2017 වසරේ පෙබරවාරි මාසයට අයත් විද්‍යා පණිවුඩ

28

අඟහරුවාදා

අද විදු වදන

පොකුණක වුවද බෝතලයක වුවද තිබෙන ජලය, පෘථිවි ගුරුත්වාකර්ෂණ බලයට හසුවූ විට එය අඩංගු බඳුනේ හැඩය අත්කර ගනියි. නමුත් අභ්‍යවකාශයේ දී ගුරුත්වය හීන තත්ව යටතේ ද්‍රවයන් ඒවා අඩංගු බඳුන් වල හැඩය නොගෙන, ද්‍රව බිංදු ලෙසට පැවතිය හැකි බව ඔබට විශ්වාස කළ හැකි ද? අවම පෘෂ්ඨීක ආතතියක් ඇතිකර ගැනීම සඳහා මෙලෙස ගෝලාකාර හැඩයට ද්‍රව බිංදු සකස් වේ.


27

සඳුදා

අද විදු වදන

ඈත අතීතයේ විසූ රුසියානුවන්, කිරි වල නැවුම් බව ආරක්ෂා කර ගැනීම සඳහා කිරි බාල්දි වලට සජීවී ගෙම්බන් දැමූ බව ඔබ අසා තිබෙනවාද? බොහෝ අය යල් පැන ගිය පැරණි විශ්වාසයක් යැයි සිතූ මෙම ක්‍රියාවලිය අත්හදා බැලූ විද්‍යාඥයින් පිරිසකට, ඇතැම් ගෙම්බන්ගේ සම‍ෙන් අගනා ප්‍රතිජීවක ස්‍රාවය වන බව සොයා ගැනීමට හැකි වී ඇත.


23

බ්‍රහස්පතින්දා

අද විදු වදන

අපි සබන් යොදා අත් සෝදන විට නැගෙන පෙණ සුදු පාටයි නේද? පාට පාට සබන් යොදා ඇතිල්ලුව ද සෑදෙන පෙණ, එම අදාල වර්ණයන්ගෙන් දිස් නොවී මෙලෙස සුදු පැහැයක් ගන්නේ ඇයිදැයි දන්නවාද? මේවාට වර්ණක යොදන්නේ ඉතා සුළු ප්‍රමාණයකි. පෙණ සෑදෙන්නේ කුඩා සබන් බුබුළු රාශියක් එකතු වීමෙනි. මෙම බුබුළු වල පෘෂ්ඨ හරහා ආලෝකය සෑම දිශාවකටම ප්‍රකිරණය වන නිසා සබන් පෙණ දෘශ්‍ය ආලෝකයේ පැහැය වන සුදු පාටින් දිස් වේ. කෙසේ වෙතත් අප ඒකවර්ණ ආලෝකය යෙදූ කාමරයක සිටියේ නම් මෙම පෙණ එම එළියේ පාටින් දිස් වීමට හැක.


22

බදාදා

අද විදු වදන

මඤ්ඤොක්කා කෑමෙන් පසු ඉඟුරු හෝ ඉඟුරු අඩංගු ආහාර ගැනීම සුදුසු නැති බව අපට නිතර ඇසෙන කියමනක්. මඤ්ඤොක්කා සහ ඉඟුරු එකට මුසුවීම අවදානම් සහගත වන්නේ කෙලෙසද? ඉඟුරු වල ඇති Linamarase එන්සයිමය මගින් සයනයිඩ් සංයෝග, අපේ සිරුරට මාරාන්තික විය හැකි හයිඩ්‍රජන් සයනයිඩ් බවට පරිවර්තනය උත්ප්‍රේරණය කරයි. නිසි ලෙස පිසීමට ලක් නොකළ මඤ්ඤොක්කා වල සයනයිඩ් සංයෝග අඩංගු විය හැක.


21

අඟහරුවාදා

අද විදු වදන

තණ පිට්ටනි මත වැතිරී සෙල්ලම් කිරීම ආස්වාදජනක වුවත්, ඇතැම් විට එයින් පසු අපේ අත පය කැසීමට පටන් ගන්නවා නේද? තණකොළ වල ගෑවුණු විට මෙලෙස සමේ කැසීමක් ඇතිවන්නේ ඇයි? මෙම පත්‍රවල දාරයේ ඇති දැති සහිත ස්වභාවය නිසා අපේ සමේ කුඩා කැපුම් ඇති විය හැක. තවද තණකොළ වල ඇති බූව සහ ඒවායේ ස්‍රාවයන් ද කැසීමේ සංවේදනය ඇති වීමට හේතු වේ.


20

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ශීත පරිසරයක ඇති වාතය සාමාන්‍යය‍ෙන් වියළියි. ඒ නිසා එහි ආර්ද්‍රතාවය වැඩි කිරීම සඳහා නාසයට ඇති රුධිර සැපයුම වැඩි වී ශ්ලේෂ්මල නිෂ්පාදනය වැඩි වේ. එමෙන්ම අප සෑම ප්‍රශ්වාසයකදීම ජල වාශ්ප යම් ප්‍රමාණයක් ද පිට කරයි. පරිසරයේ ඇති සිසිලස හමුවේ මේවා ද ජල බිඳු බවට ඝනීභවනය වී නාසය තුළින් සොටු සමඟ ගලා යයි.


17

සිකුරාදා

සතියේ පැනය

ශීත කාලගුණයක් ඇති විට නාසය බුරුල් වී සොටු ගැලීම සුලභ සිදුවීමකි. අවට පරිසරයේ උෂ්ණත්වය අඩුවන විට මෙලෙස වැඩිපුර නාසය බුරුල් වීමට හේතු පහදන්න.


16

බ්‍රහස්පතින්දා

අද විදු වදන

බොහෝ දෙනෙක් ඌරන්ව හංවඩු ගසා ඇත්තේ අපිරිසිදු, ගඳ ගහන, බඩජාරී සත්ව වර්ගයක් ලෙසටයි. මඩ වගුරු වල ලගින්නට ඔවුන් දක්වන කැමැත්ත මීට ප්‍රධාන හේතුවකි. නමුත් සැබැවින්ම ඌරන්ට ඇත්තේ ස්වේද ග්‍රන්ථි ස්වල්පයක් නිසා මෙලෙස මඩ නෑම ඔවුන්ගේ දේහය කාර්යක්ෂම ලෙස සිසිල් කර ගැනීමට ඉවහල් වේ. තවද අව්වට පිළිස්සීමෙන් ආරක්ෂා වීමට හා කිනිතුල්ලන් වැනි සතුන් ඉවත් කර ගැනීමට ද උපකාරී වේ.


15

බදාදා

අද විදු වදන

‘Touch screen’ සහිත ජංගම දුරකථන දැන් අපට අළුත් දෙයක් නම් නොවේ. සාමාන්‍ය වීදුරු කැබැල්ලක් ස්පර්ෂ කිරීමෙන් පසු ඉතිරි වන්නේ අපේ ඇඟිලි සලකුණු පමණක් වුවද, මෙම නවමු ජංගම දුරකථන වල සියලු ක්‍රියා සිදුවන්නේ එහි තිරය ස්පර්ෂ කිරීම හරහාය. ඒත් ඒ කොහොමද? ඒවායේ තිරයට යටින් විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති අතර එය ස්පර්ෂ කිරීමේ දී අපේ ඇඟිලි වලට ද යම් ආරෝපණ ප්‍රමාණයක් ගමන් කරමින් ධාරිත්‍රකයක මෙන් සංවෘත විද්‍යුත් පරිපථයක් නිර්මාණය වේ.


14

අඟහරුවාදා

අද විදු වදන

විවිධාකාරයේ පෘෂ්ඨයන්ට ඇලී ඒවා දිගේ ඕනෑම අතකට ගමන් කිරීමටත්, අවම ශක්තියක් වැය කරමින් එම පෘෂ්ඨ වලින් ක්ෂණිකව නිදහස් වීමටත් හූනන්ට පුළුවන. මෙම විස්මිත හැකියාව ලබාදෙන ඔවුන්ගේ පාද වල ඇති අද්විතීය සැකැස්ම අනුුසාරයෙන්, මිනිසුන්ට ද වීදුරු බිත්ති මතට ඇලී ඒවා දිගේ ඉහළ යා‍මේ හැකියාව ලබාදෙන අත් වැසුම් වැනි දෑ නිපදවා ඇත. නුදුරු අනාගතයේ දී මේවා ආධාරයෙන් අපට ද ස්පයිඩර් මෑන් ලෙසට ඕනෑම පෘෂ්ඨයක් දිගේ නැග යාමට හැකිවනු ඇත.


13

සඳුදා

අද විදු වදන

උස් කඳු තරණය කර යත්ම නිරායාසයෙන්ම වාගේ අපගේ ස්වසන ශීඝ්‍රතාව වැඩිවන අතර වඩාත් ගැඹුරින් හුස්ම ගැනීමට පෙළඹ‍ෙනවා නේද? එහෙත් ඇයි? උස්බිම් වලදී වායු පීඩනය අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස අවට වායුගෝලය හා අපගේ පෙනහලු අතර ඇති පීඩන අනුක්‍රමණය අඩුවේ. එ් නිසා සෑම ආශ්වාසයකදී ම සිරුරට ඇතුළුවන වායු පරිමාව ද අඩුවේ. එබැවින් සිරුරේ පවතින ඔක්සිජන් අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා වඩාත් වේගයෙන් හුස්ම ගනී.


9

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මුහුදු කැස්බෑවන් නිතරම ඉන්නේ කඳුළු සලමින් නේද? එහෙත් ඔවුන් මෙම කඳුළු සලන්නේ කනස්සල්ලෙන් සිටින නිසා නොව වෙනත් අවශ්‍යතාවයක් ඉටුකර ගැනීම සඳහාය. මුහුදු කැස්බෑවන් පානය කරන්නේ මුහුදු ජලය නිසා ඔවුන්ගේ දේහයේ ලවණ සංයුතිය අධික වේ. ඇස් අසල පිහිටි විශේෂ ග්‍රන්ථි යුගලක් හරහා ඔවුන් මෙම වැඩිපුර ඇති ලවණ බැහැර කරයි. කඳුළු ලෙසට දිස්වන්නේ මේවාය!


8

බදාදා

අද විදු වදන

උච්ච ස්වරයෙන් ගී ගයන ඔපෙරා ගායිකාවකගේ ගායනය හමුවේ අසන්නන් මුසපත් වන අතර වාරයේ අසල ඇති වයින් වීදුරු ඉබේ කුඩුපට්ටම් වී යන අයුරු ඔබ දැක තිබේද? මෙය කාටූන් කතා වලට පමණක් සීමා වූවක් නොව භෞතික විද්‍යාව‍ෙන් පහදා දිය හැකි සැබෑවටම සිදුවිය හැකි සත්‍යයකි. ගයන ස්වරයේ සංඛ්‍යාතය, වයින් වීදුරුවේ ස්වභාවික කම්පන සංඛ්‍යාතයට සමාන වූ විට වීදුරුව විශාල ලෙස අනුනාද වී ඇතිවන කම්පන නිසා බිඳී යාමට පවා හැක.


7

අඟහරුවාදා

අද විදු වදන

කහට තේ කෝප්පයකට ඉඟුරු කෑල්ලක් එකතු කිරීම, එහි රසත් වැඩිකර සෞඛ්‍යමත් දිවියකට අගනා වාසි රැසක් ද ගෙන දෙයි. එහෙත් කිරි තේ වලට සීනි එකතු කර මද වේලාවක් තැබූ විට එය අර්ධ ඝන වී අප්‍රසන්න තත්වයකට පත්වෙනවා නේද? ඇයිදැයි කියා දන්නවාද? මෙයට හේතුව වන්නේ ඉඟුරු වල අඩංගු 70°Cට වඩා අඩු උෂ්ණත්ව වලදී ක්‍රියාකාරී වන ප්‍රෝටියේස් එන්සයිමය මගින් කිරි කැටිගැසීමට ලක් කිරීමයි.


6

සඳුදා

සතියේ පැනයට පිළිතුර

අඳුරේ දෘෂ්ටිය යනු අඩු ආලෝක තත්ව යටතේ දෘෂ්ටිය යි. ඒ සඳහා වඩාත් සංවේදී මානව අක්ෂි ප්‍රතිග්‍රාහක වර්ගය වන්නේ යෂ්ටි සෛලයි. යෂ්ටි වල ඇති රොඩොප්සින් වර්ණකය සක්‍රිය වී බිඳ වැටී දෘෂ්ටි ස්නායු ආවේග ජනනය කරයි. රතු ආලෝකය සතු දිගු තරංග ආයාමය හමුවේ රොඩොප්සින් බිඳ වැටෙන්නේ සුදු ආලෝකයට වඩා සෙමින් නිසා, පමණ ඉක්මවා වර්ණක බිඳ නොවැටී අඳුරේ දෘෂ්ටිය පවත්වා ගත හැක. රතු ආලෝකය අපගමනය වන ගතිය අඩු නිසා ඉලක්ක ගැනීම ද පහසුය.


3

සිකුරාදා

සතියේ පැනය

දෙවන ලෝක සංග්‍රාම සමයේ පටන් නෞකාවල නාවිකයෝ සහ ගුවන් නියමුවෝ රාත්‍රී කාලයේ දී වටපිටාව නිරීක්ෂණය කිරීමට රතු එළි භාවිතා කළහ. ඔවුන් යුධ අවි වල ඉලක්ක හඳුනා ගැනීමට යොදාගන්නේ ද සාමාන්‍ය සුදු ආලෝකය නොව රතු ආලෝකයයි. මෙලෙසින් රාත්‍රී දෘෂ්ඨිය සඳහා රතු ආලෝකය ඉස්තරම් වීමට හේතුව පහදන්න.


2

බ්‍රහස්පතින්දා

අද විදු වදන

බෝදිලිමා අවට පරිසරයට ගැළපෙන පරිදි දේහ පැහැය වෙනස් කරමින්, දේහ උෂ්ණත්වය නියතව තබාගැනීම හා අදහස් ප්‍රකාශ කිරීම සිදුකරන බව අප කලින් පවසා ඇත. අන්ධ බෝදිලිමෙකුට පවා පරිසරයට සරිලන පරිදි පාට වෙනස් කළ හැකි බව ඔබට විශ්වාස කළ හැකිද? ඔවුන්ගේ සමෙහි ඇති ආලෝක සංවේදී වර්ණධර සෛල මගින් මෙම ක්‍රියාවලිය සිදුකරන අතර ඇස් පෙනීම හෝ නො‍පෙනීම ඊට අදාල නොවේ.


1

බදාදා

අද විදු වදන

බත්කූරන් දහවල් කාලයේ දී ශාක මත ලැගුම් ගන්නා විට ඔවුන්ගේ උදරයේ තුඩ, සූර්යයා දෙසට දිශානති වන සේ අනන්‍ය ආකාරයකට දේහය පිහිටුවා ගන්නවා නේද? ඒ ඇයි කියා දන්නවාද? මෙය දේහ උෂ්ණත්ව යාමනය සඳහා යොදාගන්නා විශේෂ උපක්‍රමයකි. මෙලෙසින් සූර්ය විකිරණ වලට නිරාවරණය වන පෘෂ්ඨ වර්ගඵලය අවම කිරීම හරහා අධික ලෙස රත් වීමෙන් හා විජලනයෙන් ආරක්ෂාව සලසා ගනියි.