2016 වසරේ ජූනි මාසයට අයත් විද්‍යා පණිවුඩ

30

බ්‍රහස්පතින්දා

අද විදු වදන

හොඳින් බැලූ විට, සොබාදහම අපගේ ගැටලුවලට විසදුම්වලින් පිරි ඇති බව ඔබට පසක් වේවි. එක් වගාකරුවෙකු පිඟන් මැටිවලින් සෑදූ මල් බදුන්වල අධික මිල හා එහි කැඩුම් සිදුවීමේ වැඩි හැකියාව පිළිබද නොසතුටට පත් ව සිටියේය. ඉන්පසු ඔහුගේ නෙත ගැටුණු දෙය නව සොයාගැනීමකට මග පෑදීය.ඔහු දුටුවේ දිරායන ශාක පත්‍ර‍යක එකිනෙක බැදුණු දෘඩස්ථර(දැඩි බව ලබා දෙන ශාක පටක)  සැකිල්ල මගින් පත්‍රය ශක්තිමත් කරන බවයි.එම සැකිල්ල ආදර්ශයට ගෙන ඔහුට මිල අඩු,වඩා ශක්තිමත් මල් බදුන් සැකසිය හැකිවිය.


29

බදාදා

අද විදු වදන

ජලය හොඳ ද්‍රාවකයක් බව අපි දනිමු. නමුත් සිමෙන්තිවලට ජලය යොදන්නේ සිමෙන්ති දිය කිරීමට නොව ඝන කිරීමටයි. එහි දි ජලය සිමෙන්තිවල ඇති සංඝටක සමහරක් සමඟ ප්‍රතික්‍රියා කර ජලයේ අද්‍රාව්‍ය හයිඩ්‍රේට සාදයි(ප්‍රධාන ලෙස කැල්සියම් සිලිකේට් හයිඩ්‍රේට්).මෙය ජලයේ සජලන ප්‍රතික්‍රියාවකට නිදසුනකි.මෙම හයිඩ්‍රේට කොන්ක්‍රිට් මිශ්‍රණයේ හිඩැස් පුරවා මිශ්‍රණය එකට බැඳ තබයි.


28

අඟහරුවාදා

අද විදු වදන

සමහර උරගයින්ගේ ලිංගය තීරණය කරනුයේ උෂ්ණත්වය බව ඔබට විශ්වාස කළ හැකි ද? කලල අවධියේ තීරණාත්මක කාල පරාසයක් තුළ  දී ලැබෙන උෂ්ණත්වය මගින් ඔවුන්ගේ ලිංගය තීරණය වේ. කටුස්සන් යොදා කරන ලද පර්යේෂණයක දී අඩු උෂ්ණත්වවල දී ඇරොමටේස් එන්සයිමයෙන් ටෙස්ටොස්ටෙරොන්(පුරුෂ ලක්ෂණ දෙයි) ඊස්ට්‍රඩියෝල්(ස්ත්‍රි ලක්ෂණ දෙයි) බවට පරිවර්තනය කරන බව අනාවරණය වී තිබේ.එබැවින් කටුස්සන් සලකන විට අඩු උෂ්ණත්වවල දී ගැහැණු සතුන් ද වැඩි උෂ්ණත්වවලදී පිරිමි සතුන් ද උපදියි.


27

සඳුදා

සතියේ පැනයට පිළිතුර

සෑම වස්තුවක්ම යම් සංඛ්‍යාතයක් දී ස්වභාවිකවම ප්‍ර‍බල ලෙස කම්පනය වේ. අනුනාදය ලෙස හැදින්වෙන මෙම සංසිද්ධිය එම සංඛ්‍යාතයේ හඩ වර්ධනය කරයි. වයලීනයේ ධ්වනි පෙට්ටියේ එක් කෘත්‍යයක් වන්නේ එලෙස අනුනාදයෙන් ස්වර අලංකාර කිරීමයි.ධ්වනි පෙට්ටියේ බද හා එතුළ ඇති වා කද වෙනස් සංඛ්‍යාතවල දී අනුනාද වේ. මෙනිසා සමහර සංඛ්‍යාත පරාසවල දී නැගෙන හඩ, වඩා ආකර්ෂණීය වේ. ධ්වනි පෙට්ටියේ තවත් කෘත්‍යයක් වන්නේ විශාල පෘෂ්ඨ වර්ගඵලයක් සහිත නිසා කාර්යක්ෂමව වැඩි වායු කලාපයකට හඩ සම්ප්‍රේෂණය කිරීමයි.


24

සිකුරාදා

සතියේ පැනය

23

බ්‍රහස්පතින්දා

අද විදු වදන

බල්ලෙකු(ඕනෑම ක්ෂීරපායියෙකු) සපා කෑ විට ඉතා ඉක්මණින් ප්‍රතිකාර ලබා දිය යුත්තේ මාරාන්තික ජලභීතිකා වයිරසය ශරීරගත වියහැකි බැවිනි. සබන් හා ගලන ජලයෙන් තුවාලය හොඳින් සේදීම එවැනි විටක ලබාදිය හැකි හොඳම ප්‍රථමාධාරයයි. සබන් මගින් ජලභීතිකා වයිරසයේ පිටත පෘෂ්ටයේ පිහිටන නෙරුම්වලට හානි පමුණුවයි.නෙරුම් නොමැති විට ජලභීතිකා වයිරසය ආසාදනය අඩාල වේ.


22

බදාදා

අද විදු වදන

චොකලට්වල ගලායෑමේ හැකියාව වැඩි කිරීමට යම් මේද ප්‍රමාණයක් භාවිතා කළ ද දැන් මේද-රහිත ක්‍රමයක් සොයාගෙන තිබේ.එහි දී විද්‍යුත් ක්ෂේත්‍රයක් භාවිතා කෙරේ.මෙම සොයාගැනීම විදුලිය මගින් තරලවල ගතිලක්ෂණ වෙනස් කිරීම(විද්‍යුත් ස්‍රැති විද්‍යාව) යන අංශය ආශ්‍රිත පර්යේෂණවල ප්‍රතිඵලයකි. මේ සඳහා විද්‍යුත් ක්ෂේත්‍රයක් ද්‍රව චොකලට් ගලන දිශාවට යොමු කළ යුතුය.එවිට චොකලට්හි දුස්ස්‍රාවීතාව(උකුබව) අඩුවන බැවින් ගලායාම පහසු වේ. මෙම ක්‍රමයෙන් චොකලට්වල මේද ප්‍රතිශතය 20%කින් අඩු කෙරේ.


21

අඟහරුවාදා

අද විදු වදන

පෙර දිනක අප පැවසූ සමනල පියාපත් අනුකරණයෙන් සෑදූ “මිරාසොල්” පරිගණක තිරයන් ගැන ඔබට මතක ද? නැවත වරක් සමනල පියාපත් අනුකරණයට විද්‍යාඥයන් පෙළඹී තිබේ. මේවා මත පතනය වන ආලෝකය විවිධ දිශා ඔස්සේ පරාවර්තනය වී නිරෝධනයට ලක්වේ.මෙම සැකැස්ම භාවිතා කර වඩා වේගවත් හා ශක්තිමත්  “ආලෝකය මගින් දත්ත සම්ප්‍රේෂණය කරන” පරිගණක කොටස් නිපදවීමට හැකිවේ.නව ද්‍රව්‍යය ආලෝකයේ හැසිරීම පාලනය කරන බැවින් ආලෝක සංඥා අනුව ලැබෙන දත්ත පරිගණක පරිපථයක දී ආලෝකයේ වේගයෙන් සම්ප්‍රේෂණයට හැකිවේ.


20

සඳුදා

සතියේ පැනයට පිළිතුර

මුහුදු ජලයේ ලුණු සාන්ද්‍රණය අධික නිසා ක්ෂීරපායින්ට පානයට සුදුසු නොවේ. එබැවින් මුහුදු ක්ෂීරපායීන් මුහුදු ජලය පානය කරනුයේ කලාතුරකිනි. එසේනම් ඔවුන් ජලය ලබාගන්නේ කෙසේ ද? එක් ක්‍රමයක් වන්නේ සිරුරේ කාබෝහයිඩ්‍රේට හා මේදය ඔක්සිකරණය කිරීමෙන් නිපදවෙන ජලය ලබාගැනීමයි. තව ද සමහර මුහුදු ක්ෂීරපායීන් ජල ප්‍රතිශතය 60%-80% තරම් ඉහළ මත්ස්‍ය ආහාර වේලකට හුරු වීමෙන් ජල අවශ්‍යතාව අවම කරගෙන ඇත.මීට අමතරව මොවුන්ගේ වකුගඩුවල ජලය ප්‍රතිශෝෂණය කරන හෙන්ලේ පුඩුව නම් කොටස දිගින් වැඩි වීම නිසා ජලය සිරුරෙන් පිටවීම ද අවම වේ.


17

සිකුරාදා

සතියේ පැනය

16

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ජලය පානයට සුදුසු දැයි සලකන එක් මිනුමක් වන්නේ ජලයේ pH අගයයි.(pH ජලයේ ආම්ලිකතාව පිළිබඳ මිනුමකි.pH අගය 7ට අඩු ද්‍රාවණ ආම්ලික වන අතර pH අගය 7ට වැඩි ඒවා භාෂ්මික වේ.) සාමාන්‍යයෙන් pH අගය 6.5-8.5 ගන්නා ජලය පමණක් පානයට සුදුසු යැයි සැලකේ. ඉතා අඩු pH සහිත ජලයේ විෂ බැර ලෝහ දියවන බැවින් සිරුරට විෂ ලෝහ ඇතුල් වීමේ හැකියාව වැඩි වේ. තව ද ආන්තික pH අගයන් සහිත ජලය නිසා අක්ෂි ,සමේ හා ආමාශයාන්ත්‍රික පීඩා ද ඇතිවිය හැකිය.


15

බදාදා

අද විදු වදන

අප කැලිකසල හැකි ඉක්මණින් ඉවත් කිරීමට පෙළඹෙමු.නමුත් අප සිරුර නිපදවන අපද්‍රව්‍ය වර්ගයක් වන CO2 ඉවත් කිරීමට හදිසි නොවන්න. CO2 සිරුරට උපකාරි වන්නේ මෙලෙසයි.CO2 රුධිරයේ දියවී කාබනික් අම්ලය සාදා pH අඩු කරයි. pH අඩු (ආම්ලික)  තත්වවලදී හිමොග්ලොබින්වලට බැඳුණු ඔක්සිජන්, සෛලවලට නිදහස් කිරීම පහසු වේ.එනිසා සෛලවලට හොදින් O2 සැපයේ. එමෙන්ම CO2 මගින් රුධිර නාලිකා විස්තාරණය(විශාල) කිරීම නිසා රුධිර සංසරණය කාර්යක්ෂම වේ.


14

අඟහරුවාදා

අද විදු වදන

කටුක කාන්තාර ජීවීතයට ඇති අපූරු අනුවර්තන නිසා ඔටුවන්“කාන්තාරයේ නෞකාවන්” වෙති. ඔවුන්ගේ ඝනකම් ලොම් වැස්ම මගින් හිරු කිරණ පරාවර්තනය කර අධික උණුසුමෙන් ඔවුන් ආරක්ෂා කෙරේ.ඔවුන්ගේ දිගු පාද, ගිනියම් පොළවෙන් හැකි තරම් ඈතින් සිරුර පවත්වා ගැනීමට උපකාරි වේ. පැතලි, පුළුල්ව විහිදුණු පාද මගින් වැල්ලේ එරීම වළකයි. පුළුල් පාදවල විශාල වර්ගඵලය මගින් සිරුරේ බර පතුරවා පොළවට යොදන පීඩනය අඩු කරයි.එමනිසා ඔවුන්ට වැල්ලේ නොඑරී ගමනේ යා හැකි වේ.


13

සඳුදා

සතියේ පැනයට පිළිතුර

වතුර බෝතලයේ ජල කඳ ඇති කරන පීඩනයට වඩා වායුගෝලීය පීඩනය වැඩි වේ. එනිසා “ග්ලග්” ශබ්දයක් නගමින් වායු බුබුලක් බෝතලය තුළින් ඉහළට ගමන් කරන අතර එමගින් ජලය විස්ථාපනය වේ. වායු බුබුල බෝතලයේ ඉහළ වායු කලාපයක් ඇති කරයි.මුලින් ඇතුළත වායු පීඩනය හා ජල කඳේ පීඩනයේ එකතුව, බාහිර වායුගෝල පීඩනයට වැඩි නිසා පහළට ඇති බලය වැඩි වී ජලය ඉවත් වේ.එවිට වායු කලාපයේ පරිමාව වැඩි වන බැවින් පීඩනය අඩු වේ. එනිසා පහළට යෙදෙන බලය අඩු වී ජලය ඉවත් වීම නැවතේ. දැන් බාහිර වායුගෝලීය පීඩනය වැඩි බැවින් නැවතත් වායු බුබුලක් බෝතලයට ඇතුල් වේ. බෝතලය හිස් වන තෙක් ඉහත ක්‍රියාවලිය සිදුවේ.


10

සිකුරාදා

සතියේ පැනය

ජලයෙන් පිරුණු බෝතලයක් සම්පූර්ණයෙන්ම මුනින් අතට හරවා හිස් කිරීමේ දී ජලය අඛණ්ඩව ඉවතට ගලා නොයයි. ජලය කොටස් වශයෙන් “ගුලු ගුලු” ශබ්දයක් ද ඇති කරමින් ඉවත් වේ. මෙයට හේතුව ඔබ දන්නවා ද?


9

බ්‍රහස්පතින්දා

අද විදු වදන

අතු කැබලි සිටුවීමේ දී ශාක දණ්ඩ තියුණු පිහියකින් ආනතියකට කැපීම යෝග්‍ය වේ. තියුණු කැපීමකින් සෛලවලට වන හානිය අඩුවේ. හරස් අතට වඩා ආනතියට කැපූ විට මුල් ඇදීමට කෙළවර ඇති වර්ගඵලය වැඩිය. බඳුන්වල දමන මල්වල දණ්ඩ කැපිය යුත්තේ ද ආනතියකට ය.එවිට වඩාත් විශාල ශෛලම වාහිනි විවරයක් ඇති වන බැවින් මලට හොඳ ජල සැපයුමක් ලැබේ.


8

බදාදා

අද විදු වදන

හදිසි අවස්ථාවක දී හැකි ඉක්මණින් තුවාල කරුවන් රෝහල් වෙත ගෙනයාමට අපි උත්සහ කරන්නෙමු. නමුත් වැරදි ආකාරයෙන් රෝගියා රැගෙන ගියහොත් ඔහු කබලෙන් ලිපට වැටේ. හේතුව නම්, සිදුව ඇති අස්ථි බිඳුම්වලට බලපෑම් සිදුවුවහොත් ඒවා ආශ්‍රිත ස්නායු හා පේශිවලට ද හානි සිදුවීමයි. එබැවින් බිඳුනු අස්ථිවලට ආධාරකයක් ලෙස, දැඩි ද්‍රව්‍යයක්(උදා-ලී කැබැල්ලක්) මත තබා රෝගියා රැගෙන යාම සුදුසු වේ.


7

අඟහරුවාදා

අද විදු වදන

විදුලි පංකාව වේගයෙන් භ්‍රමණය වන විට එහි තල වෙන් වෙන්ව නොපෙනෙන්නේ ඇයි?මොළයේ නියුරෝනවලට පූර්ණ ලෙස තොරතුරු පරිවර්තනයට මිලි තත්පර 100පමණ ගතවීම මෙයට හේතුවයි.මෙම කාල පරාසයට වඩා ඉක්මණින් සිදුවන ආලෝක වෙනස්කම් පැහැදිලිව හඳුනාගැනීම මොළයට නොහැකි වේ. චලනය වන වස්තුවක නව ප්‍රතිබිම්භ සමඟ කලින් හඳුනාගන්නා ලද ප්‍රතිබිම්භ ද සංයෝජනය කර, මොළය දර්ශනවල හිඩැස් පුරවයි.මෙනිසා විදුලි පංකා තල අපැහැදිලි වේ.


6

සඳුදා

සතියේ පැනයට පිළිතුර

රතු-කොළ වර්ණ අන්ධතාව ඇතිකරන ජානය, X ලිංග වර්ණදේහයට ප්‍රතිබද්ධ වී (බැඳී) ඇති නිලීන ඇලීලයකින් සමන්විතය. නිලීන ඇලීලය ප්‍රමුඛ ඇලීලයක් සමඟ යුගල් වුවහොත් නිලීන ඇලීලය යටපත් වේ. කාන්තාවන්ට X ලිංග වර්ණදේහ දෙකක් ඇති බැවින් එම දෘෂ්ටිය ලැබීමට නම් වර්ණදේහ දෙකෙහිම නිලීන ජානය තිබිය යුතුය. නමුත් පිරිමින්ට ඇත්තේ තනි X ලිංග වර්ණදේහයක් පමණක් නිසා( අනෙක් ලිංග වර්ණදේහය y වේ) රතු-කොළ වර්ණ අන්ධතාව ඇතිවීමට එක් නිලීන ඇලීලයක් තිබීම ප්‍රමාණවත්ය.එබැවින් කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින්ට රතු-කොළ වර්ණ අන්ධතාව ඇතිවේ .


3

සිකුරාදා

සතියේ පැනය

2

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ගිනි නිවීමට ශබ්දය භාවිතා කළ හැකි බව ඔබ දන්නවා ද? ඔබට මැවෙන්නේ ගිනි නිවන හමුදා භටයන් ගින්න නිවීමට ගින්නට කෑගසන අයුරක් ද? සිදුවී ඇත්තේ අඩු සංඛ්‍යාතයක් සහිත තරංග යොමුකිරීම මගින් කුඩා ප්‍රමාණයේ තෙල් ගිනි නිවන උපකරණයක් නිපදවා තිබීමයි. ශබ්ද තරංග යාන්ත්‍රික තරංග විශේෂයක් බැවින් ප්‍රචාරණය වන මාධ්‍යය වන වාතය කම්පනයට බදුන් කරයි. එවිට වායු ප්‍රවේගය වැඩි වීම නිසා ගින්නට බාධා වේ. එවිට දාහ්‍ය ද්‍රව්‍ය ඈත් වීම නිසා ගින්නේ උෂ්ණත්වය පහත ගොස් ගින්න නිවේ.


1

බදාදා

අද විදු වදන

උණ හැදුන විටක දී ජලය වැඩිපුර පානයට උපදෙස් දෙයි. බොහෝ විට උණත් සමඟ වමනය, කැස්ස,පාචනය ආදි රෝග ලක්ෂණ ඇති වේ. දිගින් දිගට කහින විට මුඛය වැඩි වේලාවක් වාතයට නිරාවරණය වන බැවින් වැඩි ජල ප්‍රමාණයක් වාෂ්ප ලෙසට ඉවත් වේ. වමනය හා පාචනය මඟින් ද බොහෝ ජල ප්‍රමාණයක් සිරුරෙන් ඉවත් වේ. මෙලෙස සිරුරෙන් ජලය ඉවත් වීම විජලනයට අත වනයි. එබැවින් නිතර ජලය පානය සුදුසු වේ.