2016 වසරේ මාර්තු මාසයට අයත් විද්‍යා පණිවුඩ

31

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ක්‍රීඩකයන්, වයස්ගත පුද්ගලයන් හා ආබාධවලින් පීඩා විදින පුද්ගලයන් කාටිලේජ අහිමි වී දැඩි වේදනාවන්ට බදුන් විය හැකිය. මෙන්න ඔවුන්ට සුබ ආරංචියක්! පර්යේෂකයන් විසින් 3-D ජෛව මුද්‍රණ යන්ත්‍රයක් යොදාගෙන කාටිලේජ නිපදවීමට සමත් වී තිබේ. මෙම යන්ත්‍රය කාටිලේජ නිපදවීමට අමුද්‍රව්‍යය ලෙස ජෛව-තීන්ත(එහි රෝගියාගේ සෛල අඩංගු කරගැනේ) යොදා ගනියි.


30

බදාදා

අද විදු වදන

බොහෝ පක්ෂීන්ට ආහාර ගිලීමට ගුරුත්වය අත්‍යවශ්‍ය බව ඔබ දන්නවාද? ඔවුන්ට ආහාර අන්නස්‍රෝතය වෙත  යැවීමට හොටය ඉහළට යොමු කළ යුතුවේ. ආහාර හරි මග යැවීමට දිව හා හකුවල මගපෙන්වීම ද අවශ්‍ය වේ.නමුත් විශාල ලෙසම ස්තූතිවන්ත විය යුත්තේ ගුරුත්වාකර්ෂණ බලයටයි. එය තම හැකියාව වන වස්තූන් බිම වැට්ටවීම යොදාගෙන ආහාර අන්නස්‍රෝතයට යවයි. මෙනිසා පක්ෂීන් යටි අතට සිට ආහාර ගිලීම හෝ අභ්‍යවකාශ චාරිකාවලට සහභාගිකරවීමෙන් වැළකිය යුතුවේ.


29

අඟහරුවාදා

අද විදු වදන

හෙලිකොප්ටරයකට අහසේ එකතැන සිටිය හැකි නමුත් ගුවන්යානයකට නොහැකි බව ඔබ දන්නවා ද? එයට හේතුව ඔබ සිතනවාටත් වඩා සරලය. හෙලිකොප්ටරයේ  තල, ගුවන්යානාවල  පියාපත්වල විශේෂිත හැඩයටම සාදා ඇත. සුළග, පියාපත්/තල මතින් ගමන් කරන විට යානය මත උඩු අතට බලයක් ලැබේ(බ’නුලි නියමය). නමුත් හෙලිකොප්ටරයේ ඇති වෙනස වන්නේ වාතය සංසරණය කිරීමට යානයම ගමන් නොකර(ගුවන්යානය මෙන්), තල පමණක් භ්‍රමණය කිරීමයි. උඩු අතට ඇති බලය හෙලිකොප්ටරයේ බරට සමාන වූ විට යානය අහසේ එකතැන තැබිය හැකිවේ. නමුත් ගුවන්යානයකට උඩු අතට බලය ලැබෙන්නේ ගමන් කරන විට බැවින් අහසේ නැවතීමට නොහැක.


28

සඳුදා

අද විදු වදන

තැම්බූ බිත්තර සුදු මදයක් නැවතත් මුල් තත්වයට(නොතැම්බූ තත්වයට) පත්කිරීමට විද්‍යාඥයන් සමත් වී ඇත. මොවුන් අස්වාභාවිකරණය වූ සුදු මද ප්‍රෝටීන නැවත සස්වාභාවිකරණය කර ඇත. ඔවුන් යොදාගෙන ඇත්තේ  යූරියා(තැම්බූ සුදු මදය ද්‍රව බවට පත්කිරීමට)  සහ වෝටෙක්ස් ෆ්ලුයිඩ් උපකරණයයි(vortex fluid device). මෙම උපකරණයෙන් අස්වාභාවිකරණය වූ ප්‍රෝටීන් නැවත නියමිත ආකාරයට සකස්වීමට ඉඩ සලසයි.මොවුන්ට මෙච්චර මහන්සි නොවී අලුත් බිත්තරයක් භාවිතා කරන්න තිබුණා නොවේ ද? මෙය සිදුකිරීමට හේතුව,මෙයින් පිළිකා ඖෂධ නිෂ්පාදනයේ දී වියදම අඩුවීමයි. වැරදීමකින් අස්වාභාවිකරණය වන ප්‍රෝටීන් නැවත නිවැරදි තත්වයට පත්කරගැනීමට හැකිවීම නිසා නිෂ්පාදන වියදම අඩු වේ.


24

බ්‍රහස්පතින්දා

අද විදු වදන

කොට්ටෝරුවන් තම හොට මත  දැව-කන දිලීර ගෙන යන බව ඔබ දන්නවා ද?දිලීර දැව ජීර්ණය කරන නිසා කොට්ටෝරුවන්ට බෙන(ඔවුන්ගේ නිවෙස්) හෑරීම ලෙහෙසි වේ. එමෙන්ම දිලීරයට ආහාර ලැබේ.දෙපිරිසටම වාසි ලැබීම සහතික වේ.


23

බදාදා

අද විදු වදන

මේ දිනවල ඇත්තේ උහුලා ගත නොහැකි තරම් දැඩි උණුසුමකි. මෙයට වගකිව යුත්තන් පහත පරිදිය. එල්-නිනෝ යන පැසිෆික් සාගරයේ ආශ්‍රිතව සිදුවන කාලගුණ චක්‍රය නිසා ගෝලීය කාලගුණය විපර්යාසයකට ලක්වී ඇත(මිනිස් ක්‍රියාවන් එල්-නිනෝ තත්වය උග්‍ර කරතිබේ). මෙය නිසා වර්ෂාපනය අඩු වී ඇත. එමෙන්ම නිරිත දිගින් එන තද සුළං අඩු වීම නිසා වෙරළාශ්‍රිත ප්‍රදේශවල ආර්ද්‍රතාව වැඩි වී ඇත. එවිට දහඩිය දැමීම මගින් සිරුරෙන් තාපය පිටකිරීම අඩාල වේ. තවද මාර්තු මාසයේදී සමකයට ඉර මුදුන්වීම නිසා ද රස්නය වැඩි වේ.මීළග මාසයේ මුල දී ශ්‍රී ලංකාවට කෙළින්ම ඉර මුදුන් වීම නිසා තත්වය මීටත් වඩා අසහනකාරී වේවි.


21

සඳුදා

සතියේ පැනයට පිළිතුර

හැන්දේ ඇතුල් පැත්ත අවතල දර්පණයක් ලෙස ක්‍රියාකරයි. හැන්දේ වක්‍රතාව අධික බැවින් එහි නාභි දුර ඉතා කෙටි වේ.එනිසා අප සැමවිටම වාගේ හැන්දේ නාභියට පිටින් සිටියි. අවතල දර්පණයක නාභියට පිටතින් ඇති වස්තුවල ප්‍රතිබිම්බ යටිකුරු වේ.එපමණක් නොව ප්‍රතිබිමබයේ වම දකුණ ද මාරු වී තිබේ(පාර්ශ්විකව අපවර්තනය වීම).එනිසා අපට පෙනෙන්නේ යටිකුරු ප්‍රතිබිම්බයකි.හැන්දේ පිට පැත්ත උත්තල දර්පණයක් ලෙස ක්‍රියාකරයි.එනිසා එම පැත්තෙන් සෑම විටම උඩුකුරු ප්‍රතිබිම්භ ලැබේ.ප්‍රතිබිම්භ පාර්ශ්විකව අපවර්තනය වී නොමැත. නමුත් මතක තබා ගන්න, හැන්ද භාවිතා කළ යුත්තේ මුහුණ බැලීමට නොව මුළුතැන්ගෙයි කටයුතුවලටය.


18

සිකුරාදා

සතියේ පැනය

මුළුතැන්ගේ ඇති හැන්ද දෙස ළංවී බලන්න(ලෝහමය හැන්දක්). හැන්දේ අවතල පැත්ත බැලූ විට ඔබේ ප්‍රතිබිම්බය උඩුයටිකුරුවී පෙනේවි.හැන්දේ උත්තල පැත්ත බැලූ විට ඔබව හරි පිහිටුමෙන්ම දිස්වේවි. මෙලෙස දිස්වීමට හේතුව ඔබ දන්නවා ද?


17

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මස් මාළුවල ප්‍රෝටීන අධික බැවින් ඒවා ව්‍යාධිජනක බැක්ටීරියා හා දිලීරවල ප්‍රියතම ආපනශාලාවකි(ඔවුන්ට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ බහුල බැවින්). ආහාර පිසීමේ දී, විශේෂයෙන් මස් මාළු පිළියෙල කිරීමේ දී යොදාගන්නා කපන ලෑල්ල,පිහිය,හැදි හොදින් පිරිසිදු නොකර වෙනත් ආහාර සැකසීමට හා පිසින ලද ආහාර පිළිගැන්වීමට යොදා නොගතයුතුය. එවිට එම රෝගකාරකයන් අනෙක් ආහාර ද ආක්‍රමණය කරනු ඇත.


16

බදාදා

අද විදු වදන

ප්ලාස්ටික් කුනුවලට තිත තැබීම සියලු පෘථිවිවාසීන්ගේ උතුම් පැතුමකි.එය ඉටු කිරීමට හැකි බැක්ටීරියා විශේෂයක් පර්යේෂකයන් විසින් සොයා ගෙන තිබේ. Ideonella sakaiensis ලෙස නම් කර ඇති මෙම “පරිසර හිතකාමී වීරයන්” විසින් එන්සයිම 2ක් උපයෝගි කරගෙන පොලිඑතිලින් ටෙරෆ්තලේට් (PET) යන සුලබ ප්ලාස්ටික් වර්ගය ජීර්ණය කරයි.


15

අඟහරුවාදා

අද විදු වදන

ඔබට ගෙවත්තේ ඈතින් ඇති පැළයකට වතුර දැමීමට අවශ්‍ය වූ විට වතුර බටයේ(හෝස්) මුව ඇගිල්ලකින් සුළුවෙන් වසා ගන්නවා නේද? එවිට ජලය වැඩි දුරකට විහිදේ. කරාමයෙන් ජලය ඇතුල්වන ශීඝ්‍ර‍තාව නියත වන අතර එම ශීඝ්‍ර‍තාවයෙන්ම ජලය පිටකිරීමට වතුර බටයේ මුව කටයුතු කළ යුතුය. ප්‍ර‍වාහ ශීඝ්‍ර‍තාව, වතුර බටයේ හරස්කඩ වර්ගඵලය ජලයේ වේගයෙන් ගුණකළවිට ලැබෙන නිසා බටයේ හරස්කඩ වර්ගඵලය අඩුකළ විට ජලයේ වේගය වැඩිවේ. එවිට දුරබැහැර පෙදෙස්වලට ද ජලය ළගා වේ.


14

සඳුදා

සතියේ පැනයට පිළිතුර

බීට්රූට් දම් පැහැ ගන්වන බෙටාසයනින් වර්ණකය(සෛලයේ රික්තක යුෂයේ ඇති) ජල ද්‍රාව්‍ය වේ. කැරට්, තැඹිලි පැහැ ගන්වන බීටා කැරොටින් වර්ණකය(වර්ණලව හා හරිතලවවල ඇත) ජල අද්‍රාව්‍ය වේ. ජලය ධ්‍රැවීය(සැලකිය යුතු ලෙස අණුව තුළ ආරෝපණ වෙන් වීම) බැවින් දියවීමට හැකිවන්නේ වර්ණකය ද ධ්‍රැවීය හෝ ආරෝපිත වුවහොත් පමණි.බෙටාසයනින් ධ්‍රැවීය බැවින් ජලයේ දියවීමට සුදුසුකම් සපුරයි.නමුත් කැරොටින් නිර්ධ්‍රැවීය බැවින් ජලයේ දියනොවේ.


11

සිකුරාදා

සතියේ පැනය

10

බ්‍රහස්පතින්දා

අද විදු වදන

දැල්ලක් තුළින් බැලූවිට පිටුපසින් ඇති ද්‍රව්‍ය බොද වී පෙනෙන බව ඔබ දැක තිබේද? බිය නොවන්න,එය ඔබේ දෘෂ්ටි දෝෂයක් නොවේ.දැල්ල අවට වාතය රත්වීමෙන් ඝනත්වය අඩුවන නිසා එය ඉහළ නගි.එවිට අවට සිසිල්,ඝනත්වයෙන් වැඩි වාතය දැල්ල වෙත ඇදෙයි.එනිසා දැල්ල අවට වාතයේ ඝනත්වය නිරතුරුව වෙනස් වෙයි. පිටුපසින් එන ආලෝකය වෙනස් ඝනත්වයක් ඇති වාතය හමුවේ දී වර්තනය(හැරීමට ලක්වේ) වේ.වාතයේ ඝනත්වය නිරතුරුව වෙනස් වන නිසා වර්තන කෝණය ද වෙනස් වේ. එවිට පිටුපසින් එන ආලෝකය අපේ ඇස හමු වන්නේ විවිධ කෝණවලින් බැවින් පිටුපස ද්‍රව්‍යවල පිහිටීම මාරුවෙන්නාක් මෙන් දිස්වේ.


9

බදාදා

අද විදු වදන

අයිස් ජලයේ දැමූ විට වාතයේ තැබූවිටදීට වඩා ඉක්මණින් දියවන බව ඔබ අත්දැක තිබේද?මෙයට එක් හේතුවක් වන්නේ ද්‍රවයක අංශු, වායුවක අංශුවලට වඩා ළංව ඇසිරී තිබීම නිසා ජලය තුළ තාපය ගලන ශීඝ්‍ර‍තාව වැඩිවීමයි.තවත් හේතුවක් වන්නේ ජලයේ විශිෂ්ට තාප ධාරිතාව විශාල වීමයි.එනම් ජලයේ ඒකක පරිමාවක ගබඩා වී ඇති තාප ප්‍රමාණය වාතයේ ගබඩා වී ඇති තාප ප්‍රමාණයට වඩා වැඩියි.ජලය තාපයෙන් වඩා පොහොසත් නිසා වඩා හොද තාප සැපයුම්කරු ලෙස ක්‍රියාකරයි. එනිසා ද අයිස් ඉක්මණින් දිය කිරීමට ජලයට හැකිවේ.


8

අඟහරුවාදා

අද විදු වදන

ජෛව සන්දීප්තිමත් බැක්ටීරියා(මොවුන්ට ජෛව රසායනික ප්‍රතික්‍රියා මගින් ආලෝකය නිපදවිය හැකිය) යොදා දැන් කඩසාප්පුවල ජනේල ආලෝකමත් කරගෙන තිබේ.මෙම පහන් සාදා ඇත්තේ කොපුවකට ජෛව සන්දීප්තිමත් බැක්ටීරියා හා ඔවුන්ට අවශ්‍ය පෝෂ්‍ය ද්‍රව්‍ය සහිත ජෙලයක් පිරවීමෙනි.විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුව වන්නේ මෙම පරිසර හිතකාරී පහන්වලින් මුළු ලොවම ආලෝකමත් කිරීමයි.


4

සිකුරාදා

අද විදු වදන

ඔබත් ජලාශයකට ගලක් විසි කර එය ජල පෘෂ්ටය මත පනින අයුරු නරඹා තිබේද? විද්‍යාඥයින් ද මෙලෙස ගල් විසි කිරීම ආරම්භ කර ඇත.එයින් ඔවුන් සෙල්ලම් බඩුවල සිට නාවික ආයුධ දක්වා පරාසයක භාණ්ඩ වැඩිදියුණු කිරීමට නව අදහස් ලබාගෙන තිබේ.ගල් මෙලෙස පිනුම් ගසන්නේ කෙසේ ද?ජලයේ ගල ගැටුණු විට එමගින් ගල මත ඉහළට බලයක් යෙදෙන බැවින් ගල ඉහළ යයි. ගලට දැනටමත් තිරස් ප්‍රවේගයක් ඇති බැවින්(අප ගල ඉදිරියට විසි කළ නිසා) එය වක්‍රකාර පථයක ගමන් කර නැවත ජල පෘෂ්ටයේ ගැටේ.ශක්තිය හානි වී, මදි වූ විට ගල පිනුම් ගැසීම නවතියි.


3

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සීත කාලයේ දී කැරට් පැණි රසින් වැඩි වන බව ඔබ දන්නවා ද? ඇලදොළ මිදෙන සීත සමයේ නොමැරී සිටීමට අනුවර්තනයක් ලෙස කැරට්වල සංචිත කාබෝහයිඩ්‍රේට් සීනි බවට පරිවර්තනය කෙරේ.ජල අණු අයිස් බවට පත්වීම සදහා නව බන්ධන සෑදීමට උත්සහ කරද්දී සීනි අණු ජල අණු අතරට පැමිණ එම ක්‍රියාව කඩාකප්පල් කරයි(ජලයේ හිමාංකය පහත හෙළයි). මෙනිසා, කැරට් සෛලවල අයිස් බැදෙන්නැති බැවින් කැරට් නොනැසී පවතියි.


2

බදාදා

අද විදු වදන

ඔබ සිකා වයිරසය ගැන දැනුවත් ද?වයිරසය ප්‍රධාන ලෙස අප්‍රිකාවේ සංසරණය වුව ද මෙය ලෝකය පුරාම ව්‍යාප්ත වීමේ අවදානමක් පවතියි.වයිරසය ඊඩිස් මදුරුවන්ගෙන් (ඩෙංගු වයිරස වාහක මදුරු වර්ගය) සම්ප්‍රේෂණය වේ. රුධිර පාරවිලයනය මගින්, ලිංගික ආශ්‍රය මගින් හා ගැබිනි මවුවරුන්ගෙන් දරුවන්ට යන අවස්ථාවල දී ද වයිරසය සම්ප්‍රේෂණය වන බවට සැකයන් මතුවී තිබේ. රෝග ලක්ෂණ ලෙස උණ, සම ආශ්‍රිත ආසාදන, ඇස් ලෙඩ, පේශි හා සන්ධි ආශ්‍රිත වේදනා හා හිසරදය ඇතිවිය හැකිය.මෙය මාරාන්තික නොවුවද ද අසාමාන්‍ය ලෙස කුඩා වූ හිසක් සහිත දරු උපත් සිදුවීමට හේතුව මෙය බවට සැක කෙරේ.


1

අඟහරුවාදා

අද විදු වදන

ඇන්ටාක්ටිකාවේ රතු දිය ඇල්ලක් ඇති බව ඔබට විශ්වාස කළ හැකි ද? එය රතු පැහැ වන්නේ ඇයි? එම ජලයේ යකඩ බහුල වීම ඊට හේතුවයි. ජලය වාතය හා ගැටුණු විට එහි යකඩ, මලකඩ කා රතු පැල්ලම් අයිස් මත තැන්පත් කරයි(සජල යකඩ ඔක්සයිඩයක් සෑදේ). නමුත් තවත් ගැටලුවක් මතුවේ, ඇන්ටාක්ටිකාවේ ජලය ද්‍රව ලෙස පවතින්නේ කෙසේද?මෙම ජලය අධික ලුනු සාන්ද්‍රණයකින් යුක්තය.ලුනු අංශු ජල අංශු අතරට ගොස් අයිස් සෑදීමේ ක්‍රියාවට බාධාකරන නිසා ජලයේ හිමාංකය පහත යයි.