2016 වසරේ නොවැම්බර් මාසයට අයත් විද්‍යා පණිවුඩ

30

බදාදා

අද විදු වදන

රේසින් කාර් පිටුපසට සවිකර ඇති ස්පොයිලරය ඔබට මතකද? එය ඇත්තේ ක්‍රීඩාශීලී පෙනුමක් ලබාදීමට හෝ විලාසිතාවක් ලෙසට පමණක් නොවේ. එහි විද්‍යාත්මක පසුබිම ඔබ දැන සිටියාද? මෙමගින් දැඩි සුළං හමු‍වේ රථයට විය හැකි හානි වළකන අතරම වාහනයෙන් ප‍ොළොව මත ‍යෙදෙන තෙරපුම වැඩිකරයි. එනිසා අධිකව ත්වරණය කළ ද කාරය ප‍ොළොවෙන් නොගිලිහෙන බව තහවුරු වේ.


29

අඟහරුවාදා

අද විදු වදන

මිහිමත වෙසෙන උසම සත්ත්වයා ජිරාෆ් බව ඔබ අසා ඇති. නමුත් ජිරාෆ් තම කන් පිරිසිදු කරගන්නේ තමාගේම දිව භාවිතයෙන් බව ඔබ දැන සිටියාද? ඒ ජිරාෆ්ගේ ගෙල මෙන්ම දිව ද අසාමාන්‍ය ලෙස දිගු බැවිනි. එහි දිග ආසන්නව මීටර් බාගයක් පමණ වේ.


28

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ගිනි මැලයක් අසල සිටීමෙන් තාවකාලිකව සම රතු පැහැ විය හැකි වුවද අවශ්‍ය ටෑන් පැහැ සම නොලැබේ. හිරු එළිය හමුවේ සම ටෑන් වන්නේ එහි අඩංගු පාරජම්බුල කිරණ මගින් සමේ මෙලැනින් වර්ණකය නිපදවීම උත්තේජනය කර අවශ්‍ය දුඹුරු පැහැය සමට ලබාදෙන බැවිනි. නමුත් ගිනි මැලයක් හෝ විවෘත දැල්ලක් හරහා තාපය මුදා හැරුණද මෙම ක්‍රියාවලිය සිදු නොවේ.


25

සිකුරාදා

සතියේ පැනය

මුහුදු වෙරලේ ඇවිද යන ඔබ බොහෝ විදේශිකයන් අව්ව තපිමින් දුඹුරු පැහැයට හුරු ටෑන් සමක් ලබාගන්නට උත්සහ කරනු දැක ඇති. ගිනි මැලයක් හෝ විවෘත දැල්ලක් අසලට වී සිටීම හරහා ද එවන් ටෑන් සමක් ලබාගත හැකිද? පැහැදිළි කරන්න.


24

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මුළුතැන්ගෙයි වැඩ හුරු ඔබට ලූණු කැපීම ගැන සිතට විට පවා ඇසට කඳුළු උනනවා නේද? ලූණු කපන විට එහි ඇති සෛල විනාශ වී අඩංගු දෑ එකිනෙක සංයෝජනය වී සල්ෆිනික් අම්ලය සාදයි. එය ලූණු ගෙඩියේ ඇති එන්සයිම සමඟ මිශ්‍රවී Propanethiol S-oxide නම් වායුව මුදාහරියි. මෙය අපේ ඇසේ දැවිල්ල ඇති කරමින් අශ්‍රැ ග්‍රන්ථි උත්තේජනය කර කඳුළු ගලායාම වැඩිකරයි.


23

බදාදා

අද විදු වදන

ගුවන් යානයක යන විට කවුළුව අසල ආසනය වෙන්කර ගන්නට අප සැම කැමතියි. ඒ පැහැදිළි ගුවන් දර්ශනය නිසාවෙන්මය. එම කවුළු පතුලේ ඇති ඉතා කුඩා සිදුර ඔබට මතකද? මෙය මගී ගුවන් යානාවල සෑම කවුළුවකටම පොදු ලක්ෂණයකි. නොවැදගත් යැයි හැ‍ඟෙන මේ සිදුර ඉතා වැදගත් ආරක්ෂක කෘත්‍යයක් ඉටු කරන බව දැන සිටියාද? එය ගුවන් යානයෙන් කවුළුව මත යෙදෙන පීඩනය යාමනය කරයි. හදිසි අවස්ථාවකදී පීඩනය වැඩි වුවද මුලින්ම හානි වන්නේ කවුළුවේ ඇතුළු තහඩුවට නොව පිටත තහඩුවට බව මෙමගින් තහවුරු කරයි.


22

අඟහරුවාදා

අද විදු වදන

බීවරයා පිළිබඳව අසා තිබෙනවාද? බොහෝ විට ඔබ ඔවුන්ගේ පින්තූරයක් හෝ දැක ඇති. ඔව් ඔබ නිවැරදියි. සෑම ඡායාරූපයකම පාහේ ලී කොට විකමින් සිටින එම සතුන් ගැනයි මේ පවසන්නේ. නමුත් මෙම විකීමේ පුරුද්ද පිටුපස විද්‍යාත්මක හේතුවක් ඇති බව ඔබ දැන සිටියාද? බීවරයන්ගේ දත් අපේ මෙන් නොව ජීවිත කාලය පුරාවට නොනැවතී වර්ධනය වේ. ඔවුන් මෙලෙස විකීම නතර කළහොත් හක්ක සිරවීමට හෝ මොළය පසාරු කරමින් දත වැඩීමට පුළුවන.


21

සඳුදා

සතියේ පැනයට පිළිතුර

කාමරය සිසිල් වේ යැයි අපේක්ෂා කළද සිදුවන්නේ එය නොවේ. සැබැවින්ම කාමරයේ උෂ්ණත්වය වැඩිවේ. සාමාන්‍යයෙන් ශීතකරණයක් සිදුකරන්නේ එතුළ ඇති වායු අංශු වලින් තාපය ඉවත් කර සිසිල් කිරීමයි. එම තාපය ශීතකරණය පිටුපස ඇති කුඩා ෆෑන් එක හරහා පිටතට මුදා හැරේ.
දොර විවෘත කර ඇති විට කාමරයේ වාතයද ශීතකරණයට ඇතුළු වන නිසා එයින්ද තාපය ඉවත්කර යළිත් කාමරයටම මුදා හැරේ. එහෙත් ශීතකරණයක් ප්‍රායෝගිකව 100%ක් කාර්යක්ෂම නොවන නිසා එහි යම් තාප හානියක් සිදුවේ. දොර විවෘත කළද මෝටරය ඇතුළු එහි අනෙකුත් කොටස් ක්‍රියාත්මක වන නිසා ඒවාට සැපයෙන විද්‍යුත් ශක්තියෙන් කොටසක් තාප ශක්තිය ලෙසින් හානිවේ. මෙලෙස ජනනය වන අමතර තාපය නිසා කාමරය උණුසුම් වේ.


18

සිකුරාදා

සතියේ පැනය

17

බ්‍රහස්පතින්දා

අද විදු වදන

දුම්රියක යන ගමන පහසුයි. වින්දනීයයි. එමෙන්ම වේගයෙන් ඇදී යන දුම්රියක් දෙස බලා සිටීමද ගෙන දෙන්නේ ඊට නොඅඩු වින්දනයකි. නමුත් එලෙස ඉතා ආසන්නව සිටීමේදී අප දුම්රිය වෙතට ඇදී යන බව අත්දුටුවාද? මෙම ආකර්ෂණය පිටුපස ඇති රහස කුමක්ද? අධික වේගයෙන් ධාවනය වන දුම්රියත් සමඟම ඒ ආශ්‍රිතව ඇති වාතයද ඇදී ගොස් එහි අවපීඩන ප්‍රදේශයක් ජනිත වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස අප පිටුපස ඇති වැඩි පීඩනයක් සහිත වාතය අපවත් දුම්රිය වෙතට තල්ලු කරමින් අවපීඩන ප්‍රදේශය කරා ඇදීයයි.


16

බදාදා

අද විදු වදන

කඳවුරකදී ගිනි මැලයක් වටයට සිට ගෙවන සන්ධ්‍යාවක ආස්වාදය ඔබත් අත්විඳ තිබේද? එසේ නම් ඒ ගැන මතකය අවදි කර බලන්න. නියතවම ඔබට එහි රස්නය දැනෙන්නට ඇත. ඒ හැරුණු කොට ඔබේ සම ක්‍රමයෙන් රතු පැහැ ගැන්වුණු බව හඳුනා ගත්තාද? එහෙත් ඇයි? ගිනි මැලයෙන් ලැබෙන තාපය හමුවේ සමේ රුධිර වාහිනී විස්තාරණය වේ. එබැවින් සම වෙත ගලන රුධිර ප්‍රමාණය වැඩිවී රතු පැහැ ගැන්වේ.


15

අඟහරුවාදා

අද විදු වදන

“මහ සයුරේ මිනීමරුවා” යන විරුදාවලියට හොඳම සුදුස්සා කවුදැයි ඇසුවොත් ඔබේ පිළිතුර කුමක් වනු ඇතිද? ඔව් ඒ මිනීමරු මෝරා ගැනයි මේ. සාගරයේ ජල බිඳු මිලියනයක් අතර ඇති එක ලේ බිඳුවක් හඳුනා ගැනීමට තරම් මෝරා සංවේදී බව ඔබ දන්නවාද? මීට හේතුව ඔවුන්ගේ ආග්‍රාණ අපිච්ඡදයේ සෛල අතිශය සංවේදීවීම හා මොළයේ ආග්‍රාණ සංවේදී ප්‍රදේශය සාපේක්ෂව විශාල වී රසායන ද්‍රව්‍ය කුඩා ප්‍රමාණයක් හමුවේ පවා උතතේජනය වීමයි. මෙය බොහෝ ඈත සිටින ගොදුරක් පසුපස වුව හඹා යන්නට මෝරාව මෙහෙයවයි.


11

සිකුරාදා

අද විදු වදන

මුහුදු වෙරලේ ඇවිද යන ඔබ, එහි වැඩෙන ශාක වල යම් සමානතාවයක් දුටුවාද? ඒවා බොහෝමයක් උසින් අඩු පඳුරු බව ඔබ නිරීක්ෂණය කරන්නට ඇති. එයට හේතුව ඔබ දන්නවාද? වෙරළාශ්‍රිත පරිසර වල වැඩෙන ශාක වලට අධික සුළං වලට සහ වැලි පසට ඔරොත්තු දීමේ හැකියාවක් තිබිය යුතුයි. මෙම ශාක උසින් අඩු පඳුරු බවට පත් වි ඇති නිසා සුළඟින් ඇතිවන හානි අවම වේ. එසේම මේවාට විහිදුණු මූල පද්ධතියක් තිබීම නිසා වැලි පස තුළ සාර්ථකව වැඩීමට ද හැකියාව ලැබී ඇත.


10

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සාමාන්‍ය විදුලි උඳුනක හා ක්ෂුද්‍ර තරංග උඳුනක එකම වේලාවක් පිසගත් එකම වර්ගයේ ආහාර දෙකක් අතර ඇති වෙනස ඔබට දැනී තිබෙනවාද? ක්ෂුද්‍ර තරංග උඳුනෙන් ගත් ආහාරයේ සෑම තැනම සමානව පිසී තිබුනද සාම්ප්‍රදායික උඳුනේ පිසූ ආහාරයේ අභ්‍යන්තරය සාපේක්ෂව අමු බව හඳුනා ගත්තේ නම් ඔබ හොඳ නිරීක්ෂකයෙකි. මෙයට හේතුව මොහොතකටවත් සිතා බැලුවාද? සාම්ප්‍රදායික උඳුනක ආහාර වලට බාහිරය‍ෙන් පමණක් තාපය සැපයේ. නමුත් ක්ෂුද්‍ර තරංග උඳුනක දී ආහාරයේ ඇති අංශු ඉන් නිකුත්වන ක්ෂුද්‍ර තරංග අවශ‍ොෂණය කර, ඍජුවම පරමාණුක කම්පන බවට පරිවර්තනය කර එමගින් තාපය ජනනය කරයි. ම‍ෙනිසා ආහාරය වඩාත් වේගය‍ෙන් හා ඒකාකාරව පිසීම සිදු වේ.


9

බදාදා

අද විදු වදන

පාන් යනු අද ලෝකයේ ඉතාමත් ජනප්‍රිය ආහාරයක්. බොහෝ පාන් වර්ග සාදනු ලබන්නේ ‘යීස්ට්’ භාවිතයෙන් බව ඔබ අසා ඇති. මේ යීස්ට් යනු ක්ෂද්‍ර ජීවී දිලීරයක් බව ඔබ දැන සිටියා ද? ජලය ඇති විට මෙම ජීවීන් සීනි සහ ඔක්සිජන් වායුව උපයෝගී කරගනිමින් කාබන් ඩයොක්සයිඩ් වායුව නිපදවන අතර ඒ හේතුවෙන් පාන් පිපීම සිදුවෙනවා. ඔබ ආහාරයට ගන්නා පාන් වල ඇති වායු බුබුළු සහ සිදුරු වලටද හේතුවන්නේ මෙම යීස්ට් නිපදවන කාබන් ඩයොක්සයිඩ් වායුවයි.


8

අඟහරුවාදා

අද විදු වදන

ඇතැම් මකුළුවන් තම දැල සමඟ වේගයෙන් කම්පනය වන අයුරු ඔබ දැක ඇති. මෙය, මකුළුවන් භාවිතා කරන ආරක්ෂක යාන්ත්‍රණයක් බව ඔබ දැනසිටියාද? ඇතැම් දුර්වල දෘෂ්ටියක් ඇති විලෝපිකයන් ඔවුන් අසළට පැමිණෙන විට, මෙසේ කම්පනය වීම නිසා එම මකුළුවන්ව ඔවුන්ට පැහැදිලිව දැක ගැනීමට අසීරු වනවා. ඒ නිසා විලෝපිකයන් ව්‍යාකූල වන අතර ඔවුන් බොහෝවිට පසුබසිනවා. එපමණක් නොව, ඔවුන්ගේ දැල අසළින් දැලට ආනතව හෝ ඉතා ආසන්නයේ සමාන්තරව පියාසලන ඇතැම් කෘමීන් දැලට හසුවීමේ සම්භාවිතාව ද මෙම සෙලවීම මඟින් වැඩි කරනවා.


7

සඳුදා

සතියේ පැනයට පිළිතුර

අභ්‍යවකාශයේ උෂ්ණත්වය (කොස්මික් පසුබිම් උෂ්ණත්වය) කෙල්වින් 3 කට ආසන්න වන අතර, වායු පීඩනය ආසන්න වශයෙන් ශුන්‍ය වේ. ජල වීදුරුව අභ්‍යවකාශයට ගෙන ගිය විට, පළමුවෙන්ම සිදුවන්නේ, බුබුළු නගමින් නැටීමයි. එයට හේතුවන්නේ, වායුගෝලීය පීඩනය, එම මොහොතේ සංතෘප්ත ජල වාෂ්ප පීඩනයට වඩා ඉතා අඩු වීම යි. එලෙස වායු කලාපයට එක්වන ජල වාෂ්ප, එසැණින් ඝනීභවනය වනු ඇත. එහෙත්, මෙම ජල බඳුන ඇති ස්ථානය, සූර්යයාට ඉතාමත්ම ඈතින් පිහිටි උෂ්ණත්වය ඉතා අඩු ස්ථානයක් නම්, මෙය සිදුවන්නේ ඉතා සුළු කාලයක් පමණි. මඳ වේලාවකින් එම සියලුම ජලය, ඝනීභවනය වනු ඇත.


4

සිකුරාදා

සතියේ පැනය

ඔබ, ජල වීදුරුවක් අභ්‍යවකාශයට ගෙන ගොස් විවෘතව තැබුවා යැයි සිතන්න. එය ජලය බුබුළු නඟමින් උතුරා යාවිද? නැතිනම්, අයිස් බවට පත්වේවිද? ඔබගේ පිළිතුර පැහැදිලි කරන්න


3

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ගෙම්බන්, අප මෙන් ජලය පානය නොකරන බව ඔබ දන්නවාද?. ඔවුන්ගේ උදර ප්‍රදේශය හා කලවා ආශ්‍රිතව සමෙහි පිහිටා ඇති, ජල අවශෝෂණයට විශේෂයෙන් හැඩ ගැසුණු කොටසක් මඟින්, ඔවුන් තම ජල අවශ්‍යතාවය සපුරා ගන්නවා.ඒ වගේම, ඔවුන් ශ්වසනය සඳහා ද තම සම උපකාරී කරගන්නා අතර එය ක්‍රමවත්ව සිදුවීමට නම් ඔවුන්ගේ සම තෙත්ව පැවතිය යුතුයි. ගෙම්බන් හැකිතාක් ජලාශ්‍රිත පරිසර වල වෙසීමට උත්සාහ කරන්නේ ඒ නිසාය.


2

බදාදා

අද විදු වදන

ලෝකයේ ඇති, රිදී පැහැයට හුරු නොවන එකම මූලද්‍රව්‍ය ද්විත්වය වන්නේ “රත්රන් හා තඹ” ය. මූලද්‍රව්‍ය පරමාණු ලෝහක බන්ධන වලින් එකිනෙක බැඳී ඇතිවිට සහ නිදහස් ඉලෙක්ට්රෝන ඇති විට ලෝහයක් ලෙස හඳුන්වයි.. බොහෝ ලෝහ වල මතුපිට පෘෂ්ටය මඟින්, වර්ණාවලියේ දෘශ්‍ය පරාසයේ ඇති සියලුම වර්ණ එක සමානව පරාවර්තනය කරන නිසා එම ලෝහ රිදී-සුදු පැහැයට හුරු වර්ණයකින් දිස් වේ. එහෙත්, රත්රන් සහ තඹ යන ලෝහ, දෘශ්‍ය වර්ණාවලියේ ඇති නිල් සහ ජම්බුල වර්ණ පමණක් අවශෝෂණය කරගනිමින්, කහ පැහැ වර්ණය ආසන්න කලාපයේ ඇති විද්‍යුත් චුම්බක තරංග පිට කිරීම සිදු කරයි. එමනිසා, එම ලෝහ ද්විත්වය කහ පැහැයට හුරු වර්ණයකින් දිස් වේ.


1

අඟහරුවාදා

අද විදු වදන

අභ්‍යාවකාශයේ සිට නිරීක්ෂණය කිරීමාදී පවා දැකිය හැකි, දැනට ලොව පවතින විශාලතම කොරල් පරය ලෙස සැලකෙන, මහා බාධක කොරල් පරය, මේ වනවිට විශාල අභියෝගයකට මුහුණ දී ඇති බව ඔබ දන්නවාද. දැනට වසර මිලියන 25 ක් පමණ ආයු වලඳා ඇති මෙම කොරල් පරය, මිනිස් ක්‍රියාකාරකම් නිසා, මෑත වසර 18 ක කාලයක් තුළ විරංජන අවස්ථා තුනකට මුහුණ දී තිබෙනවා. මේ වසරේ ඇති වුණු විරංජනයෙන් එහි 1/4 පමණ නැසීගොස් තිබෙනවා. නමුත්, තවමත් මෙහි අතැම් කොටස් නැසීගොස් නැති බව විද්‍යාඥයන් පවසන අතර, මෙය සංරක්ෂණය කිරීමට පියවර රැසක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.