2016 වසරේ අප්‍රේල් මාසයට අයත් විද්‍යා පණිවුඩ

29

සිකුරාදා

සතියේ පැනය

ගිනියම් හිරුගේ දැවෙන රස්නය නිසා මෙම දිනවල දී නිසැකවම ඔබේ හොඳම මිතුරා විදුලි පංකාවයි. එබැවින් විදුලි පංකාව නිවාදැමූ පසු ද මද වේලාවකට විදුලි පංකාවේ තටු භ්‍රමණය වන බව ඔබ නිරීක්ෂණය කර ඇති. මෙයට හේතුව ඔබ දන්නවා ද?


28

බ්‍රහස්පතින්දා

අද විදු වදන

අපගේ මුඛයේ සමහර බැක්ටීරියා “දන්ත-ආරක්ෂක-හමුදාවක්” ලෙස ක්‍රියාකරන බව විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ. A12 ලෙස හදුන්වන මෙම බැක්ටීරියා මගින් දත් දිරායාම සිදුකරන හානිකර බැක්ටීරියා සමග සටන් කරයි. එමෙන්ම මොවුන් අම්ල(අම්ල මගින් ද දත් දිරායාම සිදුකරයි) උදාසීන කරන “ආගිනයින්” යන ඇමයිනෝ අම්ලය ද නිපදවයි. විද්‍යාඥයන් විසින් දන්තාලේපවලට මෙන්ම චුවින්ගම්වලට ද මෙම බැක්ටීරියා හදුන්වා දෙන දිනක් ඉදිරියේදී උදාවේවි!


27

බදාදා

අද විදු වදන

තෙත් තත්වවලදී ආරක්ෂාකාරීව රිය පැදවීමට හැකිවන්නේ වාහන ටයර්වල කට්ට රටා නිසා බව ඔබ දන්නවා ද? වැසි දිනවල දී, ටයර් හා මාර්ගය අතර ජල ස්ථරයක් ඇතිවීම නිසා ඝර්ෂණය අඩුවේ. එවිට වාහනය ලිස්සීමට ලක්විය හැකිය. නමුත් ටයරයේ කට්ට රටාවක් ඇති විට, ටයරයේ චලිතය මගින්, ජලය, එහි කට්ට ඔස්සේ ගලායෑමට සලස්වා ඉන්පසු ජලය ඉවතට තල්ලු කර දමයි. එවිට ටයරයට නැවත මාර්ගය සමග සම්බන්ධ විය හැකිය.


26

අඟහරුවාදා

අද විදු වදන

නව බෙහෙත් පැළෑටි සොයාගැනීමට අවශ්‍ය වුවහොත්, අති විශාල ශාක සංඛ්‍යාවක් අතරින් අවශ්‍ය ශාකය සොයාගැනීම “පිදුරු ගොඩකින් ඉදිකටුවක් සොයාගැනීම” වැනි අපහසු කාර්යයකි. වාසනාවට, චිම්පන්සින් විසින් එම කාර්යය කර ඇති බව පර්යේෂකයන් විසින් සොයාගන්නා ලදි. Vernonia ගණ නාමය සහිත ශාක, පරපෝෂි උවදුරු සුව කරන චිම්පන්සි බෙහෙතකට උදාහරණයකි.


25

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ශාක මුල්වලට ද ජීවය රැක ගැනීමට ඔක්සිජන් ලබාගත යුතුවේ. මුල් ඔක්සිජන් ලබාගන්නේ පසේ ඇති පාංශු අවකාශවලිනි. අධික වැසි නිසා පාංශු අවකාශ ජලයෙන් පිරෙයි. වාතය පිරි පාංශු අවකාශවලින් ඔක්සිජන් විසරණය වන වේගයට වඩා ජලය හරහා ඔක්සිජන් විසරණය වන වේගය අඩු බැවින් පැළෑටිවල මුල් වලට ඔක්සිජන් සැපයුම අඩාල වේ. තවද තෙත් කාලගුණය ව්‍යාධිජනක බැක්ටීරියා හා දිලීර වර්ධනයට හිතකර බැවින් පැළෑටිවලට එම උවදුරු ද ළගා විය හැකිය.


22

සිකුරාදා

සතියේ පැනය

20

බදාදා

අද විදු වදන

වීදුරුවකින් ජලය වත්කරන ඇතැම් අවස්ථාවල දී ජලය වීදුරුවේ පිටත බිත්ති දිගේ ගලායයි. මෙයට හේතුව ජල අණු, වීදුරු සමග අන්තර් අණුක ආකර්ෂණ බල සෑදීමට මහත් කැමැත්තක් දැක්වීමයි. මෙලෙස ජලය ඉවත ගැලීම මගහැරීමට ජොග්ගුවල විවරයේ  උල් වූ කෙළවරක් සාදා තිබේ. එම කුඩා ඉඩ මතින් ජලය ගලන විට ජලයට වැඩි වේගයක් ලැබේ. එවිට ජලයේ ගම්‍යතාව මගින් ජලය වීදුරුවේ ආකර්ෂණ බලවලි න් මුදාගැනීම නිසා ජලය ඉවතට වැගිරීම වැළකේ.


19

අඟහරුවාදා

අද විදු වදන

සිටගෙන ඔබේ දෑස් වසාගන්න.ඔබේ දෑත් ඉදිරියට විහිදවා ගන්න. දැන් ඔබට දෑත්, පාද , හිස හා කදේ පිහිටුම දැනෙන්නේ කෙසේ ද? පේශි හා සන්ධිවල ඇති සියගණන් ක්ෂුද්‍ර සංවේදක මගින් විවධ ප්‍රමාණයේ ඇදීම් හා තෙරපීම් හදුනාගැනේ. එබැවින් ඔබට ඉරියව්ව ගැන ඇතුළාන්තයෙන්ම අවබෝධයක් ලැබේ.


18

සඳුදා

අද විදු වදන

එකම දිශාවට එකිනෙකට ළංව සමාන්තරව නැව් දෙකක් ගමන් කළහොත් ඒවා ගැටීමට ඉඩ ඇති බව ඔබ දන්නවා ද? නැව් දෙක අතර ඇත්තේ කෙටි පරතරයක් බැවින්, ජලය එම පෙදෙසින් ගමන් කරන විට වැඩි වේගයක් අත්කර ගනියි. බ ’නුලි මූලධර්මයේ දැක්වෙන පරිදි, ජලයේ වේගය වැඩි ස්ථානයක දී ඇති පීඩනය අඩු ය. එබැවින් නැව් දෙක අතර ප්‍රදේශයේ පීඩනය නැව්වල පිටත ප්‍රදේශයේ පීඩනයට වඩා අඩු වේ. එවිට ජලය මගින් නැව් දෙක  මත ඇතුල් දෙසට බල යෙදීම නිසා ඒවා අනතුරකට භාජනය විය හැකිය.


8

සිකුරාදා

අද විදු වදන

ලඟ එන අවුරුදු සමයේදී නිවෙස් වල කැවිළි පෙවිළි  මෙන්ම විවිධ බැදුම් වර්ග පිළියල කිරීමේදී ගෘහණියන් නිතරම ගැඹුරු තෙලේ බැදීම සිදු කරනවා. එහිදී බොහෝ විට තෙල් නැවත නැවත කීප වරක් භාවිතා කරමින් අරපිරිමැස්මෙන් කටයුතු කරනවා. නමුත් ඔබ දන්නවාද එසේ තෙල් නැවත නැවත භාවිතයේදී  අධික උෂ්ණත්වයකට රත්  වීම නිසා මුක්තකණ්ඩක සහ විවිධ විෂ සංයෝග සෑදෙන බව.  ඒවා පිළිකා කාරක මෙන්ම හෘද රෝග සහ වෙනත් ආසාද්මිකතා සදහා ද හේතු වේ.  එම නිසා ගැඹුරු තෙලේ බැඳීමේදී පිරිසිදු පොල්තෙල් භාවිතා කිරීම, අධික උෂ්ණත්වයකට තෙල් රත් නොකිරීම සහ තෙල් වල පැහැය දුර්වර්ණ වී හෝ ඉක්මනින් රත් වී දුම එන්නේ නම් අලුත් තෙල් භාවිතය මගින් වඩා රසවත්ව සහ සෞඛය ආරක්ෂිතව ආහාර පිළියෙල කිරීමට ඔබටත් පුළුවනි.


7

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සමහර ඔරලෝසු මුහුණත්, සෙල්ලම් භාණ්ඩ සහ තීන්ත වර්ග අදුරේ දී දිස්නය දීමට හේතුව ඔබ දන්නවා ද? ෆොස්ෆ’ස් නමින් හැදින්වෙන විශේෂිත ද්‍රව්‍ය මෙම “දීප්තිමත්” කාර්යය සිදුකරයි. මෙම ද්‍රව්‍ය පළමුව දීප්තිමත් එළියකින් නැහැවිය යුතුවේ. ආලෝකයට නිරාවරණය වීමේ දී මෙම ද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝන ආලෝකයේ ශක්තිය උරාගනියි. අදුර වැටුණු විට එම ඉලෙක්ට්‍රෝන තම අතිරික්ත ශක්තිය අඩු තීව්‍රතාවකින් මුක්ත කිරීම නිසා පැය ගණනාවක් දක්වා එම ද්‍රව්‍ය දිස්නය දෙයි.


6

බදාදා

අද විදු වදන

වේගය ඔබට විපත් ගෙනෙයි. විශේෂයෙන්, පොලිස් මහතෙක් ඔබ රිය පැදවූ අධික වේගය අනාවරණය කරගත් විට ඔබට මහත් අන්තරාවක් සිදුවේ. පොලිස්මහතුන් සතු රේඩාර් තුවක්කුව මගින් වාහනයේ වේගය අනාවරණය කරගැනේ. තුවක්කුව මගින් නිශ්චිත සංඛ්‍යාතයකින් යුත් ක්ෂුද්‍ර‍තරංග නිකුත් කරනු ලැබේ. ගමන් කරන වාහනයක එම තරංග ගැටුණු විට ඒවා පරාවර්තනය වන්නේ සංඛ්‍යාතයේ සුළු වෙනසක් සහිතවයි. මෙය ඩොප්ලර් ආචරණය ලෙස හැදින්වේ. උපකරණය මගින් නිකුත් කරන ලද සංඛ්‍යාතය සහ පරාවර්තිත සංඛ්‍යාතය අතර වෙනස උපයෝගි කරගෙන වාහනයේ වේගය ගණනය කරනු ලබයි.


5

අඟහරුවාදා

අද විදු වදන

අලින්හට විශ්මිත ආඝ්‍රාණ හැකියාවක් ඇත.  ඔවුන්ට සැතපුම් කීපයක් ඈත සිටද ජලය ඇති ස්ථාන (මතුපිට ජලය) සොයාගැනීමට තරම් ඉවක් තිබේ. අලින්ගේ නාස් කුහරයේ පිහිටා ඇති මිලියන ගණනක් වූ රසායනික හා ආඝ්‍රාණ ප්‍රතිග්‍රාහක සෛල මගින් ඔවුන්ට මෙම හැකියාව ලැබී ඇත.


4

සඳුදා

සතියේ පැනයට පිළිතුර

වීදුරු බෝතලය පුපුරන්නේ අයිස් වන විට ජලය ප්‍රසාරණය වන බැවිනි. සාමාන්‍යයෙන් ද්‍රව, ඝන බවට පත්වන විට පරිමාවෙන් අඩුවේ.නමුත් ජලය ඊට වඩා වෙනස් අයුරකට ක්‍රියාකරයි. ජලය අයිස් වන විට පරිමාව වැඩි වන බැවින් හොදින් ආවරණය කර ඇති බෝතලයේ බිත්තිවලට දැනෙන පීඩනය වැඩිවේ. බෝතලයට පීඩනය දරාගත නොහැකි වූ විට එය පුපුරා යයි.


1

සිකුරාදා

සතියේ පැනය

ඔබ, ජලයෙන් පුරවා හොදින් වැසූ වීදුරු බෝතලයක් අධිශීතකරණයේ තැබුවේ යැයි සිතමු. ඊලග දවස වන විට බෝතලය පිපිරී තිබීම එහි ප්‍රතිඵලයි. බෝතලය පිපිරීමට හේතුව ඔබට පැහැදිලි කලහැකි ද?