමරයකදී අවට වාතයෙන්(ජල වාෂ්ප ද ඇත) තාපය උරා ගනියි. එවිට ජල වාෂ්ප කණ්ණාඩි කුට්ටම මත ඝනීභවනය වේ .මෙය සිදුවීමට අවට ජල වාෂ්ප පීඩනය එම උෂ්ණත්වයේ සංතෘප්ත වාෂ්ප පීඩනයට යන්තම් හෝ වැඩිවිය යුතුය.


15

අඟහරුවාදා

අද විදු වදන

බාල-මහලු භේදයකින් තොරව අපි සියලු දෙනාගේ ඇග කිළිපොළවන සතෙකි, කූඩැල්ලා. මොවුන් ඉක්මණින් ඉවත් කරගත හැකි සාර්ථක ක්‍රමය වන්නේ ලුනු දැමීමයි. එවිට කූඩැල්ලන් වැටී යන්නේ ඇයි දැයි ඔබ දන්නවාද?එයට හේතු වන්නේ කූඩැල්ලාගේ සිරුර තුළ ජලය ආශ්‍රැතිය(ලවණ සාන්ද්‍රනය අඩු තැන සිට වැඩි තැනට ජලය ගමන් කිරීම) මගින් සමෙන් පිටතට ඒම නිසා ඌ විජලනයවීමයි අපට එය අස්වැසිල්ලක් වුවද කූඩැල්ලාගේ ඉරණම නම් අදුරුවේ.


14

සඳුදා

සතියේ පැනයට පිළිතුර

සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා සුළු ලෙස වැඩිය. තව ද,පුද්ගලයෙකු දියේ ගිලුනු විට, ජලය මගින් පෙනහළුවල වාතය විස්ථාපනය කිරීම නිසා සිරුරේ බර වැඩිවී ඝනත්වය තවත් වැඩිවේ .මෙනිසා සිරුර ගිලේ .ඉන්පසු බැක්ටීරියා වැඩ (බැක්ටීරියා වියෝජනය) පටන් ගෙන විවිධ වායු (මෙතේන්, හයිඩ්‍රජන් සල්ෆයිඩ් ,කාබන් ඩයොක්සයිඩ්)නිපදවයි. මෙම වායු සිරුර තුළ සිරවී ඇති නිසා සිරුරේ පරිමාව වැඩි කර ඝනත්වය අඩු කරයි. ඝනත්වය ජලයට වඩා අඩු වූ විට සිරුර පාවේ .මෙම ක්‍රියාවලියට ගතවන කාලය ලැබෙන සුර්යාලෝක ප්‍රමාණය, ජලයේ ඝනත්වය සහ ගැඹුර යනාදී කරුණු මත තීරණය වේ.එබැවින් මේ සදහා දින ගණන් හෝ සති ගණන් ගතවිය හැකිය.


11

සිකුරාදා

සතියේ පැනය

10

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සෙල්ලම්පිටියේ ස්ලයිඩයක දී හිසකෙස්, ප්ලාස්ටික් ස්ලයිඩයට ආකර්ෂණය වීමට ඔබත් මුහුණ දී තිබේද?එයට හේතුව ස්ථිති විද්‍යුතයයි.එයට තවත් උදාහරණයක් වන්නේ වියළි කෙස් පනාවකින් පිරිමැද්ද විට කෙස්, පනාවට ආකර්ෂණය වීමයි. හිසකෙස් ප්ලාස්ටික්වල පිරිමැදෙනවිට ඒවායේ ප්‍රතිවිරුද්ධ ආරෝපණ එක්රැස් වීම නිසා හිසකෙස් ප්ලාස්ටික්වලට ආකර්ෂණය වේ. සමාන ආරෝපණ එකිනෙක විකර්ෂණය කරන නිසා හිසකෙස් කෙළින් වීමක් වේ. එය හිසකෙස් හැකිතාක් එකිනෙකාගෙන් දුරස්වීමට දරන උත්සාහයයි!


9

බදාදා

අද විදු වදන

ඔබ ක්‍රීඩකයෙක් නම් ප්‍රවේසම් වන්න!තහනම් උත්තේජක කූඩැල්ලන්ගේ ප්‍රහාරයකට දෙන සමහර බෙහෙත්වලද අඩංගු වේ!එවැනි සංයෝගයක් මොනයම් අයුරකින් හෝ ශරිරගත වීම නීතියට පටහැනිය.
මේවා තහනම් වන්නේ ඇයි?හේතු වන්නේ, ක්‍රීඩාවේදී ක්‍රියාශීලිත්වය වැඩිකිරීම, සෞඛ්‍යයට අහිතකරවීම සහ ක්‍රීඩාවේ හරය නැතිකිරීමයි. (උදා-Anabolic Agents,Beta-2 Agonists)


8

අඟහරුවාදා

අද විදු වදන

බොකුටු(කර්ලි) කොණ්ඩ ස්ථිරව ඍජු කිරීමේ රහස ඔබ දන්නවාද?එම රහස විද්‍යාව හෙළි කරයි!එහිදී සිදුවන්නේ ප්‍රෝටීන අස්ස්වාභාවීකරණයයි(ප්‍රෝටීනවල ව්‍යුහය සරල ව්‍යුහයකට බිදදැමීමයි).කෙරටින් ප්‍රෝටීනයේ(කෙස්වල සංඝටකය) ඩයිසල්ෆයිඩ බන්ධන බිද, නව ආකාරයකට පෙළගැස්වීම මෙහිදී සිදුකෙරේ. මෙයට බහුලව ක්ෂාර යෙදේ .දැන් , ගෙදරදොරේ හමුවන විවිධ භෂ්ම ඔබේ හිසේ(හෝ සහෝදරියගේ හිසේ) ආලේප කර අත්හදාබැලීමෙන් නම් වළකින්න. එය හිසට අනතුරුදායක විය හැකිය.


7

සඳුදා

සතියේ පැනයට පිළිතුර

කාලයත් සමග දොර සොයිබ සහ සරනේරු මත කුනු(මලකඩ) රැදීම නිසා ඒවායේ පෘෂ්ඨ අතර ඝර්ෂණ බලය වැඩිවේ. මෙම නිසා ඒවා මන්දගාමීවේ. තෙල් ආලේප කළ විට , ඒවායේ රළු තැන්වල හිඩැස් පුරවා, පෘෂ්ට සිනිදු කිරිම නිසා ඝර්ෂණ බල අඩු කෙරේ(තෙල් මගින් පෘෂ්ට පිරිසිදු නොකෙරේ). මෙම ද්‍රව්‍ය ලිහිසිකාරක ලෙස හදුන්වයි(තෙල්,වැක්ස්, ග්‍රීස්). ලිහිසිකාරකවල පිහිට නිසා, දොර සොයිබ ,සරනේරුවලට අලුත් ජවයකින් වැඩ ඇරඹිය හැකිවේ.


4

සිකුරාදා

සතියේ පැනය

දොරවල්වල සොයිබ(දොරගුලු) තද වීමෙන්, අකීකරු ලෙස  ක්‍රියාකාරිත්වය අඩාල වූ විට අපි එයට තෙල් ස්වල්පයක් ආලේප කරනවා නේද? එවිට දොර සොයිබ නැවත කීකරු වී ,අලුත ගත් ඒවා මෙන් ක්‍රියාකරයි!මෙයට හේතුව ඔබ දන්නවාද?


3

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඔබේ මිදුලේ හදිසියේ උල්පතක් මතුවුවහොත්, පානීය ජලය බෝතල් කිරීමේ ව්‍යාපාරයක් ඇරඹීමට හදිස්සි වන්න එපා. එය නායයාමක ප්‍රබල අනතුරු ඇගවීමක් විය හැකිය . 🙁
නායයාමක දී පොළවේ පස් තට්ටු චලනය වීමේ දී ,භූගත ජල මට්ටම පොළව මතුපිටට වඩා ඉහලට ඒම සිදුවුවහොත් උල්පත් මතුවේ.


2

බදාදා

අද විදු වදන

ඔබේ ඉණ හා උකුල අතර අනුපාතය (WHR)  නිරෝගි බවේ දර්ශකයක් බව ඔබ දන්නවා ද?නිරෝගි වීමට කාන්තාවන් සදහා  අනුපාතය <0.8 සහ  පිරිමින් සදහා <0.9 තිබිය යුතුය.ශරීරයේ හැඩය අනුව ද පහසුවෙන් WHR අනුමාන කරගත හැකිය.නිරෝගි අනුපාතය ඇති විට ශරීරය ‍පෙයාස් හැඩති(උදරයේ මේදය අඩු)වන අතර අනුපාතය අසතුටුදායක නම් ශරීරය ඇපල් හැඩති(උදරයේ මේදය වැඩි)වේ.


1

අඟහරුවාදා

අද විදු වදන

ඔබට සුනකයෙකුගේ  මොළය හැර වඩාත්ම බහුකාර්ය කොටස නම් කළහැකි ද?

එය දිව වේ!එය බීමට,කෑමට,රස  සහ මතුපිට ස්වභාව සංවේදනයට ,දේහ උෂ්ණත්ව යාමනයට(සුරතලා හතිලෑමේදී දිව මත වාතය සංසරණය වීම හා ඛේටය වාෂ්පවීම මගින්) ,තුවාල සුවවීමට(කැසීම් හා වණ ඇති තැන් ලෙවකෑමෙන්) සහ ආයුබෝවන් කීමට!(ලෙවකෑම=ගෞරවයෙන් පිළිගැනීම) උපකාරී වේ.