2016 වසරේ දෙසැම්බර් මාසයට අයත් විද්‍යා පණිවුඩ

23

සිකුරාදා

අද විදු වදන

සැබෑ හිම තුහින වලින් නත්තල් ගස් සැරසීම අපට නම් කළ නොහැක්කකි. ඒත් ඔබේ රසායන විද්‍යා දැනුමෙන් ඊට පිළියමක් සොයාගත හැක. බොරැක්ස් ජලයේ දියකර සාදාගත් ද්‍රාවණයක් තුළ ලී හෝ ප්ලාස්ටික් වලින් සෑදූ කුඩා සැරසිලි ගිල්වාගත් විට ඒවා හිම වලින් වැසුණු ඒවා ලෙසට දිස්වේ. මෙම ‘බොරැක්ස් හිම කැට’ වලින් ඔබේ නත්තල් ගස ද සරසා ‍එළඹෙන සමයේ විනෝද වන්න.


22

බ්‍රහස්පතින්දා

අද විදු වදන

රාත්‍රියේ නිහඬියාව රකිමින් දඩයම් කිරීමේ හැකියාවක් තිබීම නිශාචර දඩයම්කරුවන් හට විශාල වාසියක්. මොවුන් අතරින් බස්සන් හට හඬක් නොනැගෙන ලෙස පියෑඹීමේ අපූරු හැකියාවක් හිමියි. ඔවුන්ගේ පිහාටු වල දාරයේ ඇති දැති ස්වාභාවය නිසා විශාල ශබ්ද තරංග කුඩා තරංග වලට කඩා අවශෝෂණය කරගැනීමට ඔවුන්ට පුළුවන්. මෙම තාක්ෂණය යොදා ගනිමින් මේ වනවිට ශබ්දය අවම ගුවන් යානා පවා නිපදවනවා.


21

බදාදා

අද විදු වදන

රෝද හා එන්ජිම් නොමැති, එනමුත් ඉතා වේගයෙන් ධාවනය වන දුම්රිය ඇති බව ඔබ දන්නවාද? එසේ නම් ඒවා ධාවනය වන්නේ කෙසේද? මේවා චුම්භක ක්ෂේත්‍ර යටතේ ක්‍රියාත්මක වන අතර පොදුවේ ‘Maglev දුම්රිය’ ලෙස හැඳින්වේ. මෙම අධිවේගී දුම්රිය පීලි පද්ධතිවල චුම්භක බල මගින් දුම්රිය එසවීමට සලස්වා වේගයෙන් හා ස්ථායිව ධාවනය කරයි.


20

අඟහරුවාදා

අද විදු වදන

ඔබ නිදා සිටින සර්පයෙකු කෙදිනක හෝ දැක තිබෙනවා ද? සියලු දෙනාම පාහේ “නැත” යැයි පවසනු ඇත. ඒ සර්පයෙකු නිදා සිටින විටද ඔවුන් ඇස් ඇරගෙන සිටින බැවිනි. මෙයට හේතුව සර්පයින්ට ඇසිපිය නොමැති වීමයි. ඔවුන්ගේ ඇස් තනි අක්ෂි පටලයකින් ආවරණය වී ඇත. මෙමගින් ඇස් අනවශ්‍ය ලෙස වියළීම වළකා ආරක්ෂාව සලසා දෙයි.


19

සඳුදා

සතියේ පැනයට පිළිතුර

පෘථිවිය මත දී ගුරුත්වය නිසා දේහයේ පහළ කොටස්වල රුධිරය එකතු වේ. මේ නිසා මොළයේ රුධිර පීඩනය පාද ආශ්‍රිත රුධිර පීඩනයට වඩා අඩුය. නමුත් අභ්‍යාවකාශයේ දී අඩු ගුරුත්ව බලය නිසා සිරුරේ පහළ ඇති තරලමය ද්‍ර‍ව්‍ය ඉහළට පැමිණ මුහුණ ආශ්‍රිත ප්‍රදේශයේ එක් රැස් වී මුහුණ ඉදිමුණු ස්වරූපයක් පෙන්වයි. හිසේ රුධිර පීඩනය ද සාමාන්‍ය අගයට වඩා ඉහළ යන නිසා, අපගේ මොළය දේහයේ රුධිර පරිමාව වැඩිවී ඇති බව සිතා ජලය වැඩිපුර බැහැර කිරිමට ක්‍රියා කරයි. එබැවින් සමස්ත දේහ තරල මට්ටම අඩුවේ.


16

සිකුරාදා

සතියේ පැනය

ගගණගාමින් දීර්ඝ අභ්‍යවකාශ ගමන් වලට සහභාගි වී පැමිණි විගස ඔවුන්ගේ මුහුණු තරල වලින් පිරී ඉදිමී ගිය ස්වභාවයක් පෙන්වනවා නේද? නමුත් ඔවුන්ගේ සමස්ථ දේහ තරල මට්ටම සලකා බලන විට ආරම්භක අගයට වඩා සියයට 22ක පමණ අඩුවක් පෙන්වයි. මෙලෙස සිදුවීමට හේතු පහදන්න.


15

බ්‍රහස්පතින්දා

අද විදු වදන

හුරතල් පූසන් මිත්‍රශීලී බව පෙන්වීමට පුරු පුරු ගානා බව ඔබත් දැක ඇති. නමුත් ඔවුන් පුරු පුරු ගාන්නේ එලෙස උද්යෝගයෙන් සතුටින් සිටින විට පමණක්ම නොවන බව ඔබ දැන සිටියාද? ඔවුන් විවිධ අවස්ථා වල විවිධ ආකාරවලට හඬ නගන අතර ඒ අනුව පුරු පුරු ගෑමේ අරමුණ ද වෙනස් වේ. හර්ට්ස් 26ක සංඛ්‍යාතයෙන් පුරු පුරු ගෑම පූසන්ගේ පටක පුනර්වර්ධන වේගය ඉහළ නංවා තුවාල වලින් ඉක්මන් සුවය ලබාදේ.


14

බදාදා

අද විදු වදන

ගුවන් ගමනක යෙදෙන අතරවාරයේදී මදක් විමසිල්ලෙන් සිටියේ නම් යානයේ ඇති සියලු ජනෙල් රවුම් හැඩැති බව ඔබටත් පසක් වන්නට ඇති. අනෙක් ජනෙල් මෙන් මේවාද කොටු හැඩැති නොවන්නේ ඇයි? කොටු හැඩැති ජනෙල්වල තියුණු කොන් ඇති නිසා ඉහළ අහසේ පියාසර කරන විට එම ලක්ෂ මත අධික පීඩනයක් යෙදී යානය පුපුරා යා හැක. නමුත් වක්‍රාකාර විට එවන් ලක්ෂ නොමැති නිසා, ඇතිවන පීඩන වෙනසින් හානියක් සිදු නොවේ.


9

සිකුරාදා

අද විදු වදන

මුහුදු මං‍කොල්ලකරුවන් එක් ඇසක් රෙදි කඩකින් වසාගෙන සිටින්නේ ඇයි? එම ඇස දරුණු ලෙස තුවාල වී ඇති නිසා නම් නොවේ. එසේ නම් ඇයි? ඒ එම ඇස අඳුරේදී දෘෂ්ටිය සඳහා හුරු කරලීමටයි. තද අව්වේ සිට අඳුරු ස්ථානයකට පැමිණි විට පැහැදිලි දෘෂ්ටියක් සඳහා පූර්ණව අනුවර්තනය වීමට මානව ඇසට විනාඩි 25ක් පමණ ගතවේ. මුහුදු මං‍කොල්ලකරුවන් නැව් තට්ටුව යටට විත් සටන් කරන විට තම රෙදිකඩ අනෙක් ඇසට මාරුකර කලින් වසාගෙන සිටි එනම් අඳුරට හුරුවූ ඇස භාවිතයෙන් අවට දකියි.


8

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ක්‍රීම් ක්‍රැකර් වැනි විස්කෝතුවල තැනින් තැන සිදුරු තිබෙනවා නේද? එය අලංකාරය සඳහා එක්කළ සැරසිල්ලක් නම් නොවේ. මෙමගින් විස්කෝතුවේ විශාල වා සිදුරු ඇතිවීම වළකයි. තවද පැතලි ස්වභාවය රැකදෙමින් එය අනවශ්‍ය ලෙස පිපීමට නොදී අන්තර්ගත වාෂ්ප පිටව යාමට සලස්වයි. මේ නිසා අපට කර කර ගා හැපෙන විස්කෝතුවක මිහිර විඳීමට හැකිවේ.


7

බදාදා

අද විදු වදන

අභ්‍යවකාශයේ දී අපට ශ්‍රවනය කළ නොහැකි බව දන්නවාද? ඒ එහි ඇති වායු අංශු ප්‍රමාණය ඉතා අල්ප අතර අංශු කම්පනයකින් තොරව ශබ්ද තරංග සම්ප්‍රේෂණය නොවන නිසාය. එසේ නම් ගගණගාමීන් ඔවුනොවුන් අතර කතාබස් කරගන්නේ කෙසේද? ඔවුන්ගේ හිස්වැසුමට සවිකළ උපාංගයක් හරහා ඔවුන් පවසන දෑ එනම් ශබ්ද තරංග, රේඩියෝ තරංග බවට පරිවර්තනය කර සම්ප්‍රේෂණය කරයි. රේඩියෝ තරංග යනු විද්‍යුත් චුම්භක විකිරණ ආකාරයක් නිසා ඒවා රික්තයක් හරහා වුව ප්‍රචාරණය වේ.


6

අඟහරුවාදා

අද විදු වදන

පවුම් හයසීයක් පමණ බරැති හොඳින් වැඩුණු බූවල්ලෙකුට සත දහයේ කාසියක් තරම් කුඩා සිදුරකින් රිංගා යා හැකි බව ඔබ දන්නේද? ඒ ඔවුන්ට අස්ථි හෝ කිසිඳු බාහිර සැකිල්ලක් හෝ නොමැති බැවිනි. අප කෙතරම් යෝගා පංති වලට ගොස් පුහුණු වුවද මෙතරම් නම්‍යශීලී වීමට නොහැකි වනු ඇත. ඒ අපට අස්ථි ඇති බැවිනි.


5

සඳුදා

සතියේ පැනයට පිළිතුර

සීතල ජලය හමුවේ අපේ දේහ උෂ්ණත්වයද පහළ යයි. ක්ෂණික උෂ්ණත්ව වෙනස නිසා තිගැස්මක් ඇතිවී අනුවේගී ස්නායු පද්ධතිය උත්තේජන‍ය වේ. එනිසා ඇඩ්‍රිනලින් හෝමෝනය ස්‍රාවය වීමෙන් හෘද ස්පන්දන වේගය වැඩිවී අප අවදි වේ. සිරුරේ උෂ්ණත්වය වැඩි කිරීමට අවශ්‍ය ලෙස පරිවෘත්තීය ශීඝ්‍රතාවද වැඩිවීමෙන් නිදිමත ගතිය පහව ගොස් ප්‍රාණවත් බවක් ලබාදේ.


2

සිකුරාදා

සතියේ පැනය

ඔබත් ඉර මුදුන් වන තුරු නිදාගන්නා අයෙක් නම් එක් වරක් හෝ වතුර බාල්දි ප්‍රහාරයකට ලක්ව ඇති. එවන් සීතල ජල පහරක් හමුවේ සැබැවින්ම නිදිමත හා වෙහෙසකර ගතිය පහව යයි. ඒත් ඒ කෙලෙසද?


1

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මාළු වැනි ආහාර පිසීමේදී ඒවායේ පිලී ගඳ අත්වල රැඳීම පොදු ප්‍රශ්නයකි. මළ නොබැඳෙන වානේ හැන්දක් දිගේ අත පිරිමැදීමෙන් මෙම අප්‍රසන්න ගන්ධය ඉවත්කළ හැකි බව දැන සිටියාද? ඒ පිහියේ ඇති ලෝහ මගින් මාළුවල ඇති සල්ෆර් සංයෝග උරාගන්නා බැවිනි. මෙම රසායනය භාවිතයෙන් අද වන විට මළ නොබැඳෙන වානේ සබන් පවා නිපදවා ඇත.