2016 වසරේ ජනවාරි මාසයට අයත් විද්‍යා පණිවුඩ

29

සිකුරාදා

සතියේ පැනය

ඔබ කෙදිනක හෝ නිදා සිටින විට ඇදෙන් බිමට වැටී තිබේ ද? අපට ගසක් උඩ නිදා ගැනීමට සිදුවූයේ නම් බිමට වැටෙන්නැතිව සිටීම කෙතරම් දුෂ්කර වනු ඇත්ද? එසේනම් වවුලන් වැටෙන්නැතිව ගස් අතුවලින් එල්ලී නිදාගැනීම සිදු කරන්නේ කෙසේ ද?


28

බ්‍රහස්පතින්දා

අද විදු වදන

රාත්රි අහස වර්ණවත් ආලෝකයෙන් නැහැවුණු අයුරක් ඔබට මවාගත හැකිද? ධ්රැවාසන්නව ජීවත් වන අය එය සියැසින් දකින වාසනාවන්තයින් වේ.මෙම එළිය අවුරෝරා (උතුරු එළි) ලෙස හදුන්වයි.
එහිදී සිදුවන දෙය දෙස ළං වී බලමු. හිරු අධිකව රත් වී ඇති නිසා පිපිරෙනශීලී ගැටුම් එහි වායු අණු අතර සිදුවන අතර එමගින් ආරෝපිත අංශු නිකුත්වෙයි. මෙය සූර්ය සුළග නම් වේ. මේවා පෘථිවියේ ගැටුණු විට පෘථිවි චුම්බක ක්ෂේත්රය මගින් ඒවා ඉවතට යැවුව ද චුම්බක ක්ෂේත්රය‍ දුර්වල වන ධ්රැවාසන්න පෙදෙස්වලදී ආරෝපිත අංශු පෘථිවි වායුගෝලයට ඇතුල් වී වායු අණු සමග ගැටේ. මෙම ගැටුම්වලදී වායු අණු ශක්තිය උරාගෙන අස්ථායි වේ. අස්ථායි බව නැතිකර ගැනීමට ශක්තිය පිට කරනු ලබන අතර එය ආලෝක ශක්තිය ලෙස පිටවී අවුරෝරා සදයි.


27

බදාදා

අද විදු වදන

ඔබට 3D චිත්‍රපට නරඹා ඇති සතෙකු නම් කළ හැකිද? පිළිතුර වන්දා වේ.
වන්දන්ට 3D පෙනීම ඇති බවට මතයක් තිබුණද එය මෙතෙක් ඔප්පු කර තිබුණේ නැත.එබැවින් වන්දන්ට කුඩා 3D කණ්ණාඩි පළදා විද්‍යාඥයන් සෑදූ 3D චිත්‍රපටියක් (කුරුමිණියන් ප්‍රධාන චරිත රගන) නරඹන්නට සලස්වනු ලැබීය. එහිදී වන්දන්, කුරුමිණියන් වෙත කඩා පැන ඇති නිසා මෙම පරීක්ෂණය මගින් වන්දන්ට 3D පෙනීම ඇති බව තහවුරු විය.වන්දන්ට අපට වඩා සරල ස්නායු පද්ධතියක් ඇති නිසා ඔවුන්ට ඇති පෙනීමේ යාන්ත්‍රණය ද සරල විය යුතුය.එබැවින් විද්‍යාඥයන්ගේ නවතම අරමුණ වන්නේ වන්දන්ගේ පෙනීමේ යාන්ත්‍රණය සොයා එමගින් රොබෝවන්ට 3D පෙනීම ලබා දීමට හැකි චිප් නිපදවීමයි.


26

අඟහරුවාදා

අද විදු වදන

මසුන් ලෝකය දකින්නේ වෙනත් කෝණයකින් බව ඔබ සිතුවාද?ඌ ජල පෘෂ්ඨය දෙස බැලූ විට බාහිර ලෝකය පෙනෙන්නේ ඇසට උඩින් ඇති කලාපයකින් හෙවත් ජල පෘෂ්ඨයේ ඇති රවුම් “ජනේලය”කිනි.ජල පෘෂ්ඨයේ ඉතිරි පෙදෙස දිස්වන අයුරු කෙසේ වේවිද?එය පහළ ජල ලොවේ ප්‍රතිබිම්භයක් පෙන්වයි.ආලෝකයේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය නිසා ජල පෘෂ්ඨය මෙලෙස කණ්ණාඩියක් ලෙස ක්‍රියාකරයි.ආලෝකය යම් ආනතිවලින්(අවධි කෝණයට වැඩි), වැඩි වර්තනාංකය සහිත මාධ්‍යයක සිට අඩු මාධ්‍යයකට යනවිට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිදුවේ.ජලයේ වර්තනාංකය වාතයට වඩා වැඩිනිසා පෘෂ්ඨය දෙසට එන ඇතැම් ආලෝකය පරාවර්තනය වී නැවත ජලය තුළට එයි.මෙය නිසා පෘෂ්ටය කණ්ණාඩියක් ලෙස පෙනේ.ආලෝකයේ වර්තනය නිසා මාළුවාට බාහිර ලෝකය පෙනෙන්නේ ඇසට ඉහලින් ඇති “ජනේලයෙන්” පමණි.


25

සඳුදා

සතියේ පැනයට පිළිතුර

කාබනීකෘත පාන සාදා ඇත්තේ බලෙන් CO2 වායුව, අධි පීඩනයක් යටතේ දිය කිරීමෙනි.පානය සෙලවූ විට, දියවූ CO2 ශක්තිය ලබාගෙන වායු තත්වයට පත්වේ.එමෙන්ම පානයට ඉහළින් ඇති CO2 වායුව පානය සමග මිශ්‍ර වේ.ඇතුළත පීඩනය පිටත පීඩනයට වඩා වැඩි නිසා, බෝතලය විවෘත කළවිට, වායුව පිටතට පිටවේ.නොසෙල වූ බෝතලයක ද ඇතුළත පීඩනය පිටතට සාපේක්ෂව වැඩිය.නමුත් පානයේ පෘෂ්ඨික ආතතිය බාධා කරන නිසා දියවූ CO2, වායු බවට පත්වීම සෙමින් සිදුවීම නිසා පානය පිටතට විසිනොවේ.නමුත් සෙලවූ විට වායු බුබුළු පානය ඇතුළත සෑදී ඇති නිසා CO2 වායුව කඩිසරව පානය ද තල්ලු කරමින් පිට වේ.


22

සිකුරාදා

සතියේ පැනය

කාබනීකෘත පානයක් හොදින් සොලවා විවෘත කළ විට එම පානය උද්යෝගිමත් ලෙස විසිවෙමින් ඉවතට වැගිරේ.නමුත් නොසොලවා විවෘත කළවිට එලෙස ජරමරයක් සිදුනොවේ.මෙය පැහැදිළි කිරීමට ඔබට හැකි ද?


21

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ජලාශ්‍රිත පක්ෂීන්හට පටලමය පාද තිබීම ඔවුන්ගේ පිහිනීමට පිහිටීමට අනුවර්තනයක් බව ඔබ දන්නවා ද?එහි ක්‍රියාව විමසා බලමු.පක්ෂියා තම පාදය පිටුපසට තල්ලු කරන විට පයේ ඇගිලි විහිදයි.එවිට පටලය දිගහැරීම නිසා වැඩි පෘෂ්ඨික වර්ගඵලයක් ජලය හා ගැටේ.එනිසා වැඩි ජල කදක් පිටුපසට තල්ලු වේ.එයට පිළිතුරු ලෙස ජලය මගින් පක්ෂියා මත බලයක් යොදයි(නිව්ටන්ගේ තෙවන නියමයට අනුකූලව).මෙම පටලමය පාද අනුකරණයෙන් පිහිනුම් උපාංග (swim fins) හා ජල ක්‍රීඩාවලදී යොදා ගන්නා නව හබල් සකසා ඇත.


20

බදාදා

අද විදු වදන

කුරුදු තෙල් නිස්සාරණය ලංකාව ආඩම්බරයෙන් සිදුකරන කර්මාන්තයකි.රසායන විද්‍යාව එහි දි සිදුකරන කාර්යභාර්ය ගැන ඔබ දන්නවාද? ද්‍රවයක් තාපාංකයට පත්වන්නේ එහි වාෂ්ප පීඩනය බාහිර වායුගෝල පීඩනයට(1 atm)සම වූ විටය.එකිනෙක මිශ්‍ර නොවන ද්‍රව 2ක් ඇති ද්‍රාවණයක්(ජලය හා සගන්ධ තෙල්) රත් කළවිට,එකිනෙකාට බාධා නොකර සාමාන්‍ය ලෙසට එම ද්‍රව වාෂ්ප වේ.නමුත් ද්‍රව 2හිම වාෂ්ප දායක වන නිසා මුළු වාෂ්ප පීඩනය, තනිව රත් කළ විටක දී ට වඩා අඩු උෂ්ණත්වයක දී 1 atm වෙත ලගා වේ.එබැවින් අමිශ්‍ර ද්‍රව 2 අඩු උෂ්ණත්වයක දී නටන උෂ්ණත්වයට පැමිණේ. කාබනික සංයෝග අධික උෂ්ණත්ව හමුවේ වියෝජනය වන අතර මෙම ක්‍රමය( හුමාල ආසවනය ) යොදා එය වළකා ගැනේ.


19

අඟහරුවාදා

අද විදු වදන

පැරෂූට හොද ජීවිතාරක්ෂකයකි.ඔබ එහි ක්‍රියාකාරිත්වය දන්නවාද?ගුවනේදී ගුරුත්වාකර්ෂණයේ බලපෑම නිසා පුද්ගලයා පොළව දෙසට ත්වරණය වේ. එවිට පුද්ගලයා මාරාන්තික වේගයකින් වැටේ.පැරෂූටය නිදහස් කළවිට වාත ප්‍රතිරෝධය වැඩිවේ.( වාතය ගැටෙන පෘෂ්ඨික වර්ගඵලය වැඩි වූ විට වාත ප්‍රතිරෝධය වැඩිවේ).එවිට උඩු අතට ඇති බලය වැඩි නිසා වේගය අඩුවේ.වේගය සමග වාත ප්‍රතිරෝධය වෙනස් වන බැවින්, මෙවිට (ගුරුත්වාකර්ෂණ බලයට සම වන තෙක්) වාත ප්‍රතිරෝධය අඩු වේ.බල සමතුලිත වූ විට නියත වේගයක් ලැබෙන අතර ලැබෙන්නේ ආරක්ෂාකාරි වේගයකි.


18

සඳුදා

අද විදු වදන

සතුන්ගේ ඇස්වල පිහිටීම අනුව සතා විලෝපිකයෙකු ද ගොදුරු සතෙකු ද යන්න හදුනාගත හැකි බව ඔබ දන්නවාද?සාමාන්‍යයෙන් හිස දෙපස එකිනෙකට ප්‍රතිවිරුද්ධව ඇස් පිහිටන්නේ ගොදුරු සතුන්ටය(ගවයන්,මුවන්,අශ්වයන්). මෙයින් පුළුල් වපසරියක පෙනීම ලබාදීම නිසා පැත්තෙන් මෙන්ම පිටුපසින් එන විලෝපිකයන් ද නිරීක්ෂණය කළ හැකිවේ.විලෝපිකයන්ට හිස ඉදිරිපස පිහිටි ඇස් පිහිටයි(කොටියා,සිංහයා,පූසා).මෙමගින් ඔවුන්ට ගැඹුර පිළිබද අවබෝධයක් ලැබෙන නිසා ගොදුරේ වේගය නිර්ණය කර දඩයම් කිරීම පහසු වේ.


14

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඇදුම් අත්නොහැර යන කරදරකාරී කුනු ලේසියෙන් ඉවත් කිරීමට සබන් වතුර උදවු වේ.මෙයට හේතුව ඔබ දන්නවා ද?ආකාර 2කට සබන් මෙය සිදුකරයි.එක් ක්‍රමයක් වන්නේ ජලයේ පෘෂ්ඨික ආතතිය අඩු කිරීමයි(සබන් එකතු කළවිට සිදුවේ).එවිට රෙදිවල ඇති කුඩා සිදුරු තුළින් ජලයට විනිවිද යෑමට පහසු වේ.මෙම සිදුරු හරහා ජලය යන විට කුනු ද රැගෙන යාම සිදුවේ.
කුනු (නිර්ධ්‍රැවීය සංයෝග), ජලයේ(ධ්‍රැවීය සංයෝගයකි) දිය නොවේ.නමුත් සබන් එම ගැටලුව විසදයි.සබන් අණුවක එක් කෙළවරක් ධ්‍රැවීය වන අතර අනෙක් කෙළවර නිර්ධ්‍රැවීය වේ.නිර්ධ්‍රැවීය කොටස කුනු සමග ද ධ්‍රැවීය කෙළවර ජලය සමග ද බැදේ.අවසානයේ දී කුනු ජලය සමග වක්‍රාකාරව බැදී ඇත.එවිට ඇදුම්වලින් කුනු ඉවත් වී ජලය සමග බැහැර වේ. එබැවින් පැල්ලම් රහිත ජීවිතයක් සදහා සබන් පාවිච්චි කරන්න!


13

බදාදා

අද විදු වදන

ආවර්තිතා වගුවට නව සාමාජිකයන් 4ක් අලුතින් එකතු වී ඇති බව ඔබ දන්නවා ද?ශුද්ධ හා ව්‍යවහාරික රසායනය පිළිබද අන්තර්ජාතික සංගමය(IUPAC), ආවර්තිතා වගුවේ 7 වන පේළිය සම්පූර්ණ වී ඇති බව නිවේදනය කර ඇත. එකතු වී ඇත්තේ 113,115,117 හා 118 යන පරමාණුක ක්‍රමාංකය සහිත මූලද්‍රව්‍යයි.ඒවා තාවකාලික ලෙස උනුන්ට්‍රියම්(ununtrium, Uut or 113) ,උනුන්පෙන්ටියම්(ununpentium, Uup or 115),උනුන්සෙප්ටියම්(ununseptium, Uus or 117) හා උනුන්ඔක්ටියම්(ununoctium, Uuo or 118) යන නම් වලින් හදුන්වයි.හතරම කෘතිමව සංස්ලේෂිත මූලද්‍රව්‍යයි.


12

අඟහරුවාදා

අද විදු වදන

අපේ රටේ විසිතුරු පැළෑටි ලෙස භාවිතා කරන ඇතැම් ශාක සතුව ප්‍රබල ලෙස විෂ වායු අවශෝෂණය කිරීමේ හැකියාවක් ඇති බව ඔබ දන්නවා ද?ජර්බරාස්(බාබටන් ඩේසි),කපුරු,පීස් ලිලී,සැන්සිවේරියා හා ඇතැම් පාම් වර්ග ආදි ශාක මීට අයත් ය.මේවා ෆෝමැල්ඩිහයිඩ්,සයිලීන්,එතිල්බෙන්සීන් හා ටොලුවීන් ආදි විෂ වායු අවශෝෂණය කරනු ලබයි. ගෙවත්තේ සිට නොමිලයේ වාතය පිරිසිදු කරමින් නිහඩ සේවයක් කරන මෙම විසිතුරු ශාක කෙතරම් අගනේ ද?


11

සඳුදා

සතියේ පැනයට පිළිතුර

පුරහද දැකීමට, පෘථිවිය ඉර සහ හද අතර පිහිටිය යුතුය(හද, ඉරට ප්‍රතිවිරුද්ධව පිහිටිය යුතුය).මන්ද යත් පෘථිවියට හදේ ආලෝකමත් වූ(ඉර මගින් ආලෝකමත් වූ) පෘෂ්ටය පෙනෙන්නේ එවිට බැවිනි.සාමාන්‍යයෙන් පුරහද ඇතිවිට ඉර,හද හා පෘථිවිය එකම රේඛාවේ නොපිහිටයි.(පෘථිවිය සූර්යයා වටා යන කක්ෂයට ආනතව හද පෘථිවිය වටා යන කක්ෂය තිබීම මෙයට හේතුවයි)
නමුත් ඉර,හද හා පෘථිවිය එකම රේඛාවේ පිහිටි විට(හදේ කක්ෂය වෙනස් වන බැවින් මෙය සිදුවිය හැකිය) පෘථිවියේ සෙවනැල්ල මගින් හද වැසී යයි.එවිට චන්ද්‍රග්‍රහණයක් උපදී.
එබැවින් චන්ද්‍රග්‍රහණයක් සැමවිටම සිදුවන්නේ පුරහද ඇති දිනකය.


8

සිකුරාදා

සතියේ පැනය

7

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ආකර්ෂණීය ස්වර්ණාභරණ සාදන ප්‍රචලිත ක්‍රමයක් වන්නේ රන් ආලේපනයයි.මෙයින් ස්වර්ණාභරණ ලාභදායි මිලකට ගැනීමට අවස්ථාව සැලසේ.රන් ආලේපනයේදී සිදුවන්නේ කුමක් දැයි ඔබ දන්නවාද? සිදුවන්නේ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියයි.මෙහිදී ඉලෙක්ට්‍රෝඩ දෙකක් සහිත රන්වල අයන අඩංගු ද්‍රාවණයක්(විද්‍යුත් විච්ඡේද්‍ය) තුළින් විද්‍යුත් ධාරාවක් යවනු ලැබේ. එක් ඉලෙක්ට්‍රෝඩයක් ආභරණය වන අතර අනෙකට රන් ලෝහය යොදයි. විද්‍යුත් ධාරාව මගින් විද්‍යුත් විච්ඡේද්‍ය බිදහෙළා ආභරණය මත රන් තැන්පත් කෙරේ.


6

බදාදා

අද විදු වදන

අපි සැවොම අලුත් අවුරුදු උදාවේ මල්වෙඩි සංදර්ශන ආශාවෙන් නරඹන්නෙමු.මිහිපිට මදකට සුරලොවක් කරන්නට එය සමත් වේ. මල්වෙඩි අහසේ මවන රූ රටා සමමිතික වන බව දන්නවා ද?එයට හේතුවන්නේ ගම්‍යතා සංස්ථිති නියමයයි. මල්වෙඩිවල පෙර මුළු ගම්‍යතාවය පසු මුළු ගම්‍යතාවයට සමාන විය යුතුය.එබැවින් වෙඩි බෙහෙත් අහසේ ප්‍රතිවිරුද්ධ දිශාවලට විහිදී සමමිතික රූ මවයි.


5

අඟහරුවාදා

අද විදු වදන

අපි සැමවිටම පීඩනය මගහැරීමට උත්සාහ කරන්නෙමු.(විභාග පීඩනය,අධි රුධිර පීඩනය) නමුත් පීඩනය ප්‍රයෝජනවත් වන අවස්ථා ද ඇත. පීඩන උදුන ක්‍රියාත්මකවන්නේ අධි පීඩනයට ස්තූතිවන්නටය.එය මෙසේ සිදුවේ. පීඩන උදුන වායු රෝධක භාජනයකි.එනිසා හුමාලය සැදුණු විට ඇතුළත පීඩනය වැඩිවේ. වායු පීඩනය වැඩි වූ විට ද්‍රවයට(කෑමෙහි) ඉක්මනින් වැඩි උෂ්ණත්වයකට ළගා විය හැකිවේ (ද්‍රවයේ තාපාංකය වැඩිවීම නිසා).එම නිසා පිසීමේ කටයුතු ඉක්මන් වේ.


4

සඳුදා

සතියේ පැනයට පිළිතුර

කේතුවක කෝණික හැඩය නිසා එහි ස්කන්ධය පහළ දෙසට වැඩියෙන් ව්‍යාප්ත වී ඇත. එබැවින් එහි ගුරුත්ව කේන්ද්‍රය සාපේක්ෂව පහළින් පිහිටයි.එවිට එය ස්ථායි සමතුලිතතාවයට පත් වීමට නැඹුරු වේ. (සුළග වැනි බාහිර බලපෑම් හමුවේ නොසැලේ)මෙනිසා මහමග නිශ්චිත පිහිටුම්වල මාර්ග බාධක ස්ථාවරව පවතී.(කියන විදිහට ඉන්න, තැන තැන රවුම් නොගසන ,“ශාන්තදාන්ත තීන්ත කුප්පියක්” ලෙස සිටියි.)


1

සිකුරාදා

සතියේ පැනය