2016 වසරේ සැප්තැම්බර් මාසයට අයත් විද්‍යා පණිවුඩ

30

සිකුරාදා

සතියේ පැනය

29

බ්‍රහස්පතින්දා

අද විදු වදන

හැඩය වෙනස් කරන ද්‍රව්‍යවල ක්‍රියාකාරිත්වයට සාමාන්‍යයෙන් උත්තේජයක්(ආලෝකය,උෂ්ණත්වය) අවශ්‍ය වේ. එබැවින් අපට පාලනයක් නොමැති පරිසරවල දී(මිනිස් සිරුර,අභ්‍යවකාශය) එ්වා ප්‍රායෝගික නොවේ. එබැවින් විද්‍යාඥයින් “වේලාවට වැඩ කරන“ ද්‍රව්‍යයක් සාදා තිබේ! මෙහි ඇති ස්ථිර බන්ධන මගින් අවසාන හැඩය ද තාවකාලික බන්ධන මගින් හැඩය ලබාදීමට වැයවන කාලය ද තීරණය වේ.මෙමගින් සිරුරට බද්ධ කරන කොටස් “නවා“ ශල්‍යකර්මයෙන් පසු හැඩය වෙනස්වීමට සැලැස්වුවහොත් ශල්‍යකර්ම කුඩා කරගත හැකිවේ.


28

බදාදා

අද විදු වදන

වනාන්තරවල සැඟවුණු අතීත ශිෂ්ටාචාරවල තතු සොයාගැනීම ඉතා අපහසු කාර්යයකි. “ලයිඩාර්‘(Lidar – light detection and ranging) යන නවතම තාක්ෂණය මගින් බොහෝ ඉක්මනින් නෂ්ටාවශේෂ සොයාගැනීමට හැකිවී තිබේ. මෙහි දී ගුවන්යානා මගින් ලෙසර් නිකුත්කරන අතර ඒවා වනාන්තර විනිවිද යයි. ලේසර් පරාවර්තනයෙන් ලැබෙන දත්ත මගින් වනයේ පිහිටි නටඹුන් සිතියම් ගත කෙරේ. මෙම ක්‍රමයෙන් මෙක්සිකෝවේ වර්ග කිලෝමීටර 13 ක් සිතියම් ගතකිරීමට පුරාවිද්‍යාඥයින්ට ගතවූයේ විනාඩි 45ක් පමණි.


27

අඟහරුවාදා

අද විදු වදන

කලාමැදිරියන්ගේ සිරුරේ ඇති කුඩා, රළු නෙරුම් නිසා ඔවුන් නිපදවන ආලෝකයේ දීප්තිය වැඩි වේ.විද්‍යාඥයින් විසින් එම සැකැස්ම LED බල්බවල පිටත පෘෂ්ටයට යෙදීමෙන් දීප්තිය 55%කින් වැඩිකර ගෙන තිබේ.


26

සඳුදා

සතියේ පැනයට පිළිතුර

පිහිනුම් තටාකවල බැක්ටීරියා ඉවත් කිරීමට ක්ලෝරීන් යොදනු ලැබේ. ක්ලෝරීන් හා ජලය මගින් “ස්නේහස්‍රාවී තරලය“(හිසකෙස්වල ස්වභාවික ලිහිසිකාරකය) ඉවත් කර හිසකෙස්වල උච්චර්මය(පිට කොටස) පලුදු කිරීම නිසා හිසකෙස් වියලීම හා හානිවීම සිදුවේ. එවිට අපට හිසකෙස් පැටලෙන අත්දැකීම ලැබේ.


23

සිකුරාදා

සතියේ පැනය

පිහිනුම් තටාකයක බොහෝ වේලාවක් ගතකළ පසු අපගේ හිසකෙස්වල ඇතිවන ගැට කැඩීමට උත්සහ කරන විට සිදුවන්නේ පනාව කැඩීයාමයි.පිහිනුම් තටාකයක සිටි විට අපගේ හිසකෙස් මෙලෙස අධික ලෙස ගැටගැසෙන්නේ කෙසේ ද?


22

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මී පැටවුන්(මව් කුසේ සිටින) තම මවගේ හෘදයට පිළියම් කිරීමට නව සෛල ලබාදෙන බව පර්යේෂණයක් මඟින් හෙලිවී තිබේ. ජීව විද්‍යාත්මක ලෙස මීයන් මිනිසුන්ට සමීප බැවින් මෙම අධ්‍යයනය ගර්භනී අවධියේ හෘද දුර්වලතා ඇතිවන කාන්තාවන්ගෙන් අඩක් පමණ ඉතා ඉක්මණින් සුව වීමට හේතුව පැහැදිලි කරදෙයි.


21

බදාදා

අද විදු වදන

විද්‍යාඥයින් විසින් කැළැල් ඇතිවීම වළකන අණු සොයාගෙන තිබේ. කැළැල් ඇතිවීම සිදුකරන ලයිසයිල් එන්සයිමයේ ක්‍රියාකාරිත්වය මෙම අණු මඟින් නවතයි. අලුත් තුවාලවලට මෙම අණු යෙදූවිට කැළැල් ඇතිනොවේ. නමුත් මෙම ක්‍රමයෙන් අපට දැනටමත් ඇති කැළැල් මැකීමට නොහැකිය.


20

අඟහරුවාදා

අද විදු වදන

පරිසර උෂ්ණත්වත්වය දළ වශයෙන් අපට කීමට පළඟැටියන්ට හැකියාව තිබේ(බොහෝ අවස්ථාවල දී). ඇතැම් පේශි සංකෝචන මගින් ඔවුන්ගේ පියාපත් ඇතිල්ලී හඬ නිකුත්වේ.පළඟැටියන් චලතාපී නිසා ඔවුන්ගේ දේහ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයේම පවතියි. උෂ්ණත්වය වැඩිවන විට පේශි සංකෝචන වේගවත් වී ශබ්ද නිකුත් වන ශීඝ්‍රතාව වැඩිවේ. පළඟැටියකු නිකුත් කරන ශබ්ද තත්පර 15ක් පුරා ගණන් කර එයට 37 එක් කළවිට දළ පරිසර උෂ්ණත්වය ෆැරන්හයිට්වලින් ලැබේ.


19

සඳුදා

අද විදු වදන

අපට වඩා වර්ණ මිලියන 99 ක් දැකිය හැකි කාන්තාවක් විද්‍යාඥයින් සොයාගෙන තිබේ. අප බොහෝ දෙනාට ඇත්තේ කේතු සෛල(වර්ණ දෘෂ්ටිය ලබාදෙන සෛල) වර්ග 3කි. ඉතා සුළු පිරිසකට වර්ග 4ක් පිහිටිය ද අතිරේක වර්ගය අක්‍රියව පවතියි. විශ්මයජනක ලෙස මැයගේ අතිරේක කේතු සෛල වර්ගය ක්‍රියාකරන බැවින් අද්විතීය දෘෂ්ටියක් ලැබී ඇත.


15

බ්‍රහස්පතින්දා

අද විදු වදන

“සීරීස්” නම් වාමන ග්‍රහයා සතුව සාමාන්‍ය පරිදි මැග්මා පිටකරන ගිනිකඳු නොමැත. එහි ඇත්තේ අයිස් ගිනිකඳු වේ. ගිනිකන්ද දැන් අක්‍රිය වුව ද භූ විද්‍යාත්මකව මෑතක් වන තුරුම සක්‍රියව තිබී ඇත.මෙවැනි ගිනිකඳුවලින් ලවණ,මඩ සහිත ජල මිශ්‍රණයක් නිකුත් වන අතර, ග්‍රහ පෘෂ්ඨය මත දී එය සිසිල් වීම නිසා ගිනිකඳු මුදුන අයිස්වලින් වැසේ.


14

බදාදා

අද විදු වදන

අප සතුටේ හිනිපෙත්තටම නැග ඇති විට දී ද ඇසට කදුළු එන්නේ ඇයි? එයට හේතුව මොළයේ හයිපොතැලමසට සතුට හා දුක අතර වෙනස හඳුනාගත නොහැකිවීමයි.එයට දැනෙන්නේ ප්‍රබල ස්නායු සංඥාවක් ලැබුණු බවයි. එවිට ස්වයංසාධක ස්නායු පද්ධතිය උත්තේජනය වී කදුළු ස්‍රාවය වේ.


13

අඟහරුවාදා

අද විදු වදන

ජිරාෆයන්ගේ පාද ඉතා උස් බැවින් පාදවල රුධිරය එක්රැස්වේ. එවිට හෘදයට රුධිරය ආපසු ලැබීම අඩාල වේ. එය වැළැක්වීමට ඔවුන්ගේ පාදවල සම ඉතා තදින් බැදී තිබේ.එම සංසිද්ධිය ජෙට් යානා නියමුවන්ට විශේෂ ආරක්ෂක ඇදුමක් සෑදීමට මගපාදා දී ඇත. වේගවත් සිරස් ප්‍රවේගවලින් ගමන් කරන විට රුධිරය මොළයේ සිට පාද වෙත යාම නිසා ක්ලාන්තය ඇතිවිය හැකිය.විශේෂ ඇදුමෙහි ඇති නාල හා කුටීර මගින් උදරය හා පාද වෙත පීඩනයක් යොමු කර භයානක තත්වයන් දුරුකරයි.


9

සිකුරාදා

අද විදු වදන

ඝන,ද්‍රව හා වායු හැර පදාර්ථයේ වෙනත් අවස්ථා ගැන ඔබ අසා තිබේ ද? “ප්ලාස්මා” යනු පදාර්ථයේ තවත් එවැනි එක් අවස්ථාවකි.එය “නිදහස්ව සැරිසරන” ඉලෙක්ට්‍රෝන හා ධන අයනවල මිශ්‍රණයකි. මෙම අවස්ථාව පෘථිවියේ සුලබ නොවුණ ද විශ්වයේ 99% ප්‍රමාණයක් පවතින්නේ ප්ලාස්මා අවස්ථාවෙහිය(සූර්යයා ද ඇතුළුව)! පෘථිවියේ දී ප්‍රතිදීප්ත පහන් හා නියොන් පහන්වල ප්ලාස්මා දැකගත හැකිය.


8

බ්‍රහස්පතින්දා

අද විදු වදන

පුටුවක ඍජුව වාඩි වී පාද මත තම අත් තබාගන්න. කඳ ඉදිරියට නැමීමකින් තොරව හෝ පාද පුටුව යටට ගැනීමෙන් තොරව හෝ පුටුවෙන් නැගිටීමට තැත් කරන්න. ඔබට පුටුවෙන් නැගිටීමට නොහැකි වේ! නැඟිටීම සඳහා අපගේ බර ක්‍රියාකරන රේඛාව ඔස්සේ, පාද තෙරපා ලැබෙන බලය(පොළවෙන් ලැබෙන ප්‍රතික්‍රියාව) ක්‍රියාකළ යුතුය. වාඩි වී සිටින විට බර ක්‍රියා කරනුයේ ආමාශය ආශ්‍රිතව ඇති ගුරුත්ව කේන්ද්‍රය ඔස්සේ පහළටය. එබැවින් පාද පුටුව යටට ගෙන ප්‍රතික්‍රියා බලය ආමාශ ප්‍රදේශය හරහා යොමු කළ හැකිය. නැතහොත් කඳ ඉදිරියට නවා ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටුම ඉදිරියට ගත යුතුවේ.


7

බදාදා

අද විදු වදන

නිදිකුම්බා ශාකයේ ස්පර්ශ සංවේදී බව අපගේ ළමා කාලය කුල්මත් කළේය.ශාකයේ යම් ස්ථානයක් ඇල්ලූ විට ශාක පත්‍රිකා සියල්ලම පිළිවෙලට හැකිලි යයි.මෙම ක්‍රියාව අනුකරණයෙන් විද්‍යඥයින් විසින් හැඩය වෙනස් කළ හැකි ද්‍රව්‍යයක් නිපදවා තිබේ.ජලය ගැටුණු විට මෙම ද්‍රව්‍යය බටයක් මෙන් හැකිලේ.මෙයින් සිරුරේ පැළඳිය හැකි සංවේදක(මේවා දහඩිය ගැටුණු විට සක්‍රිය වේ),හැඩය වෙනස් කළ හැකි ක්ෂුද්‍ර රොබෝවරු හා මීදුමෙන් ජලය රැස්කරන උපකරණ සෑදීමට හැකිවනු ඇත.


6

අඟහරුවාදා

අද විදු වදන

ජලය හිඟ වූ විට එය ලබාගැනීමට මිනිසුන් ඕනෑම දෙයක් කරනු ඇත. කන්දක් වුව ද සාදනු ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සැබැවින්ම එය සිදුකිරීම සලකා බලයි! ඔවුන් කෘත්‍රිම කන්දක්(බොහෝවිට මුහුදට මායිම්ව) සාදා වර්ෂාපතනය වැඩිකරගැනීමට බලාපොරොත්තු වෙයි. ගොඩබිම වෙත හමන තෙතමනය සහිත මුහුදු සුළං, කන්ද නිසා ඇතිවන බාධාව හේතුවෙන් ඉහළ නගියි. ඉහළ යත්ම ජල වාෂ්ප සිසිල්වන නිසා වලාකුළු සෑදී වැසි ලබාදෙයි.


5

සඳුදා

සතියේ පැනයට පිළිතුර

කොළ පැහැය ඵලයට ලබාදෙන්නේ හරිතප්‍රද(ක්ලොරොෆිල් වර්ණකය) මගිනි. කහ, තැඹිලි පැහැ ගෙනෙන සැන්තොෆිල් හා කැරොටින් ද අමු පලතුරේ තිබුණ ද ඒවායේ පැහැයන් ක්ලෝරොෆිල් නිසා සැඟවේ. පලතුරු ඉදෙන විට අපවෘත්තික එන්සයිම මගින් ක්ලෝරොෆිල් බිඳහෙලයි. එවිට කොළ පැහැය ඉවත් වී කහ-තැඹිලි පැහැය ඉස්මතු වේ. කහ-තැඹිලි වර්ණක සංස්ලේෂණය ද වැඩිවේ.


2

සිකුරාදා

සතියේ පැනය

අමු පලතුරු කොළ පැහැති නිසා ගස්වල කොළ අතර සැගවී සිටිය ද ඉදුණු විට කහ-තැඹිලි පැහැ ගැන්වෙන නිසා ඉස්මතු වී පෙනේ.පලතුරු ඉදෙන විට මෙලෙස කොළ පැහැයෙන් කහ-තැඹිලි පැහැයට මාරුවන්නේ කෙසේ ද?


1

බ්‍රහස්පතින්දා

අද විදු වදන

අප දිනකට විනාඩි 40 ක් පමණ අන්ධ බව ඔබ දන්නවා ද?ඔබේ ඇස් චලනය වන විට මොළය මගින් හිතාමතාම පෙනීම නතරකරයි.කණ්ණාඩියකින් ඔබේ ඇස් චලනය වීම ඔබට නොපෙනෙන්නේ එම හේතුව නිසාය.මෙම සංසිද්ධිය නොතිබුණේ නම් අපට වටපිටාව දිස්වන්නේ සෙලවෙන අතකින් අල්ලාගෙන සිටින කැමරාවකින් රූගත කළ චිත්‍රපටියක් ලෙසටය.