2016 වසරේ ජූලි මාසයට අයත් විද්‍යා පණිවුඩ

29

සිකුරාදා

සතියේ පැනය

28

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඍණ ආරෝපිත ප්‍රෝටෝන හා ධන ආරෝපිත ඉලෙක්ට්‍රෝන විශ්වයේ තිබෙනවා ඇති ද?විද්‍යාඥයින්ට අනුව “මහා පිපිරුමෙන්” පසුව පදාර්ථ සමගම මෙවැනි “ප්‍රති-පදාර්ථ” ද ඇතිවී තිබේ. ප්‍රති-පදාර්ථවල, ප්‍රති-ඉලෙක්ට්‍රෝන (පොසිට්‍රෝන) ධන ආරෝපිත ඉලෙක්ට්‍රෝන ද ප්‍රති-ප්‍රෝටෝන ඍණ ආරෝපිත ප්‍රෝටෝන ද ලෙස ක්‍රියාකරයි.විද්‍යාඥයන්ට ප්‍රති-පදාර්ථ නිපදවිමට හැකිවී තිබේ! ප්‍රති-පදාර්ථ හා පදාර්ථ එකට මුණගැසුණ හොත් එම අංශු ශක්තිය මුදාහරිමින් විනාශ වී යයි. අනාගතයේදී එම ශක්තියෙන් පණ ගැන්වූ අභ්‍යවකාශ යානා සෑදීම විද්‍යාඥයින්ගේ අදහසයි.


27

බදාදා

අද විදු වදන

ඇලස්කාව වසන්ත ඍතුවේ උච්චත්වයේ දී දිනකට පැය 19ක පමණ හිරුඑළිය ප්‍රීීතියෙන් භුක්තිවිඳියි.එබැවින් ඇලස්කාවේ වගාකරුවන්ට අති විශාල එළවළු වගාකළ හැකිවේ. අතිරේකව හිරුඑළිය ලැබෙන හෝරාවන් නිසා ශාක ඉතා දිගු වේලාවක් ප්‍රභාසංස්ලේෂණය කරයි. එවිට නිපදවෙන අධික සීනි ප්‍රමාණය පසුව පිෂ්ටය බවට පරිවර්තනය වී ගබඩා වන බැවින් ඇලස්කාවේ එළවළු සුවිසල් වේ.


26

අඟහරුවාදා

අද විදු වදන

ඇතැම් අවස්ථාවල දී දැවැන්ත හිරුගේ විශාලත්වයටම සඳ දිස්වන්නේ කෙසේ ද? හිරුගේ විෂ්කම්භය සඳ මෙන් 400 ගුණයක් පමණ වේ. නමුත් හිරු සඳුට වඩා 400 ගුණයක් පමණ පෘථිවියට ඈතින් පිහිටයි. එබැවින් සඳට හිරුගේ විශාලත්වයෙන්ම දිස්වීමට හැකිවේ. සඳ තම කක්ෂයේ ගමන් කරන ඇතැම් විට පෘථිවියට තවත් සමීප වේ.මෙවිට හිරුටත් වඩා විශාලව අපට දිස්වේ.


25

සඳුදා

සතියේ පැනයට පිළිතුර

කඩදාසි බහුලවම සමන්විත වන්නේ සෙලියුලෝස් තන්තුවලිනි. සෙලියුලෝස්වල අන්තර් අණුක හයිඩ්‍රජන් බන්ධන මෙන්ම අන්තඃ අණුක හයිඩ්‍රජන් බන්ධන ද පවතියි.මෙම බන්ධන මගින් සෙලියුලෝස් තන්තු එකට බැඳ තබන අතර එක් එක් සෙලියුලෝස් තන්තුවට දෘඪ බවක් ගෙනෙයි.ජලය මගින් සෙලියුලෝස් – සෙලියුලෝස් හයිඩ්‍රජන් බන්ධන බිඳ සෙලියුලෝස්- ජල හයිඩ්‍රජන් බන්ධන සදයි. එබැවින් කඩදාසිය වැනෙන සුළු වීම හා ඉක්මණින් කැඩී යාම සිදුවේ.


22

සිකුරාදා

සතියේ පැනය

කුඩයක් නැති දිනක වැස්සට හසුවීම දුකට කරුණකි. පොත්පත් තෙමුණු පසු ඉරන්නේ නැතිව පිටුවක් පෙරළීම ද අභියෝගයකි. මෙලෙස තෙත කඩදාසි වියළි කඩදාසිවලට වඩා පහසුවෙන් ඉරෙන්නේ ඇයි?


21

බ්‍රහස්පතින්දා

අද විදු වදන

විද්‍යාඥයින්ගේ නවතම නිපැයුම වන ලොව විශාලතම වායු පිරිසිදු කිරීමේ උපකරණය වායු දූෂක අල්ලාගෙන ඒවා ආභරණ බවට ද පත්කරයි!මෙහි දී දූවිලි අංශු දඩයම් කිරීම සඳහා ධන ආරෝපිත අංශු වාතයට නිකුත් කෙරේ.ධන ආරෝපිත අංශු ඉතා සියුම් වායු දූෂකවලට ද බැඳේ. එවිට උපකරණයේ ඍණ ආරෝපිත තහඩුවට මෙම ධන ආරෝපිත අංශු හා බැඳුණු දූවිලි අංශු රොක්වේ.ඉන්පසු මෙම දූවිලි අංශු(කාබන් අඩංගු) සම්පීඩනයට ලක්කර මුදු වැනි ආභරණවලට යෙදිය හැකි කුඩා, විසිතුරු “මිණි කැට” නිර්මාණය කරනු ලැබේ.


20

බදාදා

අද විදු වදන

ආහාරවලට මන බඳිනා සුවඳ ගෙනෙන කහ,කුරුඳු,ගම්මිරිස්,සුදුළූණු, එනසාල් ආදි කුළුබඩුවල සැඟවුණු ගුණයන් බොහෝය.ඒවා පිළිකා සෛල හඳුනාගෙන විනාශ කරන අතර කොලෙස්ටරෝල්,දියවැඩියාව,මානසික ආතතිය,අධි රුධිර පීඩනය හා ඇදුම ද සුව කිරීමට උපකාරිවේ.එමෙන්ම කුළුබඩු සුවඳ අපේ මොළයේ සෛල උත්තේජනය කරන නිසා අපගේ මතකය වර්ධනය වේ.කුළුබඩුවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් ඉතා උණු ආහාරවලට නොයෙදිය යුත්තේ එවිට ඒවායේ වාෂ්පශීලි සංයෝග ඉවත් වන බැවිනි.


18

සඳුදා

සතියේ පැනයට පිළිතුර

කෙස් ගසක් තම දිවිය තුළ දී අවධි 3ක් පසු කරයි.ඒවා “ඇනජන්”(anagen),”කැටජන්”( catagen) හා “ටෙලජන්”(telogen) නම් වේ. ඇනජන් අවධියේ දී කෙස් වේගවත්ව වර්ධනය වේ. කැටජන් හි දී වර්ධනය අඩාල වී ටෙලජන් අවධියේ දී වර්ධනය ඇණ හිටියි. ඉන්පසු කෙස් ගස හැලීයයි.හිසකෙස්වල ඇනජන් අවධිය අවුරුදු 2-7 ක් පමණ පැවතුණ ද ඇහිබැමි හා ඇහිපිහාටුවල පවතින්නේ මාසයක් වැනි සුළු කාලයකි.එබැවින් ඇහිබැමි හා ඇහිපිහාටුවලට හිසකෙස් තරම් දික්වීමට ප්‍රමාණවත් කාලයක් නොලැබේ.


15

සිකුරාදා

සතියේ පැනය

අපට කරණවෑමියාගෙන් කොණ්ඩය කපා ගැනීමට අමතක වුවහොත් හිසකෙස් බිම ගෑවෙන තෙක් දික් වීමට ඉඩ තිබේ. නමුත් ඇහි බැම හා ඇහි පිහාටු කිසි දිනක එතරම් දික් නොවන බව අපට සහතිකය. එසේ වන්නේ ඇයි?


14

බ්‍රහස්පතින්දා

අද විදු වදන

අප අළුත් දෙයක් ඉගෙනගන්නා විට මොළයේ කුමක් සිදුවේ ද? එවිට නියුරෝන අතර නව සම්බන්ධතා ඇතිවීම හරහා මොළයේ අදාළ කොටස්වල නව පරිපථ නිර්මාණය වේ. මෙලෙස අලුත සෑදුන පරිපථ, තමන් ලැබූ අත්දැකීමේ “විද්‍යුත් ඇඟිලි සලකුණ” ලෙස ක්‍රියාකරයි. මතකය ආවර්ජනය කරන විට සිදුවන්නේ සෑදුණු පරිපථ නැවත සක්‍රිය කිරීම මගින් අත්දැකීම් යළි සිහිකරදීමයි.


13

බදාදා

අද විදු වදන

දෙබර විශේෂයක් විසින් කැරපොත්තන්ගේ “මොළයේ ශල්‍යකර්ම” සිදු කරන බව ඔබ අසා තිබේ ද? Jewel wasp යන දෙබර විශේෂය කැරපොත්තන්ගේ මොළයේ නියමිත ස්ථානවලට “සිත් පාලනය කරන” විෂ නිකුත් කර ඔවුන් යටත් කරගනියි. ඔවුන්ට ඇති නම්‍යශීලී විෂ විදින අවයවයේ විශේෂිත සංවේදක මගින් කැරපොත්තාගේ මොළයේ අවශ්‍ය ස්ථානයට ඔවුන් ළඟා වී තිබේ දැයි දැනගන්නට හැකිවේ! මොවුන්ට නෑදෑකම් කියන වෙනත් දෙබර විශේෂයක්(wood-boring wasp) භාවිතා කරන නම්‍යශීලී විෂ විදිනයක් අනුකරණයෙන් වඩා නිරවද්‍යව මොළයේ ශල්‍යකර්ම කළ හැකි උපකරණයක් ද සාදා තිබේ.


12

අඟහරුවාදා

අද විදු වදන

මදුරුවන් නොමරා ඩෙංගු උවදුර පාලනය කළ හැකි ද?මෙන්න එයට පර්යේෂකයන්ගෙන් විසඳුමක්! මදුරුවන් තුළ ඩෙංගු වෛරසය ගුණනය වීම වලකන වොල්බාකියා(Wolbachia) බැක්ටීරියාව, ඩෙංගු වාහක මදුරුවන්ට ඇතුල් කළවිට ඔවුහු ඩෙංගු සම්ප්‍රේෂණය නොකරති.ක්‍රමවත්ව, බැක්ටීරියා සහිත මදුරුවන් පරිසරයට යොමු කිරීමෙන්, ඔවුන්ගේ ඉදිරි පරම්පරාවලට ද බැක්ටීරියාව දායාද වේ.


11

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ජලය දෘශ්‍ය පරාසයේ රතු, තැඹිලි වර්ණ අවශෝෂණය කරන බැවින් සයුරු දිය නිල් පැහැගැන්වේ. නමුත් රළ බිඳෙන විට සැදෙන කුඩා ජල බිඳුවල පරිමාව අඩු බැවින් ආලෝකය අවශෝෂණය අඩාල වේ. එමෙන්ම දෘශ්‍ය ආලෝකය ජල බිඳිත්තක් තුලින් ගමන් කරන විට ආලෝකයේ තරංග ආයාමවල විවිධත්වය හේතුවෙන් එය විවිධ කෝණ ඔස්සේ විසිරී යයි. මෙහි දී කුඩා ඉඩක දී එවැනි විසිරීම් රාශියක් සිදුවීම නිසා විසිරී ගිය විවිධ තරංග ආයාම සහිත ආලෝක නැවත එක් වී සුදු ආලෝකය සදයි


8

සිකුරාදා

සතියේ පැනය

සුළගේ ආධාරය ද ඇතිව මුහුද මගින් තේජාන්විතව නිල් පැහැති රළ අහසට නංවයි. නමුත් ගුරුත්වය හමුවේ පහළට කඩා වැටෙන රළ සුදු පැහැ වේ. මුහුදු රළ කැඩෙන විට සුදු පැහැ වීමට හේතුව කුමක් ද?


7

බ්‍රහස්පතින්දා

අද විදු වදන

කොන්ක්‍රීට්වලට ජීවය මුසු කිරීමෙන් ගොඩනැගිලි පැලුම් තනිවම සුව කරගැනීමට හැකියාව ලැබී තිබේ. මෙම සුව කිරීමට හුනුගල් නිපදවන බැක්ටීරියාවන් හා ඔවුන්ගේ ආහාර ප්‍රභවය කොන්ක්‍රීට් මිශ්‍රණයට යොදා තිබේ. පැල්මක දී ජලය ඇතුල් වී බැක්ටීරියාවන් අවදි කරයි.ජලය හා ආහාර යොදාගෙන මෙම බැක්ටීරියා මගින් CaCO3 නිපදවා පැල්ම පුරවනු ලැබේ.


5

අඟහරුවාදා

අද විදු වදන

මී මැස්සන්ට ඇත්තේ පැණියෙන් ඉතිරෙන ජීවිතයකි. පැණි පුරවා ඇති “මාලිගාව” ලෙස හැඳින්විය හැකි මීවදය විද්‍යාඥයින්ගේ නෙත ගැටුණේ එහි ෂඩස්‍රාකාර හැඩැති කුටීර හේතුවෙනි. ෂඩාස්‍රාකාර සැකැස්මේ ඇති හිඩැස් නිසා සැහැල්ලු බව ද එහි විශේෂ ජ්‍යාමිතිය නිසා ශක්තිමත් බව ද මී වදයට ලැබී ඇත.මෙම ලක්ෂණ නිසා ඇතැම් අභ්‍යවකාශ යානා කොටස් සැදීමට ෂඩස්‍රාකාර හැඩය අනුකරණයෙන් සැදූ ද්‍රව්‍ය යොදාගැනේ.


4

සඳුදා

සතියේ පැනයට පිළිතුර

පොසිල විවිධ ආකාරවලට සෑදුන ද වඩාත් සුලබ ලෙස පොසිල සැදෙන්නේ, ජීවියා ජලාශ්‍රිත පරිසරයක රොන්මඩවලින් යටවී ඇති විටදීය. මුලින් මෘදු පටක දිරාපත් වී අස්ථි හෝ කවච ඉතිරි කරයි. ඉන්පසු කාලයත් සමග ජීවි දේහය මත තැන්පත් වන රොන්බොර අධික පීඩනයට ලක් වී අවසාදිත පාෂාණ සදයි.ජලයේ දියවී ඇති ඛනිජ පාෂාණය තුළින් කාන්දු වී දේහයේ කුහරමය පෙදෙස්වල ස්ඵටිකීකරණය වේ.එවිට ජීවියාගේ ඝන අච්චුවක් අවසාදිත පාෂාණය තුළ නිර්මාණය වේ.


1

සිකුරාදා

සතියේ පැනය