2016 වසරේ මැයි මාසයට අයත් විද්‍යා පණිවුඩ

31

අඟහරුවාදා

අද විදු වදන

කූඩැල්ලෙක් සැපීමෙන් නොනවත්වා රුධිරය වහනය වේ නම් සමහරු පත්තර අළු ස්වල්පයක් එයට දමති. කූඩැල්ලන් හිරුඩින් නම් රුධිරය කැටිගැසීම වළකන එන්සයිමයක් ස්‍රාවය කරයි. පත්තර අළු භාෂ්මික බැවින් හිරුඩින් සමඟ ප්‍රතික්‍රියා කර එහි කාර්යය අඩාල කරයි.


30

සඳුදා

සතියේ පැනයට පිළිතුර

අවිදුර දෘෂ්ටිකත්වයේ දී දුරින් ඇති දේ පෙනීම දුර්වල වේ.එයට හේතුව ඇ‍ස මගින් දුර වස්තුවලින් එන ආලෝකය දෘෂ්ටි විතානයට ඉදිරියෙන් නාභිගත කිරීමයි. ඇසෙහි ආලෝකය අභිසරණය(ළං) කිරීම, අක්ෂි කාචයේ හා ඇසේ පිටතින්ම ඇති ස්වච්ඡයේ රැකියාවයි. ස්වච්ඡය හා ජලය අතර වර්තනාංක වෙනස අඩු බැවින් ස්වච්ඡය මගින් ආලෝකය වර්තනය වීම අඩු වේ. එනම් අභිසරණය අඩු වී දෘෂ්ටි විතානය මත ආලෝකය නාභිගතවීම සිදු වේ. එනිසා ඔවුන්ට දිය යට දී දූරදර්ශී බව ලැබේ.


27

සිකුරාදා

සතියේ පැනය

ඔබ අවිදූර දෘෂ්ටිකත්වය සහිත කෙනෙක් නම් පැහැදිලි ජලය තුළ සිටින විට ඔබේ දුර පෙනීමේ හැකියාව වැඩි වන බව අත්දැක ඇති. දියයට දී මෙලෙස වැඩිපුර “දූරදර්ශී” වන්නේ කෙසේ ද?


26

බ්‍රහස්පතින්දා

අද විදු වදන

වවුලන්, බාහිර පරිසරය ගැන අදහසක් ගන්නේ තමන් නිකුත් කරන ශබ්ද පරාවර්තනයෙන් ලැබෙන ශබ්දවලිනි.මෙම හැකියාව මිනිසුන්ට ද ඇති බව ඔබ දන්නවා ද?මෙම සැඟවුණු කුසලතාව සොයාගෙන ඇත්තේ අන්ධ පුද්ගලයන් විසිනි. ඔවුන් ශබ්ද මත බෙහෙවින් යැපෙන බැවින් ඔවුන් සුපිරි ඇසීමේ හැකියාවක් වර්ධනය කරගනියි.ප්‍රවීණයන් මෙම ක්‍රමයෙන් වටපිටාව පිළිබඳ දැනුම ලබාගන්නා විට මොළයේ දෘෂ්ටියට අදාළ පෙදෙස සක්‍රිය වන බැවින් මෙය දෘෂ්ටියට හොඳ ආදේශනයක් වේ.


25

බදාදා

අද විදු වදන

හොඳ වී බොල් වීවලින් වෙන්කරගැනීමට ජලය උපයෝගි කරගත හැකි බව ඔබ දන්නවා ද?ජලයට වී දැමූ විට බොල් වී පාවෙන අතර හොඳ වී ගිලේ.මෙය පැහැදිලි කරන්නට සමත් භෞතික විද්‍යා පාඩම ඔබට මතක් වුනා ද?එය ආකිමිඩිස් ඉදිරිපත් කළ ඉපිලුම් නියමයයි. වස්තුවක බර,වස්තුවේ මුළු පරිමාවට සම තරල පරිමාවේ බරට වඩා වැඩි නම් වස්තුව ගිලේ. නැත්නම් වස්තුව පාවේ.බොල් වී වලට එහි බරට සමාන ජල පරිමාවක් විස්ථාපනය කළ හැකි නිසා ඒවා පාවේ.


24

අඟහරුවාදා

අද විදු වදන

දුඹුරු බිත්තර සුදු බිත්තරවලට වඩා පෝෂ්‍යදායක බව සාමාන්‍ය පිළිගැනීමයි. නමුත් කටුවෙන් බිත්තරේ මනින්න එපා! පර්යේෂණ අනුව හෙළි වී ඇත්තේ බිත්තර වර්ග 2හිම පෝෂණ ගුණය සමාන බවයි. කිකිළියන් එකම ආහාර කන තාක් බිත්තර 2හිම එකම ගුණේ ඇති බව වර්තමාන පිළිගැනීමයි.එසේනම් වැඩි මිලට දුඹුරු බිත්තර ගන්නේ ඇයි?


23

සඳුදා

සතියේ පැනයට පිළිතුර

තෙත ඇඳුම් වේලීමේ දී සිදුවන්නේ එහි ජලය, තාපය උරාගෙන වාෂ්ප වීම යන තාපඅවශෝෂක ක්‍රියාවයි. ගල්, රළු හා අඳුරු පැහැ බැවින් හොඳින් සූර්ය තාපය උරාගෙන රත්වේ. ඇඳුම, සූර්ය තාපයට අමතරව ගල මුක්ත කරන තාපය ද උරාගෙන ඉක්මණින් වේලෙයි.නමුත් තණකොළ එලෙස රත්නොවන බැවින් ඇඳුමට ලැබෙන තාපය අඩුවේ. මීට අමතරව තණකොළ උත්ස්වේදනයෙන් ජල වාෂ්ප නිදහස් කරන බැවින්(පාරදෘශ්‍ය පොලිතින් තණකොළ මත තැබූ විට එහි ජල වාෂ්ප රැඳෙන අයුරු නිරීක්ෂණය කළ හැකිවේ.) ඇඳුම නැවත මදක් තෙත් වේ.


20

සිකුරාදා

සතියේ පැනය

19

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මෙම දිනවල ඇති ගංවතුර තත්වයට මුහුණ දියයුතු අයුර ගැන දැනුවත් වෙමු.ගංවතුර තර්ජනයක් ඇති වූ විට ප්‍රධාන විදුලි සැපයුම විසන්ධි කර ඉක්මණින් ආරක්ෂිත ස්ථානයකට යා යුතුය. තෙත් වූ විදුලි උපාංග ස්පර්ශ නොකළ යුතුවේ.හානියට පත් වූ විදුලි රැහැන්,පාලම්,ගොඩනැගිලි ආදියෙන් ප්‍රවේශම් වීම,අපවිත්‍ර වී ඇති ජලය පානය නොකිරීම ආදි පියවර ගත යුතුවේ.වාහන ධාවනයේ දී ගංවතුර තත්වයකට හසුවුවහොත් වාහනය අත්හැර හෝ උස්බිමකට යා යුතුවේ.


18

බදාදා

අද විදු වදන

ගෙම්බන්,මත්ස්‍යයන් සහිත වැසි වසිනා බව ඔබ අසා තිබෙනවා ද? පියාසර කළ නොහැකි මොවුන් අහසෙන් කඩාපාත්වන්නේ කෙසේ ද? මෙය සිදුවන්නේ ටෝනේඩෝවක් ජලාශයක් මතින් ගමන් කළවිට දීය(පෙර දිනක අපි ටෝනේඩෝව හඳුනාගතිමු).ඇතැම් විට මෙම ටෝනේඩෝ මගින් එහි ගමන් පථයේ සිටින සතුන් ඉහළට ඇදගනියි.තද සුළං මගින් ඔවුන් ඈතට ගෙනගොස් අත්හරින විට සත්ව වැස්සක් වසියි.


17

අඟහරුවාදා

අද විදු වදන

අපගේ කෙත්වතුවලට විදුලිය ද නිපදවීමට හැකිවේ නම් එය කෙතරම් අගනේ ද?මෙය සිදුකිරීමට ශාක-ක්ෂුද්‍ර ජීවි ඉන්ධන කෝෂයක් උපයෝගි වේ. ක්ෂුද්‍ර ජීවින් ශාක මුල් පිටකරන කාබනික ද්‍රව්‍ය වියෝජනය කරන විට, බහිස්‍රාවී ද්‍රව්‍ය ලෙස ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන නිදහස් කරයි. මෙම කෝෂය ඒවා එක්රැස් කර විදුලිය නිපදවයි.මෙම කෝෂ දැනටමත්  සමහර ගොඩනැගිලි සදහා විදුලිය නිපදවන අතර හැකි ඉක්මණින් කුඹුරුවලට ද හදුන්වා දීම විද්‍යාඥයන්ගේ අපේක්ෂාවයි.


16

සඳුදා

සතියේ පැනයට පිළිතුර

අකුණක් පොළවට වැදුණු විට(උදා-උස ගසකට) එම ස්ථානයේ සිට පොළව දිගේ සෑම දිශාවකටම ධාරාව ගලා යයි.  අප දන්නා පරිදි ධාරාවක් යම් ස්ථානයක සිට වෙනත් ස්ථානයකට ගලන්නේ විභවයේ වෙනසක්(විභව අන්තරයක්) ඇති විටයි. ධාරාව ගලන මාර්ගයේ යම් ලක්ෂ්‍යයක සිට ඈතට යත්ම, ලක්ෂ්‍ය 2 අතර විභව අන්තරය වැඩි වේ. ගවයාගේ පූර්ව හා අපර ගාත්‍රා අතර දුර, මිනිසාගේ පාද අතර දුරට වඩා සැලකිය යුතු ලෙස වැඩිය.එනිසා ගවයාගේ පූර්ව හා අපර ගාත්‍රා අතර සැලකිය යුතු තරම් විශාල විභව අන්තරයක් තිබීම නිසා ගවයා තුළින් ධාරාවක් ගලයි. ගවයාගේ ප්‍රතිරෝධය නියත බැවින් විභව අන්තරය වැඩිවන තරමට ධාරාව වැඩිවේ.


13

සිකුරාදා

සතියේ පැනය

මිනිසුන් සහ ගවයන් සිටින විවෘත පිට්ටනියකට අකුණක් වැදුණහොත්, එම අකුණ නිසා වක්‍රාකාරව අකුණු සැර වැදීමට වැඩි අවධානමක් ඇත්තේ ගවයන්ටය.මෙයට හේතුව ඔබ දන්නවා ද?


12

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මිනිසුන් ප්ලාස්ටික් භාවිතයට ඇබ්බැහි වී ඇත.නමුත් විද්‍යාඥයෝ එය අවම කිරීමට වෙහෙසෙති. එහි ප්‍රතිඵලයක් ලෙස ළඟදීම අපට ප්ලාස්ටික්වලින් තොර පලතුරු ඇසුරුම් භාවිතා කළ හැකිවේවි.මෙය සිල්ක්වල ඇති ෆිබ්‍රොයින් යන ප්‍රෝටීනයෙන් සෑදූ, කෑමට ද හැකි ආවරණයකි.මෙම ඇසට නොපෙනෙන තරම් තුනී ආවරණය මගින් පලතුරු සතියකටත් වඩා නැවුම්ව තබාගත හැකිවේ.හේතුව එය පලතුරේ ශ්වසනය අඩාල කිරීමයි.


11

බදාදා

අද විදු වදන

ළඟ දී අප රටේ දී ද ඇතිවූ ටොනේඩෝ, පිටරටවලට තරමක් සමීප අත්දැකීමක් වුවද අපේ රටට නුහුරු අත්දැකීමකි. මේවා සැදෙන අයුරු ඔබ දන්නවා ද? අකුණු කුණාටුවක දී, රත්වූ  වාතය ඉහළ යාමට උත්සහ කළද ඇතැම් විට ඝනත්වයෙන් වැඩි සිසිල් වාතය හෝ වේගය වෙනස් වාතය එයට බාධාකරයි.එවිට රත්වූ වාත ස්ථරය හරස් අතට ඇති සිලින්ඩරයක් ලෙස සැකසී භ්‍රමණය වීමට පටන් ගනියි.මෙයට තවත් උණුසුම් වාතය එක් වූ විට උඩු අතට තල්ලුව වැඩි වීම නිසා වාත කඳ සිරස්වී විශාල වැහි වළාව සමඟ එක්වී ටොනේඩෝව සදයි.


10

අඟහරුවාදා

අද විදු වදන

සාගරවල සිදුවන අවාසනාවන්ත තෙල් කාන්දු වීම් නිසා මුහුදු ජීවීන්ගේ ජීවිත අවදානමට ලක්වේ. මෙයට අපූර්ව ස්වභාවික විසදුමක් ලබාදීමට වල් පැළෑටි කාණ්ඩයක් වන milkweed සමත් වේ. මෙහි බීජ ආවරණය කරන කොපුව සෑදී ඇති කෙඳි ජලභීතික(ජලය විකර්ෂණය කරයි) වන අතර හොඳින් තෙල් උරාගනියි. එබැවින් කාන්දු වූ තෙල් කාර්යක්ෂමව උරාගැනීමට මෙම කෙඳිවලින් සැදූ මෙවලම් සාදා ඇත. මේවා දැනටමත් කැනඩාවේ කුඩා තෙල් ඉහිරුම් පිරිසිදු කිරීමට යොදා තිබේ.


9

සඳුදා

සතියේ පැනයට පිළිතුර

බෝතලය ඇසට හිස් ලෙස පෙනුන ද ඇත්ත එය නොවේ. බෝතලය සම්පූර්ණයෙන්ම වාතයෙන් පිරී ඇත. උණු ජලයේ උෂ්ණත්වය වාතයේ උෂ්ණත්වයට වඩා වැඩි හෙයින් උණු ජලයේ සිට වාතයට තාපය සංක්‍රමණය වේ. මෙම ක්‍රියාවලිය සංවෘත පද්ධතියක නියත පීඩනයේ දී සිදුවන බැවින් වැඩිවූ උෂ්ණත්වය මගින් වාතය ප්‍රසාරණයට ලක්වේ(පරිමාව වැඩිවේ).මෙනිසා බැලුම පිම්බේ. නමුත් සිසිල් ජලයට දැමූවිට මෙහි විරුද්ධ ක්‍රියාව සිදුවේ.එවිට වාතයෙන් තාපය පිටවී සංකෝචනය වන නිසා බැලුම හැකිලේ.


6

සිකුරාදා

සතියේ පැනය

ඔබ වීදුරු බෝතලයක විවරය බැලුමකින් වසා එය උණු ජල බදුනකට දැමූ විට බැලූනය පිම්බේ.එම බෝතලය සිසිල් ජල බදුනකට දැමූවිට බැලූනය හැකිලේ.මෙයට හේතුව ඔබ දන්නවා ද?


5

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සමහර මිනිසුන් ඇණ ගැසූ ලෑලි මත නිරුපද්‍රිතව දිගාවන්නේ කෙසේ ද? ඔවුන් දසමහා යෝධයන්ගෙන් පැවත ගෙන එන්නන් ද? නැත. එය පෙනෙන තරම් මාරාන්තික නැත. පුද්ගලයෙක් එක් ඇණයක් මත සිටියහොත් එය හානිකර වේ.නමුත් මෙහි උපක්‍රමය වන්නේ ඇණ විශාල සංඛ්‍යාවක් ළංව ඇසිරීමයි. එවිට පුද්ගලයාගේ බර, ඇණ එක්වී සාදන විශාල පෘෂ්ඨ වර්ගඵලය මත බෙදී යාම නිසා ඇණ මගින් පුද්ගලයා මත යොදන පීඩනය අඩුවේ.එවිට සිදුවන හානිය අඩුවේ. මේවා පළපුරුදු පුද්ගලයන් විසින් සිදුකරන බැවින් අත්හදා බැලීමෙන් වළකින්න.


4

බදාදා

අද විදු වදන

ඉලාස්ටික් පටියක් ඇද්ද විට එය මැදින් සිහින් වේ.නමුත් “අනුවර්තක ප්‍රෝටීන ස්ඵටික” අමුතු අයුරට ක්රිමයාකරයි. එය ඇදීමට ලක්කළ විට එම දිශාවට ලම්භ දිශාවට පළලින් වැඩිවන අතර තෙරපීමට ලක්කළ හොත් ඊට ලම්භ දිශාවට පළලින් අඩුවේ.මෙම හැකියා ලැබී ඇත්තේ මෙහි ප්‍රෝටීන බැඳ තබන නම්‍යශීලී බන්ධන මගිනි. මෙම ද්‍ර‍ව්‍යය මගින් වෙඩි උණ්ඩ වැදුණු විට ශක්තිමත් වන ආරක්ෂක ඇදුම් සෑදිය හැකිවේ.


3

අඟහරුවාදා

අද විදු වදන

ඩොල්ෆින්ලා හට තම එක් එක් සාමාජිකයාගේ කටහඩ කිලෝමීටර 25ක් ඈත සිට ද හදුනාගත හැකි බව ඔබ දන්නවා ද? ඔවුන් සංඛ්‍යාත කීපයක් සහිත ශබ්ද තරංග නිකුත් කර තමන් නිකුත් කරන උස් සංඛ්‍යාත සහිත ශබ්ද තරංගවල විසිරී යාම වළකාගැනීමට ක්‍රමයක් සොයාගෙන තිබේ. මෙය ආදර්ශයට ගෙන සෑදූ දිය යට භූ කම්පන වාර්තා කරන සංවේදකයක් සුනාමි අනතුරු ඇඟවීමේ සංඥා ලබාදීමට ඉන්දියන් සාගරය පුරාම යොදාගෙන ඇත.


2

සඳුදා

සතියේ පැනයට පිළිතුර

භ්‍රමණ චලිතයේ යෙදෙන වස්තුන්(මේවාට භ්‍රමණ චාලක ශක්තියක් ඇත) භ්‍රමණය දිගටම පවත්වා ගැනීමට නැඹුරුතාවක් දක්වයි(මෙය භ්‍රමණ අවස්ථිතිය ලෙස හදුන්වයි). එබැවින් විදුලි පංකාවේ තටු ද දිගටම භ්‍රමණය වීමට උත්සහ කරයි. නමුත් වායු ප්‍රතිරෝධය හා විදුලි පංකාවේ කොටස් ඇතිකරන ඝර්ෂණය නිසා භ්‍රමණ චාලක ශක්තිය හීනවේ. එයට හේතුව ඉහත සාධක මගින් තටුවල භ්‍රමණ දිශාවට විරුද්ධ දිශාවට ව්‍යාවර්තයක්(කරකැවීමක් සිදුකිරීමට බලපෑමක්)  ඇතිකිරීමයි. ඉහත ව්‍යාවර්තය ඇති නොවූයේ නම් තටු සදහටම භ්‍රමණය වනු ඇත!