2017 වසරේ ජනවාරි මාසයට අයත් විද්‍යා පණිවුඩ

31

අඟහරුවාදා

අද විදු වදන

පලතුරු ආදිය කල් තබා ගැනීමට සීනි එකතු කිරීම අපට අලුත් දෙයක් නොවෙයි. මෙමගින් පලතුරු වල රසය ඔප්නංවා ස්වභාවික පැහැය, වයනය හා හැඩය රැකගත හැක. සීනි වලට මෙම අපූරු ශක්‍යතාව හිමි වූයේ කෙසේද? ආහාර නරක් වීමට මූලික හේතුව ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයයි. ජලය කෙරේ අධික බන්ධුතාවයක් දක්වන සීනි වල දෘඩ ස්ඵටිකරූපී ස්වරූපය නිසා එය ආහාර වල ඇති නිදහස් ජල අංශු ඇද ඉවත් කර ක්ෂුද්‍ර ජීවී වර්ධනය අඩාල කරයි.


30

සඳුදා

සතියේ පැනයට පිළිතුර

නාන කරාමයෙන් ගලන ජලය සමඟ ඒ අසල ඇති වාතය ද පහළට චලනය වේ. බ’නුලි මූලධර්මයේ දැක්වෙන පරිදි, වාතයේ වේගය වැඩි ස්ථානයක දී ඇති පීඩනය අඩු ය. මේ නිසා තිරය ඇතුළත පීඩනය, පිටත ඇති පීඩනයට වඩා අඩු වේ. මෙම පීඩන වෙනසේ ප්‍රතිඵලයක් ලෙස, තිරය ඇතුළු පැත්තට චලනය වේ.


27

සිකුරාදා

සතියේ පැනය

සමහර විට අද උදෑසනත් ඔබට මෙය සිදුවන්නට ඇති. නාන කාමරයට ගොස් නාන කරාමය විවෘත කර මද වේලාවකට පසු එහි ඇති තිරය ඔබ දෙසට ඇදී ආවා ද? උණු ජලයෙන් වුවද සීත ජලයෙන් වුවද ස්නානය කරන විට, යොදා ඇති තිරය සැහැල්ලු එකක් නම් එය මෙලෙස ෂවරය පැත්තට ඇදී ඒමට හේතුව පහදන්න.


26

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සීතල වැසි සහිත දින වලදී වාහන වීදුරුවේ මීදුම බැඳීම සුලභ සිදුවීමකි. වාහනය තුළ තෙත කුඩ හා තෙමුණු කබා ආදිය ඇති විට මේ බලපෑම තවත් ඉහළ යයි. ඒත් ඇයි? මීදුම බැඳෙන්නේ වාහනය තුළ පරිසරය ජල වාෂ්ප වලින් සංතෘප්ත වී, ජනේලය තුෂාර අංකය දක්වා සිසිලනය වීම නිසා බව මීට පෙර අපි පැවසුවෙමු. කුඩ හා කබා වල ඇති ජල අංශු ප්‍රමාණය අධික විට රථය ඇතුළත වාෂ්ප වලින් සංතෘප්ත වීමේ ඉඩකඩ ද ඉහළ යයි.


25

බදාදා

අද විදු වදන

සාමාන්‍ය ගුවන් යානා වලට වඩා ඉහළට පියාසර කළ හැකි නවමු ගුවන් යානා නිපදවීමට අනුප්‍රාණය වී ඇත්තේ Humpback තල්මසුන් බව කීවොත් ඔබ විශ්වාස කරනවාද? ඔවුන්ගේ ලය වරල් වල ඇති නෙරීම් සහිත සුවිශේෂී සැකැස්ම සියුම් කෝණයන්ගෙන් හැරීමටත් කැරකීමටත් ඔවුන්ට හැකියාව ලබාදෙයි. සංචලනය පහසු කරමින් සොබාදම නිමවූ මෙම අපූරු ව්‍යුහය ආශ්‍රය‍ෙන් නෙරීම් සහිත ගුවන් යානා තටු නිපදවා ඇත.


24

අඟහරුවාදා

අද විදු වදන

ආහාර වේලකට වහාම පසුව තේ පානය කිරීම එතරම් යෝග්‍ය නොවන බව ඔබ අසා තිබේද? ඒ ඇයි කියා දන්නවාද? තේ වල අඩංගු ටැනින්, ප්‍රෝටීන් හා සංයෝජනය වී අවසාදිතයක් සාදා ආහාරයේ ඇති ප්‍රෝටීන මෙන්ම යකඩ අයන අවශෝෂණය දුර්වල කරයි. මෙලෙස දීර්ඝ කාලීනව පුරුද්දක් ලෙස ආහාර ගැනීමෙන් පසු තේ පානය කිරීම යකඩ ඌනතාවයට අත වැනීමකි.


23

සඳුදා

සතියේ පැනයට පිළිතුර

මල් නැවුම්ව තබා ගැනීමට නම් ක්‍රමවත් පරිදී ජල පරිවහනයක් සහ ජල සැපයුමක් තිබිය යුතුය. මල් බඳුනට දමන විට නටුවේ ශෛලමයට වායු බුබුළු ඇතුළු වී එහි ජල පරිවහනයට බාධා විය හැක. තවද දණ්ඩ අග්‍රයේ සෛල ක්‍රමයෙන් අජීවී වී ජල අවශෝෂණ හැකියාව අඩුවිය හැක. දණ්ඩ අග්‍රයෙන් සිඳ ජල අවශෝෂණ හැකියාව අධික සජීවී සෛල නිරාවරණය කිරීම සහ අඛණ්ඩ ජල කඳක් පවත්වා ගැනීම හරහා ශාක දිගු කාලයක් නැවුම්ව තබා ගත හැක.


20

සිකුරාදා

සතියේ පැනය

බඳුන් වලට දමන නැවුම් මල්, බඳුනට දමන මොහොතේ දී සහ බඳුනේ ඇති ජලය මාරු කරන සෑම අවස්ථාවකමත් මල් වල දණ්ඩ අග්‍රය‍ෙන් තියුණු පිහියකින් සිඳිණු ලබයි. මෙලෙස නැවත නැවතත් මල් දණ්ඩේ අග්‍රය කපා දැමීමට හේතුව පහදන්න.


19

බ්‍රහස්පතින්දා

අද විදු වදන

උණ කටු වල බහුලව භාවිතා කෙරෙන ද්‍රවය වන්නේ රසදියයි. ඔබ අතින් කෙදිනක හෝ ගෙදර ඇති උණ කටුව කැඩී රසදිය පිටතට ඉහිරී තිබේද? එම රසදිය රත්‍රං මුදුවක හෝ වෙනත් රත්‍රං ආභරණයක ගෑවුණහොත් ඒවායේ සැබෑ ප්‍රභාව නැති වී රිදී පැහැයට හුරු ද්‍රව්‍යයක් සෑදෙයි. ඒත් ඇයි? මෙයට හේතුව රත්‍රං රසදිය සංරසීකරණයට ලක්වීමයි. එනිසා මින් පසු උණ කටුව භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන්න.


18

බදාදා

අද විදු වදන

ලැප්ටොප් බෑග් ඇතුළත, සපත්තු වල, ජැකට් වල සිපර් වෙනුවට යොදන වෙල්ක්‍රෝ පටි ඔබට මතකද? එසේ නම් මෙම පටි සහ අපේ ඇඳුම්, සතුන්ගේ ලොම් ආදියට ඇමිණෙන තුත්තිරි කටුවල ක්‍රියාකාරිත්වය අතර සමානත්වයක් ඇති බව හඳුනා ගත්තාද? වෙල්ක්‍රෝ පටි නිපදවීමේ අදහස සඳහා මූල බීජය වී ඇත්තේ, පහසුවෙන් ඇමිණීමටත් ගැලවීමටත් හැකියාව ඇති මෙම තුත්තිරි කටු අග ඇති කොකු වල සැකැස්මයි.


17

අඟහරුවාදා

අද විදු වදන

මීයන් සාමාන්‍යය‍ෙන් ධාන්‍ය, සීනි, මාංශ වැනි අසුවන ඕනෑම දෙයක් ආහාරයට ගනියි. එනමුත් ලොකුම ගින්න බඩගින්න බව පසක් කරමින්, හාමතේ සිටින මීයෙකු තමාගේම වලිගය කා දැමීමට පෙළඹ‍ෙන බව ඔබ දන්නවාද? එසේ කා දමන වලිගය නැවත වර්ධනය වන්නේද නැත.


16

සඳුදා

සතියේ පැනයට පිළිතුර

සාමාන්‍යයෙන් ගින්නක් දැල්වීම සදහා ඉන්ධන, ඔක්සිජන් හා ජ්වලන උෂ්ණත්වය තිබිය යුතුය. තෙත දර වල ජල අංශු ද අඩංගු බැවින් ජ්වලන අංකය ඉහළය. ඒනිසා දැල්වීමේදී විශාල තාප ප්‍රමාණයක් සැපයිය යුතුය. හුළුඅත්තකින් හෝ ගිනි පන්දමකින් මෙම තාප ශක්තිය සැපයිය හැකි වුවද ගිනි පුළිගුවක ඇති තාපය ඊට කිසිසේත් ප්‍රමාණවත් නොවේ. දර වල තෙතමනය නිසා පුළිඟුව නිවී යාමට පවා හැක.


13

සිකුරාදා

සතියේ පැනය

11

බදාදා

අද විදු වදන

දිගු වියළි කාලයකට අනතුරුව තද වැස්සක් ඇද හැලුණු පසු දැනෙන ප්‍රසන්න නැවුම් සුවඳ ඔබත් අත්විඳ තිබෙනවාද? මෙය අහසින් රැගෙන එන්නක් නොව පොළොවෙන්ම ජනනය වන්නකි. පසේ සිටින ඇතැම් බැක්ටීරියාවන් වියළි කාලයේදී විශේෂ බීජාණු නිපදවයි. එම ක්‍රියාවලියේදී ‘Geosmin’ නම් රසායන ද්‍රව්‍ය මුදාහැරේ. පතිතවන වැහි බිඳු මෙම බීජාණු වාතයට නිදහස් කරන අතර විසුරුම්කාරක ලෙස ක්‍රියාකර geosmin වල සුවඳ අප කරා ව්‍යාප්ත කරයි.


10

අඟහරුවාදා

අද විදු වදන

අඩි තුනක් පමණ උස ගසකින් ගිලිහුණු ජම්බෝල ගෙඩියකට කිසිඳු කැපී පෙනෙන බාහිර හානියකින් තොරව පොළොවට පතිත විය හැකි බව ඔබ දන්නවාද? මෙහි රහස නම් කම්පන හමුවේ ජම්බෝල ගෙඩියේ පොත්ත දක්වන සුවිශේෂී ප්‍රතිරෝධයයි. සොබාදහම පෙන්වන මෙම විශිෂ්ට යාන්ත්‍රික ගුණය ඇසුරු කරගෙන අද වන විට කම්පන හොඳින් අවශෝෂණය කළ හැකි සැහැල්ලු ‍ලෝහ තහඩු නිපදවීමට පවා පෙළඹී ඇත.


9

සඳුදා

සතියේ පැනයට පිළිතුර

යම් වස්තුවක් අපට කෙතරම් විශාලව දිස්වේද යන්න එය ඇස මත ආපාතනය කරන කෝණය මත රඳා පවතී. දෘෂ්ඨි කෝණය කුඩා නම් ඒවා කුඩාවට දිස්වන අතර දෘෂ්ඨි කෝණය විශාල නම් ඒවා විශාලව දිස්වේ. ඈතින් පිහිටි රේල් පීලි අතර පරතරය ඇස මත ආපාතනය කරන කෝණය, ආසන්නයේ ඇති පීලි අතර පරතරය ආපාතනය කරන කෝණයට වඩා කුඩාය. ඒ නිසා ඈතට යත්ම එම සමාන්තර රේඛා අතර පරතරය අඩුවී අභිසරණය වන්නා සේ පෙනේ.


6

සිකුරාදා

සතියේ පැනය

එකිනෙකට සමාන්තර දිගු රේල් පීලි දෙකක් අතර සිටගෙන ඒ දෙස බලන විට දිස්වන්නේ එම පීලි දෙක පොදු ලක්ෂයක් කේන්ද්‍ර කරගෙන අප වෙතට විහිදී එන්නාක් මෙන් නේද? සැබැවින්ම එකිනෙකට සමාන්තරව පිහිටි මෙම පීලි අභිසරණය වූ රේඛා ලෙස අපට පෙනීමට හේතුව කුමක්ද?


5

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ජපානයේ ඇපල් වගා කරුවන් ඉතා සරල සූක්ෂම ක්‍රම හරහා වඩා විශාල, පැණි රස ඇපල් නිපදවා තම ඵලදාව වැඩිකර ගන්නා බව දන්නවාද? ඔවුන් ඵලදාව නෙලීමට ආසන්නයේ ගසෙහි පොත්ත වටා සියුම් සර්පිලාකාර කැපුම්‍ ඇති කරයි. මෙමගින් ශාක පත්‍ර වල සිට, ප්ලෝයම යුෂය මුල් කරා ප්‍රවාහනය වීමට බාධා ඇති කෙරේ. එනිසා පත්‍ර වල සංස්ලේෂණය කෙරෙන සීනි වලින් වැඩි ප්‍රමාණයක් ඇපල් ගෙඩි වෙත ගමන් කර වඩා රසවත් ඵලදාවක් ලබා දෙයි.


4

බදාදා

අද විදු වදන

සුදෝ සුදුවන් දත් දෙපළක් ඔබට අහිමි නම් ඔබේ දන්ත සෞඛ්‍ය ගැන දැන්ම සැලකිලිමත් වන්න යැයි පවසන දන්තාලේපන ප්‍රචාරක දැන්වීම් ඔබ කොතෙකුත් දැක ඇති. එහෙත් සැබැවින්ම සවිමත් දත් වල ස්වභාවික පැහැය මද වශයෙන් කහ පැහැයට හුරු බව දැන සිටියාද? විරංජනකාරක භාවිතයෙන් එනැමලය ඔප දැමීම හරහා දත් සුදු කරගත හැකි වුවද එහිදී දත් ස්ථිරවම දුර්වල වීම නොවැළැක්විය හැක. එලෙස ඔප දමන ලද දත් දිරායාමේ ඉඩකඩ ද වැඩිය.


3

අඟහරුවාදා

අද විදු වදන

නිල් තල්මසෙකුට ගිල දැමිය හැකි විශාලම දෙය කුමක් විය හැකිද? ඔබ සිතන්නේ ඒ කුඩා නැවක්, කාරයක් හෝ ඇතැම් විට මිනිසෙකු කියා නේද? නමුත් සැබෑවටම නිල් තල්මසෙකුට ගිල දැමිය හැකි විශාලම දෙය මිදි ගෙඩියකි. ඒ උගේ උගුරු දණ්ඩ ඉතා පටු බැවිනි. ඔවුන් ආහාරයට ගන්නේ ප්ලවාංග, කුඩා මසුන් හා ක්‍රස්ටේෂියාවන් ආදියයි. නමුත් උගේ ආමාශයික යුෂය තත්පර 15ක් වැනි කෙටි කාලයක් තුළ අපට මරණය අත්කර දීමට තරම් ප්‍රබලය.


2

සඳුදා

අද විදු වදන

සුළං හමන බව හඳුනා ගන්නේ කෙසේදැයි ඇසුවහොත් එය ගතට දැනෙන බවද කනට ඇසෙන බවද ඔබ පවසනු ඇත. නමුත් සැබැවින්ම අනවරත සුළං ප්‍රවාහයක් වස්තුවක ගැටෙන තුරු කිසිඳු හඬක් නොනගන බව දැන සිටියාද? එ් ස්ථාවර සුළඟක සෑම තැනම පීඩනය නියත බැවිනි. ශබ්දය ඇති වන්නේ පීඩන වෙනසක් හටගත් විටයි. සුළං හමන දිශාව ඔබට වෙනස් කළ නොහැක. නමුත් හමන සුළඟට අනුව රුවල හසුරුවා ගතහොත් නව වසරේ ඔබේ ඉලක්ක කරා නොසැලී යාත්‍රා කිරීමට හැකි වනු ඇත.