2016 වසරේ අගෝස්තු මාසයට අයත් විද්‍යා පණිවුඩ

31

බදාදා

අද විදු වදන

කූඹියෙකු ඕනෑම උසකින් වැටුණ ද මිය යන්නේ නැති බව ඔබ දන්නවාද?එයට හේතුව කූඹියා මාරාන්තික වේගයකින් පතිත වීම වායු ප්‍රතිරෝධය මඟින් වැළකීමයි. වායු ප්‍රතිරෝධය වස්තුවේ වේගය සමඟ වැඩිවේ. යම් අවස්ථාවක දී වස්තුවේ වේගය ඇතිකරන ප්‍රතිරෝධී බලය වස්තුවේ බරට සමාන වේ.එවිට වස්තුවේ ත්වරණය ශුන්‍ය වී වස්තුව ඒකාකාර ප්‍රවේගයකින් වැටේ.කූඹියාගේ බර ඉතා කුඩා බැවින් අවශ්‍ය ප්‍රතිරෝධී බලය කුඩා වන අතර ඉක්මණින් එම බලය ලැබේ.මෙනිසා කූඹියාට සුවපහසු වේගයකින් බිම පතිත විය හැකිවේ.


30

අඟහරුවාදා

අද විදු වදන

ෆෝටෝනයකට සූර්යයාගේ පෘෂ්ඨයේ සිට පෘථිවියට ඒමට ගත වන්නේ විනාඩි 8ක් පමණි.නමුත් සූර්යයාගේ මධ්‍යයේ සිට සූර්ය පෘෂ්ඨයට පැමිණීම සඳහා වසර දහස් ගණනක්( වසර 10,000 -170,000 ) ගතවේ! මෙයට හේතුව හිරුගේ ආරෝපිත අංශු සමග ෆෝටෝනය ගැටීම් බිලියනයක් පමණ සිදුකිරීම නිසා විවිධ දිශාවලට හැරීම සිදුවීමයි.


29

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ඇපටයිට්වල ශාකවලට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් වන පොස්පරස් අඩංගුය.නමුත් ශාකවලට අවශෝෂණය කළ හැක්කේ ජලයේ දියවූ පොස්පරස් පමණි.ඇපටයිට්වල ජල ද්‍රාව්‍යතාව ඉතා කුඩා බැවින් ජලයේ පොස්පරස් දියවන විට කෙටි කාලීන බෝග තම ජීවන චක්‍රය සම්පූර්ණ කර අවසන්ය.එබැවින් දිගු කාලීන බෝගවලට පමණක් ප්‍රයෝජන ලබාගැනීමට හැකිවේ. ඇපටයිට් ජල ද්‍රාව්‍ය කිරීමට ප්‍රබල අම්ල සමඟ ප්‍රතික්‍රියා කොට සුපර් පොස්පේට් පොහොර නිපදවනු ලැබේ.


26

සිකුරාදා

සතියේ පැනය

25

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මොසැම්බික් රාජ්‍යයේ වසන “ මී පැණි නියමුවන්”(honeyguide bird) කුරුලු විශේෂය(විද්‍යාත්මක නාමය-Indicator indicator) ස්වදේශික දඩයම්කරුවන් සමග සන්නිවේදනය කර මී වදවලට පාර කියයි. මිනිසුන් හා මෙම කුරුල්ලන් විසින් මේ සඳහා සුවිශේෂී ශබ්ද යොදාගැනේ. මෙම කුරුලු විශේෂය මී වදයේ ඉටි කොටස කෑමට දැඩි රුචියක් දක්වන බැවින් එය ලබා ගැනීමට මිනිසුන් හා සන්නිවේදනයට පරිණාමය වී ඇත.කෑමකට තිබෙන ආසාවක් ගිය දුර!


24

බදාදා

අද විදු වදන

ගැමා කිරණවලින් ශක්තිය අවශෝෂණය කර ආහාර නිෂ්පාදනය කිරීමට ඇතැම් දිලීර අනුවර්තනය වී තිබේ.මෙම ක්‍රියාවලිය ප්‍රභාසංස්ලේෂණයට විකල්පයකි. අප සමේ වර්ණකය වන මෙලනින් මගින් මෙය සිදුකෙරේ! මෙම දිලීර ජාන ශාකවලට හඳුන්වාදීමෙන් වෙනත් ග්‍රහලෝකවල වන වගාවට ඉඩ ලැබෙනු ඇත!(අභ්‍යවකාශයේ විකිරණ අධික නිසා)


23

අඟහරුවාදා

අද විදු වදන

හිරුගේ චුම්භක ධ්‍රැව වසර 11කට වරක් මාරු වන බව ඔබ දන්නවා ද? හිරුගේ චුම්භක ක්ෂේත්‍රය දුර්වල වී,ශුන්‍යත්වයට පත් වී ප්‍රතිවිරුද්ධ ධ්‍රැවවලින් නැවත මතුවේ.නමුත් මෙම සුවිසල් සංසිද්ධියෙන් අපගේ එදිනෙදා කටයුතුවලට බාධාවක් නොමැත.


22

සඳුදා

සතියේ පැනයට පිළිතුර

දෙපයින් ඇවිදීම සංකීර්ණ කාර්යයක් බැවින් අනෙක් ක්ෂීරපායින්ට පසුව මිනිස් දරුවන්ට ඇවිදින බව බොහෝදෙනාගේ අදහසයි.නමුත් එය ප්‍රධාන හේතුව නොවේ. ඇවිදීම සඳහා මොළයේ චලනය බාර පෙදෙස පරිණත විය යුතුය. නමුත් මිනිස් දරුවන්ට අනෙක් ක්ෂීරපායින්ට සාපේක්ෂව අපරිණත මොළයක් ඇත.අප වඩා විශාල මොළයක් සහිතව උපදින්නේ නැත්තේ ඇයි?හේතුව මව්වරුන්ට “මොළකාර” දරුවන්ට අවශ්‍ය විශාල පෝෂණය සැපයීම අපහසු වීමය. දෙපයින් ඇවිදීමට පරිණාමය වීම නිසා මවගේ ප්‍රසුත මාර්ගය පටු වී ඇත. එවිට ද විශාල මොළැති දරුවන් බිහිකිරීම අපහසුවේ.


19

සිකුරාදා

සතියේ පැනය

අශ්වයන්,ගවයන්,මුවන්,ජිරාෆයන් වැනි බොහෝ ක්ෂීරපායීන් උපතට පැය කිහිපයකින් පසු ඇවිදීමට පටන් ගනියි.නමුත් මිනිසුන්ට ඇවිදීම සඳහා අවුරුද්දක් පමණ ගතවන්නේ ඇයි?


18

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ලෝකේ ජීවත් වන්නට ඕසෝන් ස්ථරය ද ඕනෑ වේ.එබැවින් එය බිඳදමන සංඝටක තහනම් කිරීමට රටවල් ගණනාවක් කටයුතු කළහ.නවතම නිරීක්ෂණ අනුව එම ක්‍රියාකලාපය නිසා ඕසෝන් වියනේ සිදුර සුව වීමට පටන් ගෙන තිබේ! මෙලෙස මිනිසා සිදුකළ පෙර වැරදි නිවැරදි කිරීමට හැකිවීම ඉතා වාසනාවන්ත තත්වයකි. නමුත් පරිසර හිතකාමී ක්‍රියාකලාප දිගටම පවත්වා ගැනීමට අමතක නොකළ යුතුය.


16

අඟහරුවාදා

අද විදු වදන

අංකුර සෑදුණ, කොළ පැහැ ගැන්වුණු අර්තාපල් විෂ සහිත බව ඔබ දන්නවා ද?මෙයට හේතුව සොලනයින් නම් විෂ රසායනික ද්‍රව්‍යයි.ආලෝකයට නිරාවරණය වූ විට අර්තාපල්වල සොලනයින් ප්‍රමාණය වේගයෙන් වැඩිවේ.අංකුර මුළුමනින්ම ඉවත් කිරීමෙන් එය භාවිතයට තරමක් සුදුසු වේ.නමුත් පොත්ත හා ආශ්‍රිත පෙදෙස් කොළ පැහැ වී තිබේ නම් එය තම කෑම පිඟානට එක් නොකරන්න.


15

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ගුරුත්වාකර්ෂණය මගින් පෑනේ තීන්ත එහි තුඩේ බෝලය වෙතට තල්ලු කරයි. කඩදාසියේ ලියනවිට බෝලය කැරකී තීන්ත දෙයි.නමුත් අභ්‍යවකාශයේ ගුරුත්වය හීන බවක් දක්නට ලැබෙන නිසා බෝල්පොයින්ට් පෑන් නොලියවේ.එනිසා සමහර ගගනගාමීන් පැන්සල් භාවිත කිරීමට පෙළඹුනි.නමුත් පැන්සලේ මිනිරන් අංශු ගගනගාමීන්ට හා උපකරණවලට හානිකර විය හැකි බැවින් “අභ්‍යවකාශ පෑන” නිපදවීමට සිදුවිය.මෙහි සිරකර ඇති නයිට්‍රජන් වායුව මගින් තීන්ත පීඩනයට ලක්කරන නිසා පෑනේ ක්‍රියාකාරිත්වයට ගුරුත්වය අවශ්‍ය නොවේ.


12

සිකුරාදා

සතියේ පැනය

ගගනගාමීහු තම අත්දැකීම් ලිවීමට උත්සුක වෙති. නමුත් අභ්‍යවකාශයේ දී බෝල්පොයින්ට් පෑනක් අතැතිව ඔවුන් දකින ලොව විස්තර කිරීමට නොහැකිය. අභ්‍යවකාශයේ දී සාමාන්‍ය බෝල් පොයින්ට් පෑන් ලියනොවෙන්නේ ඇයි?


11

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මෙලොවේ දී අප කිසිදිනක තනි නොවේ. හේතුව හැමවිට බැක්ටීරියා සාගරයක් අපව වටකර සිටීමයි! නමුත් මොවුන් සමහරක් ළඟ සිටීම ඇඟට ගුණ නැත. විශේෂයෙන් ශල්‍ය උපකරණ මත සිටින බැක්ටීරියා නිසා රෝගින්ට ආසාදන සිදුවිය හැකිය.නමුත් බැක්ටීරියා ප්‍රතිරෝධී බහුඅවයවකයක් සොයාගැනීමත් සමඟ එම ගැටලුව අවම වේ.මෙම ද්‍රව්‍යයෙන් ආවරණය කරන ලද උපකරණ මතට සවි වීමට බැක්ටීරියාවන්ට නොහැකි වේ.


10

බදාදා

අද විදු වදන

සුනඛයන්ට ඇති කදිම ආඝ්‍රාණ හැකියාව නිසා බෝම්බ හඳුනාගැනීමට ද ඔවුන් උපකාරි වේ.නව පර්යේෂණ මගින් ඔවුන්ට පිළිකා හඳුනාගැනීමට ද හැකිබව සොයාගෙන තිබේ. එබැවින් ඔවුන් පුරස්ථ ග්‍රන්ථි පිළිකා හඳුනාගැනීමේ සද්කාර්යයට අතගසා තිබේ. පුහුණුව ලැබූ සුනඛයෝ, මූත්‍රා සාම්පල ඉව කිරීමෙන් පුරස්ථ ග්‍රන්ථි පිළිකා තිබේ දැයි හඳුනාගනිති. ඔවුන්ට 93%ක නිරවද්‍යතාවකින් රෝගය විනිශ්චය කිරීමට හැකිව තිබේ.


9

අඟහරුවාදා

අද විදු වදන

පෘථිවිය භ්‍රමණය වීමට හේතුව කුමක් ද? වසර බිලියන 4.6කට පමණ පෙර පෘථිවිය සෑදී ඇත්තේ භ්‍රමණය වන වායු ස්කන්ධයකිනි. බාහිර ව්‍යාවර්තයක් ක්‍රියානොකරන තාක් භ්‍රමණය වන වස්තු භ්‍රමණ චලිතයේ යෙදේ. අභ්‍යවකාශයේ ඝර්ෂණ බල හා අනෙක් ප්‍රතිරෝධි බල ඉතා කුඩා බැවින් පෘථිවිය තවමත් භ්‍රමණය වේ.මතුවටත් භ්‍රමණය වේවි.


8

සඳුදා

සතියේ පැනයට පිළිතුර

තුවාලයක් සුව වීම සදහා පළමුව ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් තුවාල පෙදෙස ඉදිමීමට ලක්කර ආසාදනයන් වළකයි.ඉන්පසු නව පටක වර්ධනය වේ. දියවැඩියාව ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කර ආසාදනවලට මග පාදයි.එමෙන්ම පටක වර්ධනයට හොඳ ඔක්සිජන් හා පෝෂ්‍ය සැපයුමක් අවශ්‍ය වේ.නමුත් ග්ලූකෝස් නිසා රුධිර වාහිනි පටු වීම සිදුවීමෙන් රුධිර සංසරණය අඩාල වේ. එවිට පටක වර්ධනය අඩාල වේ. දියවැඩියාව මගින් ස්නායුවල සංවේදිතාව අඩු කරන බැවින් තුවාල බරපතල වන තෙක් බොහෝදෙනා තුවාලය ගැන නොදැනුවත්ය. මෙම සියලු ගැටලුවලින් බේරීමට සිදුකළ යුත්තේ නැණවත්ව ආහාර ගැනීම පමණි.


5

සිකුරාදා

සතියේ පැනය

4

බ්‍රහස්පතින්දා

අද විදු වදන

බහුකාර්ය රොබෝ හස්තයක් අලියෙකුගේ හොඩවැලක් අනුකරණයෙන් නිර්මාණය කර තිබේ.මෙම හස්තයට අලියාගේ හොඩවැල මෙන් ඕනෑම දිශාවක් ඔස්සේ විහිදුවා වස්තූන් ග්‍රහණය කිරීමේ හැකියාව ඇත. විවිධ චලනයන් සිදුකිරීමට හැකියාව ලැබී ඇත්තේ හස්තයේ අභ්‍යන්තර වායු කුටීරවලට වෙන වෙනම වායු පිරවීමෙනි. මෙයින් බිත්තරයක් වුවද ග්‍රහණය කර කුඩා ඉඩක හැසිරවීමට හැකිවේ. මෙයින් ආබාධිතයින්ට උපකාර කිරීම හා කර්මාන්ත ශාලාවල එකලස් කිරීමේ කටයුතු සිදුකළ හැකිවේ.


3

බදාදා

අද විදු වදන

ජලය අපට ජීවය දෙයි. නමුත් අපිරිසිදු ජලය ජීවය නසයි. එනිසා පිරිසිදු ජලය ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. ආලෝක අවශෝෂක ග්‍රැෆින් ඔක්සයිඩ් ස්තරයක් ඇති නැනෝ ද්‍රව්‍යයක් මගින් ජලය ලාභදායිව පිරිසිදු කිරීමට හැකියාව ලැබී ඇත. සූර්යාලෝකයෙන් අඩුවක් නැති රටවලට, මෙම ද්‍රව්‍යයෙන් පෙරීමට ලක් වී වාෂ්පීකරණය වන පිරිසිදු ජලය එක්රැස් කරගත හැකිවේ.


2

අඟහරුවාදා

අද විදු වදන

අප මියගිය පසු ද අපගේ අවයවවලට වෙන කෙනෙකුට පණ දීමට හැකිවීම ආශ්චර්යයක් නොවේ ද?නමුත් අවයව බද්ධ කිරීමේ දී මතුවන ප්‍රධාන ගැටලුවක් වන්නේ ශල්‍යකර්මය තෙක් අවයව නිරෝගිව තබාගැනීමයි.සාම්ප්‍රදායික ක්‍රමයේදී “අයිස් පෙට්ටියක” අවයව තැබුවද “organ care system” නම් නව උපකරණය රුධිර සැපයුමක් මගින් දායක අවයව ක්‍රියාකාරී ලෙස තබාගනියි.පැරණි ක්‍රමයෙන් උපරිම පැය 3-4ක් පමණක් දායක අවයව නිරෝගිව පැවතුණ ද නව ක්‍රමයෙන් පැය 8ක් වත් තැබිය හැකිවේ.එමෙන්ම මෙම ක්‍රමයේ දී අවයව ක්‍රියාකාරි දැයි දැකිය හැකිවේ(උදා-හෘදය ස්පන්දනය ද පෙනේ).


1

සඳුදා

සතියේ පැනයට පිළිතුර

වැස්ස බිංදු ලෙස වැටීමට(එකම ජල පහරක් ලෙස නොවැටීමට) පළමු හේතුව වන්නේ වැහි වළාකුළු කුඩා ජල බිඳිතිවලින් සෑදී තිබීමයි(වලාකුල ජල ටැංකියක් නොවේ).මෙම ජල බිඳිති වාතයට වඩා සැහැල්ලුය.මේවා දූවිලි අංශු මතට ඝනීභවනය වූ විට ඒවා බරින් වැඩි වී වැහි බිඳු ලෙස වැටේ.වැටෙන අතරතුර වැහි බිඳු එකිනෙක ගැටීමෙන් තවදුරටත් කුඩා බිඳිතිවලට කැඩීම හෝ විශාල බිඳුවක් බවට පත්වීම සිදුවිය හැකිය.වැස්ස බිඳු ලෙස වැටීමට දෙවැනි හේතුව වන්නේ වායු ප්‍රතිරෝධය මගින් විශාල බිඳු කුඩා බිඳිතිවලට නැවත කඩා දැමීමයි.එබැවින් ජල බිඳුවලට දිගින් දිගටම විශාල වී දියඇල්ලක් මෙන් කඩා හැලීමට නොහැකිවේ.