2016 වසරේ ඔක්තෝම්බර් මාසයට අයත් විද්‍යා පණිවුඩ

31

සඳුදා

සතියේ පැනයට පිළිතුර

සුර්යාගෙන් නිකුත්වන අධෝරක්ත කිරණ හේතුවෙන් පෘථිවි පෘෂ්ටය රත්වීම නිසා, ඒ ප්‍රදේශයන්හි සංවහන ධාරා ඇතිවේ. උකුස්සන් වැනි පක්ෂීන් මෙම ප්‍රදේශ හඳුනාගනිමින් ඒ වෙත පියා සලන අතර, ඔවුන්ගේ පියාපත් සහ පෙඳය විහිදා ගනිමින්, මෙම සංවහන ධාරා මඟින් ඔවුන් මත ඉහළට ඇති වන තෙරපුම් බලය වැඩිකරගනී. ඒ නිසා ඔවුන්ට ඉහළ අහසේ පියාපත් නොසලමින් සැරිසැරීමට හැකිවන අතර, ඒ ප්‍රදේශය අවටම රැදී සිටීමට ඔවුන් වෘත්තාකාර පථයක සැරිසරති. වෘත්තාකාර පථයෙහි කේන්ද්‍රය දෙසට තරමක් ආනතව ගමන් කිරීම මඟින්, උකුස්සා මත ඉහළට යෙදෙන තෙරපුම් බලයෙහි තිරස් සංරචකයක්, කෙන්ද්‍රාභීසාරී බලය ලෙස සපයාගනී.


28

සිකුරාදා

සතියේ පැනය

උකුස්සන් රාජාලියන් වැනි පක්ෂීන්, පියාපත් සැලීමකින් තොරව ඉහළ අහසේ වෘත්තාකාර පථයක ගමන් කරමින් අහසේ රැඳී සිටිනවා ඔබ දැක ඇති. ඔවුන් මෙලෙස, පියාපත් නොසලමින්, පහළට වැටීමකින් තොරව අහසේ රැඳී සිටින්නේ කෙසේදැයි ඔබ දන්නවාද?


27

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ලොව පුරා වෙසෙන වන ජීවී ප්‍රජාව, මෙම දශකය අවසන් වන විට 1970 දී සිටි සතුන් ප්‍රමාණයෙන් 2/3 පමණ වඳවී යනු ඇතැයි පර්යේෂකයන් අනතුරු අගවා තිබෙනවා. ලොව පුරා වෙසෙන ක්ෂීරපායින්,පක්ෂීන්,මසුන්,උභය ජීවීන් සහ උරගයින් ආශ්‍රයෙන් සිදුකල පරීක්ෂණයකින් හෙළිවී ඇති පරිදි එම වන ජීවීන්ගෙන් 1970 විසූ ප්‍රමාණයෙන් 58% ක් 2012 වන විට වඳවී තිබෙනවා. ඔවුන් පවසන්නේ මිනිසාගේ විනාශකාරී ක්‍රියාකාරකම් නතර නොකළහොත් 2020 වන විට මිහි මත වෙසෙන පෘෂ්ඨවංශීන්ගෙන් 67% වඳවී යනු ඇති බවයි.


26

බදාදා

අද විදු වදන

ලොව වඩාත්ම උණුසුම් කුහරය විදීම අයිස්ලන්තය මේ වනවිට ආරම්භකර තිබෙනවා. ඒ මේ වසර අවසන් වන විට වඩා ප්‍රභල ස්වභාවික ශක්ති ප්‍රභවයක් පිහිටුවීමේ අරමුණින්. අයිස්ලන්තයේ නිරිතදිග පෙදෙසේ කිලෝමීටර් 5ක් පමණ ගැඹුරුට විදීමට අපේක්ෂිත මෙම කුහරය මගින් පිටතට එන උණුසුම මගින් මෙගාවොට් 50 ක පමන විදුලියක් නිපදවීමට සමත් හුමාලයක් නිපදවීමට සමත්වේ යැයි විශ්වාස කරනවා. එම විදුලි ශක්තිය සාම්ප්‍රදායික භූ තාප ලිදකින් ලබාගන්නා විදුලිය මෙන් දස ගුණයක් පමණ වෙනවා.


25

අඟහරුවාදා

අද විදු වදන

ඩිජිටල් තාක්ෂණයේ දියුණුවත් සමග ලොවට හදුන්වා දුන් ඩ්‍රෝන් කැමරා, වීඩියෝ කරනයේ පෙරළියක් ඇතිකිරීමට සමත් වූ බව නො රහසක්. වීඩියෝ කරනයට එහා යමින් මෙම ඩ්‍රෝන් කැමරා මගින් ප්‍රයෝජන ගැනීමට අද විද්‍යාවේ දියුණුවත් සමගම හැකිවී තිබෙනවා. ඩ්‍රෝන් කැමරා ආධාරායෙන් වාහාන වලින් ලගාවීමට අසීරු දුෂ්කර ප්‍රදේශ වල සිටින රෝගීන්ට අවශ්‍ය රුධිරය ප්‍ර‍වාහනය කිරීමට රුවන්ඩා සෞඛ්‍ය සේවකයින් සමත්වී තිබෙනවා. යම් රෝගියෙකුට රුධිරය අවශ්‍යවූ විට කෙටි පණිවුඩයක් රුධිර ගබඩාව වෙත යොමු කරන අතර එවිට රුධිරය ගබඩාකල ඩ්‍රෝන් කැමරාවක් එම ස්ථානය වෙත පැමින කුඩා පැරෂුටයක අධාරයෙන් රෝගියා සිටින ස්ථානයට හෙළනු ලැබේ. මෙම ක්‍ර‍මය මගින් බිම් මාර්ගවලින් ලගාවීමට අපහසු කදුකර සහ කැළෑ ප්‍රදේශ වල රෝගීන්ට ඉතා පසහුවෙන් ප්‍ර‍තිකාර කිරීමට හැකිවී තිබෙනවා


24

සඳුදා

සතියේ පැනයට පිළිතුර

දහවලේ දී සූර්ය විකිරණ හේතුවෙන් පෘථිවිය අඛණ්ඩව උණුසුම් වේ. පෘථිවි පෘෂ්ඨය නැවත තාප විකිරණ මුක්ත කිරීම නිසා රාත්‍රියේ දී පොළව ක්‍ර‍මයෙන් සිසිල් වේ. වායුගෝලයේ ඇති ජල වාෂ්ප, CO2 වැනි ඇතැම් වායු, තාප විකිරණ අවශෝෂණය කර උණුසුම් වී සෑම දිශාවකටම තාප විකිරණ මුක්ත කරයි(නැවත පෘථිවිය වෙතට ද යොමුකෙරේ).එබැවින් පෘථිවියෙන් තාපය පිටවීම අවම වේ. වලාකුළුවල ජල බිදු මෙම කාර්යයට අතිදක්ෂ බැවින් වලාකුළු පිරි රාත්‍රින් වඩා උණුසුම් වේ.


21

සිකුරාදා

සතියේ පැනය

20

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඔබ, “මහා හරිත ප්‍රාකාරය“(Great Green Wall of Sahara and Sahel Initiative) ගැන අසා තිබේ ද? එය සාමාන්‍ය ප්‍රාකාරයක් නොවේ. ශාක මිලියන ගණනක් සහරා කාන්තාරයේ දකුණු මායිමේ සැතපුම් දහස් ගණනක් ඔස්සේ සිටුවීමෙන් මෙම “ ශාක ප්‍රාකාරය“ නිර්මාණය කර ඇත. මෙහි අරමුණ සහරා ආශ්‍රිත පෙදෙස්වල භූමි හායනය හා කාන්තාරකරණය අවම කිරීම මෙන්ම දේශගුණ විපර්යාස හමුවේ ජන ජීවිතය හා ආහාර නිෂ්පාදනය සුරක්ෂිත කිරීමයි.


19

බදාදා

අද විදු වදන

අණු කීපයකින් පමණක් සමන්විත යන්ත්‍ර ගැන ඔබට සිතාගත හැකි ද? එවැනි යන්ත්‍ර සැබැවින්ම නිර්මාණය කර ඇති අතර එම ක්ෂේත්‍රයේ ප්‍ර‍වීණයන් තිදෙනෙකු, නැනෝ යන්ත්‍ර දියුණු කිරීම හේතු කොටගෙන මෙවර රසායන විද්‍යාවට පිරිනමන නොබෙල් සම්මානයෙන් පිදුම් ලබා ඇත.


18

අඟහරුවාදා

අද විදු වදන

මකුළුවන්ට කන් බෙර නැති වුව ද ඔවුන්ට ද ශබ්ද ශ්‍රවණය කළ හැකිය. ඒ පාදවල පිහිටන විශේෂ රෝම මගිනි. පෙර සිතා සිටි පරිදි මකුළුවන්ට දැනෙන්නේ මීටර් 1 ක දුරක් දක්වා පොළවෙන් ලැබෙන කම්පන පමණි. නමුත් Salticidae කාණ්ඩයට අයත් මකුළුවන් වාතයෙන් සම්ප්‍රේෂණය වන ශබ්ද ද මීටර් 3-5 ක දුරක් දක්වා ශ්‍රවණය කරන බව සොයාගෙන තිබේ.


17

සඳුදා

සතියේ පැනයට පිළිතුර

දැල්ලේ තාපයෙන් බැලූනයේ පෘෂ්ටය ප්‍රසාරණය වීම නිසා එහි මතුපිට දුර්වල පෙදෙසක් ඇතිවේ. ඇතුළත වායු පීඩනය ද වැඩිවන බැවින් බැලූනය ක්ෂණිකව පුපුරා යයි. බැලූනයේ ජලය ඇතිවිට ජලය මගින් තාපය විශාල ලෙස අවශෝෂණය කර(ජලයේ තාප ධාරිතාව ඉහළ නිසා) බැලූන පෘෂ්ටය වැඩි වේලාවක් සිසිල්ව තබයි. මේ නිසා ජල බැලූනය දැල්ලට වැඩි ප්‍රතිරෝධි බවක් දක්වයි.


14

සිකුරාදා

සතියේ පැනය

හුළං පිරවූ බැලූනයක් දැල්ලකට ඉහළින් තැබූ විට ක්ෂණිකව පිපිරේ(බලාපොරොත්තු වූ ලෙස). නමුත් එය වතුර පිරවූ බැලූනයකින් උත්සාහ කර බැලූ විට පිපිරීමට ගතවන කාලය බොහෝ සෙයින් වැඩිවේ. මෙයට හේතුව ඔබ දන්නවා ද?


13

බ්‍රහස්පතින්දා

අද විදු වදන

හිරු එළිය හා සිරුරේ චලනයන් උපකාරයෙන් සිරුරේ පළඳින උපකරණ(ඔරලෝසු,දුරකථන) ආරෝපණය(චාජ් කිරීම) සිදුකළ හැකි රෙදි වර්ගයක් කරලියට පැමිණ තිබේ. රෙදි වර්ගය සාදා ඇත්තේ ලෝහ හා අර්ධ සන්නායක ආලේපිත මිල අඩු, බර අඩු බහුඅවයවිකයක කෙඳි වර්ගයකිනි. මෙම විශේෂ කෙඳි මඟින් සෑදූ ක්ෂුද්‍ර සූර්ය කෝෂ හා නැනෝජෙනරේටර් (මේවා සිරුරේ චලනයන්ගෙන් ශක්තිය උකහා ගනියි) රෙදි වර්ගයට ඔබ්බවා තිබේ.


12

බදාදා

අද විදු වදන

ඈනුම් ඇරීමේ දී මොළය සිසිල් වී එහි කාර්යක්ෂමතාව ඉහළ යන බව මීට පෙර විද්‍යා පණිවිඩයක දී අප පවසා ඇත්තෙමු. මේ වන විට, යම් ක්ෂීරපායි විශේෂයකට ඈනුමක් සඳහා ගතවන සාමාන්‍ය කාලය මගින් එම විශේෂයේ මොළයේ සංකීර්ණත්වය අනුමාන කළ හැකි බව ජීව විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ. මිනිසුන් “දිගම ඈනුම්කාරයින්“ වන අතර මීයන්,හාවන් වැනි සතුන්ට වඩා වැඩි කාලයක් අලින්, ගෝරිල්ලන්, ඔටුවන් වැනි සතුන්ට ගත වී තිබේ.


11

අඟහරුවාදා

අද විදු වදන

අංශභාගය තත්වයේදී සිරුරේ චලන සීමාවන්නේ ශරීර කොටස්වලට නියුරෝන ඔස්සේ ගෙනයන පණිවිඩ මොළයේ හානිවූ කොටස් මඟින් අවහිර කිරීම නිසාය. පණිවිඩ ගෙනයාමට නව නියුරෝන මාර්ග සෑදීම මෙයට පිළියම විය හැකියි. මෙය පරීක්ෂා කිරීමට රෝගින්ට තම ඇඟිලි චලනය කිරීම පිළිබඳ “සිතීමට“ උපදෙස් දෙන ලදි.එම “සිතුවිල්ල“ පරිගණකයක් මඟින් හඳුනාගත් පසු යන්ත්‍රයක් මඟින් ඇඟිලි චලනය කෙරිණි.ඇඟිලි චලනය වීමේ දී අතේ සිට මොළය වෙත ස්නායු සංඥා ලැබේ.එවිට නව නියුරෝන සම්බන්ධතා වර්ධනය වේ. පර්යේෂණයේ දී 70%කගේ ඇඟිලිවල චලනයන් වර්ධනය වී තිබේ.


10

සඳුදා

සතියේ පැනයට පිළිතුර

බාල්දිය ජලයේ ඇති විට බාල්දිය මගින් විස්ථාපනය වන ජල පරිමාවේ බරට සමාන බලයක් ජලය මගින් බාල්දිය මත ඉහළට යොදයි.එය උඩුකුරු තෙරපුම් බලයයි. මේ නිසා බාල්දිය ඔසවන ලණුවේ ආතතිය අඩුවීම නිසා අපට බාල්දියේ බර අඩුවෙන් දැනේ. නමුත් බාල්දිය ජලයෙන් පිටතට පැමිණි විට උඩුකුරු තෙරපුම ක්‍රියා නොකරන නිසා අපට ජල බාල්දියේ නියම බර දැනේ.


7

සිකුරාදා

සතියේ පැනය

6

බ්‍රහස්පතින්දා

අද විදු වදන

එන්නත් කටු(විශේෂයෙන් ඉන්සියුලින් එන්නත්) මල නොකන වානේවලින් සෑදීමට වැඩි මිලක් යයි. මේ නිසා ප්ලාස්ටික්වලට මාරුවීමට විද්‍යාඥයින් අදහස් කළ ද ප්ලාස්ටික් තුනී කළ විට එහි ශක්තිමත් බව අඩුවීම ගැටලුකාරී විය. මෙයට විසඳුමක් සෙවීමට සොබාදහම නිරීක්ෂණය කළවිට ඉත්තෑ කූරුවලින් පිළියමක් ලැබුණි. ඉත්තෑ කූරුවල සැකැස්මෙන් ලැබුණු අදහස් යොදා නව ප්ලාස්ටික් එන්නත් කටුවක් සාදා තිබේ.


5

බදාදා

අද විදු වදන

ස්පර්ශයෙන් තොරව කුඩා වස්තු චලනය කිරීම විද්‍යා ප්‍රබන්ධයක පුවතක් ලෙස හැඟුන ද ශබ්ද තරංගවලට එම හැකියාව ඇති බව විද්‍යාඥයින් සොයාගෙන තිබේ. විස්තාරය අධික ශබ්ද තරංග මගින් සෑදෙන බල ක්ෂේත්‍රයක් යොදාගෙන කුඩා වස්තූන් එසවීම හා චලනය සිදුකළ හැකි බව හඳුනාගෙන තිබේ. මෙම තාක්ෂණයෙන් සියුම් වස්තු එහා මෙහා ගෙනයාම හා එකලස් කිරීම භෞතික සම්බන්ධයකින් තොරව කිරීමට හැකිවේ.


4

අඟහරුවාදා

අද විදු වදන

ඩිජිටල් දත්ත ගබඩා කිරීමට DNA අණු භාවිතා කළ හැකි බව ඔබ දන්නවා ද? DNA වලට ඇදහිය නොහැකි ගබඩා ධාරිතාවක් තිබීම (DNA ග්රෑමයකට DVD බිලියන 100ක ඇති දත්ත ගබඩා කළ හැක) හා වසර සිය ගණනක් තබා ගත හැකිවීම නිසා මෙම පර්යේෂණ මගින් ඩිජිටල් දත්ත ගබඩා කිරීමේ පෙරළියක් සිදුවනු ඇති.


3

සඳුදා

සතියේ පැනයට පිළිතුර

තාප සන්නයනයට දියමන්තිවලට නිදහස් ඉලෙක්ට්‍රෝන නොමැති වුව ද එහි දැලිස් සැකැස්ම මගින් පරමාණු අතර සිදුකරන ඉක්මන් කම්පන නිසා තාප සන්නායකතාව ඉහළ වේ. දැලිසේ ඉහළ සමමිතික බව හා ශක්තිමත් බන්ධනවල ප්‍රතිඵලය ලෙස කම්පන කාර්යක්ෂම වේ. එබැවින් තාප සන්නායකතාව තඹවලට ද වඩා ඉහළ ගොස් ඇත. දියමන්තිවලට නිදහස් ඉලෙක්ට්‍රෝන හෝ සචල අයන නොමැති බැවින් හොඳ විද්‍යුත් පරිවාරකයකි.