2016 වසරේ පෙබරවාරි මාසයට අයත් විද්‍යා පණිවුඩ

29

සඳුදා

සතියේ පැනයට පිළිතුර

යමක් කැපීමේ දී සිදුවන්නේ පෘෂ්ටයකට යෙදූ බලය නිසා වස්තුව දෙකඩවීමයි. බලය කුඩා පෘෂ්ඨික වර්ගඵලයක පැතිරුණු විට ඒකක වර්ගඵලයක ක්‍රියාකරන බලය වැඩිවේ.එනම් පීඩනය(පීඩනය=ඒකක වර්ගඵලයක් මත ක්‍රියාකරන බලය) වැඩිවේ. පිහියේ තියුණු පැත්තේ පෘෂ්ඨික වර්ගඵලය මොට පැත්තට වඩා අඩු නිසා තියුණු පැත්තෙන් කපන විට වස්තුවට දැනෙන පීඩනය වැඩිවේ.සුමට කැපීමක් සිදුවේ.


26

සිකුරාදා

සතියේ පැනය

ඔබ අපමණ වරක් පාන් කපා ලැබූ අත්දැකීම් නිසා කිසිදිනක,පිහියේ මහත,මොට පැත්ත භාවිතා නොකළ යුතු බව ඉගෙනගන්නට ඇති.සුමට කැපීමකට නම් පිහියේ තියුණු පැත්ත භාවිතා කළ යුතුවේ. එසේ තියුණු පැත්ත හොදට කැපීමට හේතුව ඔබ දන්නවා ද?


25

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ජෙට් එන්ජිම් ක්‍රියාව සොයාගත්තේ කවුරුන්ද? සැබැවින්ම එය සොයාගත්තේ සොබාදහම් මාතාවයි.
දැල්ලන් මෙන්ම තවත් සතුන් ද එම යාන්ත්‍රණය යොදාගෙන පිහිනන නිසා එහි අයිතිය සොබාදහම සතුයි.දැල්ලන් ජලය කරකවමින් පිටතට විදින ක්‍රමයක් භාවිත කරයි.දැල්ලා ජලය මත බලය යොදයි.ඊට ප්‍රතික්‍රියාව ලෙස දැල්ලා මත ජලය මගින් බලයක් යෙදීම(නිව්ටන්ගේ 3 නියමය අනුව) නිසා දැල්ලා ඉදිරියට යයි. විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුව වන්නේ මෙම ක්‍රමය යොදා මිනිස් ආහාර මාර්ගය තුළ කැප්සියුල හැසිරවීමෙන් බෙහෙත් ලබාදීම හා රෝග විනිශ්චය සිදුකිරීමයි.


24

බදාදා

අද විදු වදන

අයිස් කැට දෙකක් තදින් එකට තද කරතබා ඉන්පසු අත්හැරිය විට කැට 2 එකට හා වී තනි කැටයක් බවට පත්වන බව ඔබ අත්දැක තිබේ ද?බොහොමයක් ද්‍රව්‍ය මෙන් නොව අයිස් ද්‍රව ජලය බවට පත්වන විට සංකෝචනය වේ(හැකිලේ).එබැවින් අයිස් කැටවල ස්පර්ශ වන පෘෂ්ට පීඩනයට ලක්කළ විට එතැන්හි අයිස් ද්‍රව වීමට පෙළඹේ(ජලයේ හිමාංකය පහත යයි).පීඩනය අඩුකළවිට ද්‍රව වූ ජලය නැවත අයිස් වේ.එනිසා අයිස් කැට 2 හා වී තනි කුට්ටියක් සැදේ.


23

අඟහරුවාදා

අද විදු වදන

CFC/ක්ලෝරොෆ්ලෝරොකාබන් (ශීතකාරක ද්‍රව්‍ය,වායු සමීකරණ හා එයරසොල් ස්ප්‍රේවල අඩංගුයි) වායුගෝලයේ ඇති භයානකම සංයෝගය විය හැකි බව ඔබ දන්නවා ද?එය ප්‍රතික්‍රියශීලීත්වයෙන් අඩු නිසා තමන්ගේ පාඩුවේ ඉහළ වායුගෝලය තෙක් ගමන් කරයි.නමුත් එහිදී පාරජම්බුල කිරණ මගින් CFC වියෝජනය කර මාරාන්තික Cl පරමාණුවක් සදයි.මෙම Cl පරමාණුව ඕසෝන් අණු දහස් ගණනක් අනුකම්පා විරහිතව විනාශ කරයි.


19

සිකුරාදා

අද විදු වදන

ගර්භනි සමයේ මව්වරුන්ට කොන්දෙරුදා ඇතිවීමට හේතුව ඔබ දන්නවා ද?කුස තුළ දරුවා වැඩෙත්ම මවගේ ගුරුත්ව කේන්ද්‍රය ඉදිරියට නැඹුරු වෙයි. එවිට කොන්දාශ්‍රිත පෙදෙසට දැනෙන පීඩනය වැඩිවන අතර වැරදි ඉරියව්වලට ද පුරුදු වේ. නමුත් නිවැරදි ඉරියව් භාවිතයෙන් කොන්දෙරුදා අවම කරගත හැකිවේ.


18

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඔබටත් වැස්සක් අතරතුර කුඩය යටි අතට හැරීමේ අත්දැකීම ලැබී තිබේද?ඇතැම් අවස්ථාවල සුළග යන දෙසට කුඩයත් ගසාගෙන යෑමට වඩා යමක් එතැන සිදුවෙයි. කුඩයේ හැඩය නිසා කුඩයට පහළින් ඇති වාතයට වඩා වැඩි දුරක් ඉහළින් ඇති වාතයට යෑමට සිදුවීම නිසා ඉහළින් යන සුළග ඉක්මණින් හමයි. එවිට කුඩයට ඉහළින් වායු පීඩනය පහළට වඩා අඩුවේ(බ’නුලි නියමයට අනුව).ඇතිවන පීඩන අන්තරය හේතුවෙන් කුඩය මත ඉහලට බලයක් ඇතිවී එය යටි අතට හැරේ.


17

බදාදා

අද විදු වදන

සමහර ලෝහ විෂබීජ නසන බව ඔබ දන්නවා ද? රිදී,තඹ,රසදිය ආදි ලෝහ මෙන්ම තඹ මිශ්‍ර ලෝහවලට ද ස්වයං සනීපාරක්ෂක හැකියාව ඇත.මේවා බැක්ටීරියා,වයිරස් හා දිලීර ආදි ව්‍යාධිජනකයන් ජීවිතක්ෂයට පත් කරයි.දත්තවලට අනුව රිදී ලෝහය මෙය කරන්නේ ව්‍යාධිජනකයාගේ එන්සයිම අස්වාභාවීකරණය කිරීමෙනි.මේවා රෝහල්වලට විශේෂයෙන් වැදගත් වන අතර ජලය පිරිසිදු කිරීමට ද උපකාරි වේ.


16

අඟහරුවාදා

අද විදු වදන

පෙන්ග්වින්ලාගේ අමුතු ගමන් විලාසයට හේතුව ඔබ දන්නවා ද?හේතුව ඔවුන්ගේ පාද කෙටිවී පිටුපසින් පිහිටීම හා විශාල පතුල් තිබීමයි.මේවා පිහිනුම් ශූරයන්වීමට සොබාදහමෙන් ලැබුණු දායාද වේ.නමුත් මේවායින් ඇවිදීම අපහසුවේ.අපහසුව අවම කරගැනීමට “දෙපසට පැද්දෙමින් ඇවිදින කලාව” මොවුන් ප්‍රගුණ කරඇත.පියවර අතරදී පැද්දීමෙන් ගුරුත්ව කේන්ද්‍රය ඉදිරියට ගෙනෙන ගමන් ගම්‍යතාව රැකගන්නා අතර අඩු ශක්තියක් වැයවේ.මෙම තොරතුරු මගින් ඇවිදීමේ අපහසුතා ඇති අය,ස්ථූල අය හා ගර්භනි කාන්තාවන් හට උදවු ලබා ගැනීම පර්යේෂකයන්ගේ අදහසයි.


15

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ගිම්හානය උණුසුම්ය.එනිසා කුළුන තාපය උරාගනියි.එය කුළුනේ ලෝහ අංශුවල චාලක ශක්තිය වැඩිකර(අංශුවල දැගලිල්ල වැඩිවේ) අංශු අතර බන්ධන දුර්වල කරයි. එවිට අංශු අතර දුර වැඩි වී කුළුන ප්‍රසාරණය වේ(ඉදිමේ). එහි උස ද සුළුවෙන් වැඩිවේ.මෙය තාපමය ප්‍රසාරණය ලෙස හදුන්වයි.
ශීත කාලය සිසිල් බැවින් කුළුන තාපය පිටකරයි.එවිට ඉහත ක්‍රියාවලියේ විරුද්ධ ක්‍රියාව සිදුවී කුළුන හැකිලීම නිසා එහි උස ද මද ලෙස අඩුවේ. මෙය තාපමය සංකෝචනය නම් වේ.
ප්‍රසාරණය හා සංකෝචනය නිසා මෙලෙස උස වෙනස් වේ.


12

සිකුරාදා

සතියේ පැනය

11

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ගමන් කරන බසයක දී බෝලයක් උඩ දැමූ විට එය අප පිටුපසට නොවැටී අපගේ අතටම නැවත වැටේ.මෙයට හේතුව ඔබ දන්නවා ද? එහි දී සිදුවන්නේ මෙයයි;
බසයක් ධාවනය වන විට එහි ඇති සියලු දේ ද එම ප්‍රවේගයෙන්ම ගමන් කරයි(නැතහොත් බසය අනික් දේවල් මගදමා යයි).එබැවින් උඩ දැමූ බෝලයට දැනටමත් තිරසට ප්‍රවේගයක් ඇත.තිරස් ප්‍රවේගය මගින් බෝලය ඉදිරියට ද අප ලබා දුන් සිරස් ප්‍රවේගය මගින් එය ඉහළට ද ගමන් කරයි. බෝලය එකම අවස්ථාවේ දී ඉහළට හා ඉදිරියට ගමන් කරන බැවින් එය කවාකාර පථයක යයි.ඉන්පසු නැවත අපටම ලැබේ.


10

බදාදා

අද විදු වදන

රොබෝ නිෂ්පාදනයට හොදම උපදෙස් සපයන්නේ සත්ව ලෝකයයි. මෙවර කැරපොත්තන් උපදේශක තනතුර ලබාගෙන ඇත. විද්‍යාඥයන් විසින් උන්හට ඇති කුඩා ඉඩවලින් ද රිංගා යෑමේ හැකියාව අනුකරණයෙන් රොබෝවරු නිපදවා ඇත. කැරපොත්තන්හට ඔවුන්ගේ උසින් 1/5 ක උසකට පහත්විය හැකිය. නව රොබෝවන්ට තම උසින් ½කට නැවීගෙන ද දිවිය හැකිය.අනාගතයේ දී මෙම රොබෝවන් භූ කම්පන, නායයාම් ආදියේ දී ගොඩගැසෙන සුන්බුන් තුළට ගොස් ජීවතුන් අතර සිටින්නන් සොයා දී වීරයන් බවට පත්වේවි!


9

අඟහරුවාදා

අද විදු වදන

පන්ති කාමරයේදී ඈනුමක් ඇරීම දඩුවම් ලැබිය හැකි වරදකි.නමුත් ශරීරයට ඈනුමෙන් ඇති යහපත ගැන ඔබ දන්නවාද? බොහෝදෙනා මෙහි ප්‍රයෝජනය ලෙස සිතා සිටියේ මොළයට O2 අඩු වූ විට ඈනුමෙන් O2 හිගය නැතිවන බවයි.නමුත් ළගදී කළ පර්යේෂණයකින් ඉහත අදහස වෙනස් වී ඇත. මොළයේ උෂ්ණත්වය වැඩි වූ විට එහි කාර්යක්ෂමතාව අඩුවේ.ඈනුමකින් මොළය නැවත සිසිල් කරදෙයි.


8

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ප්ලවාංග හා ඇල්ගී ආදිය නිපදවන O2 හා වායුගෝලිය O2 ජලයේ දියවේ. දියවූ O2 නැවත වායු බවට පත්වීම ශක්තිය අවශෝෂණය කරන/තාප අවශෝෂක ප්‍ර‍තික්‍රියාවකි. ආක්ටික්/ඇන්ටාක්ටික් සාගරවල ඉතා අඩු උෂ්ණත්වයක් ඇති නිසා දිය වූ O2වලට නැවත වායු බවට පත්වීමට ශක්තිය හිග වේ.එනිසා ජලයේ දියවූ O2 වායු බවට පත්වීම අවම වේ. වැඩියෙන් O2 වායුව දිය වී පවති. එනිසා සීතල ආක්ටික්/ඇන්ටාක්ටික් සාගරවල O2 සාන්ද්‍රණය අධිකය.ඒවායින් ඇරඹෙන ජල ප්‍රවාහ මගින් අනෙක් සාගරවලට ද හොදින් O2 ලැබේ.


5

සිකුරාදා

සතියේ පැනය

සාගර පතුල ආශ්‍රිත ප්‍රදේශවලට ප්‍රධාන ඔක්සිජන් සැපයුම්කරු ලෙස ක්‍රියාකරන්නේ ආක්ටික් හා ඇන්ටාක්ටික්වල සිට අනෙක් සාගර වෙත ගලන ජල ප්‍රවාහ බව ඔබ දන්නවා ද?මෙම සීතල ජල ප්‍රවාහවල අධික ලෙස ඔක්සිජන් තිබීමට හේතුව ඔබ දන්නවා ද?


3

බදාදා

අද විදු වදන

එවරස්ට් කන්ද තරණය අතිශයින් අභියෝගාත්මකය. ඔබට දැන් දැනගන්නට ලැබෙන පුවත එය තවත් අභියෝගාත්මක කරනු ඇත. එම නරක ආරංචිය වන්නේ, පහත්බිම්වල ජීවත්වන අයට ඉතා උස්බිම්වලදී හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීමයි.
හේතුව පහත පරිදිය; හිමොග්ලොබින් මගින් සෛල වෙත ඔක්සිහිමොග්ලොබින් ලෙස ඔක්සිජන් ගෙන යයි.එවිට පහත සමතුලිත ප්‍රතික්‍රියාව සිදුවේ.
Hb (aq) + 4O 2 (g) ⇋ Hb(O 2 )4 (aq)
උස්බිම්වලදී වායු පීඩනය අඩුවන නිසා O2(g) සාන්ද්‍රණය අඩුවේ. ලේ චැටලිය’ මූලධර්මයට අනුව සමතුලිත පද්ධතියකට බාහිර බලපෑමක් ඇතිවූ විට පද්ධතිය එම බලපෑම අවම කරගැනීමට ක්‍රියා කරයි. එබැවින් O2(g) සාන්ද්‍රණය අඩුවූ විට පද්ධතිය O2(g) වැඩියෙන් සෑදීමට Hb(O 2 )4 බිදහෙළයි(පසු ප්‍රතික්‍රියා වේගය වැඩිකරයි).එවිට අපට සෛලවලට O2 /Hb(O 2 )4 අඩු වී අපහසුතා ඇතිවේ.
නමුත් උස්බිම්හි වෙසෙන්නන්ට මෙයට අනුවර්තන ඇත. සමහරුන්ගේ Hb සාන්ද්‍රණය වැඩියි. Hb සාන්ද්‍රණය අඩුකර ගැනීමට ඉදිරි ප්‍රතික්‍රියා වේගය වැඩිවී සෛලවලට O2/Hb(O 2 )4 වැඩියෙන් ලබාදෙයි.


2

අඟහරුවාදා

අද විදු වදන

සබ්මැරීන මුහුද මතුපිටට යවන හෝ මුහු‍දේ කිමිදවන යාන්ත්‍රණය කුමක්දැයි ඔබ දන්නවා ද? එහි ඇති සරලත්වය ගැන ඔබටම පුදුම හිතේවි. සබ්මැරීනයේ ඝනත්වය වෙනස් කිරීම එහි උපායයි. සබ්මැරීනයේ ඝනත්වය ජලයට වඩා වැඩිනම් එය මුහුදේ කිමිදේ. එහි ඝනත්වය ජලයට වඩා අඩු නම් එය මුහුද මතුපිටට එයි. ඝනත්වය වෙනස් කිරීමට “බලාස්ට” ටැංකි නම් විශේෂ ටැංකි සාදා ඇත. ඒවාට අවශ්‍ය විට ජලය ද අවශ්‍ය විට වාතය ද පිරවිය හැකිය. ටැංකි ජලයෙන් පිරෙන විට(අවට ඇති මුහුදු ජලයෙන්) සබ්මැරීනයේ ඝනත්වය වැඩිවේ. ටැංකි වාතයෙන් පිරෙන විට( සම්පීඩිත වාතය මුදාහැරීමෙන්) ඝනත්වය අඩුවේ.


1

සඳුදා

සතියේ පැනයට පිළිතුර

වවුලන්ගේ පාදවල ඇති ශක්තිය අවශ්‍ය නොවන ස්වයංක්‍රිය අගුළු පද්ධතිය නිසා ඔවුන්ට නොවැටී සිටිය හැකිවේ. මේ සදහා කණ්ඩරා හා දිගු නිය උපකාරි වේ. මෙම විශේෂ කණ්ඩරා මගින් දිගු නිය උඩුකයට සම්බන්ධ කරයි. තවත් විශේෂත්වයක් වන්නේ කණ්ඩරාවල පිටත පෘෂ්ට‍යේ හා කණ්ඩරා කොපුවේ ඇතුල් පෘෂ්ටයේ කියත් පෘෂ්ඨයක මෙන් වලගොඩැලි තිබීමයි.
වවුලන් එල්ලී සිටින විට ඔවුන්ගේ උඩුකයේ බර නිසා කණ්ඩරා පහළට ඇදේ. එවිට කණ්ඩරාවලට සම්බන්ධ වී ඇති දිගු නිය, අල්ලාගත් පෘෂ්ඨය තදින් ග්‍රහණය කරගනියි. මෙවිට වලගොඩැලි ඇති පෘෂ්ඨ දෙක එකිනෙකට හොදින් සවිවීම නිසා දිගු නිය එම ඉරියව්වෙන් පවති. මෙම යාන්ත්‍රණය කෙතරම් ආරක්ෂාකාරි ද යත් වවුලන් මැරුණු පසුද නොවැටී සිටියි.