2017 වසරේ මාර්තු මාසයට අයත් විද්‍යා පණිවුඩ

31

සිකුරාදා

සතියේ පැනය

සජීවී කකුළුවන් හා පොකිරිස්සන් සාමාන්‍යයෙන් දුඹුරු, අළු හෝ ඔලිව් කොළ පැහැති වේ. එහෙත් කෑම පිඟානට එක්වන පොකිරිස්සන්, කකුළුවන් දීප්තිමත් රතු හෝ තැඹිලි පැහැයක් ගන්නවා නේද? පිසීමේ ක්‍රියාවලියේ දී මෙවන් වර්ණ විපර්යාසයක් වීමට හේතුව කුමක් ද?


30

බ්‍රහස්පතින්දා

අද විදු වදන

අගනා දැව භාණ්ඩ, වේයන්ගේ ආක්‍රමණයට ලක්වීම නිසා සිදුවන අලාභය සුළුපටු නොවේ. ඝෝෂාකාරී සංගීතයට සවන් දීම මේ බලපෑම උග්‍ර කර, සිදුවන හානිය දෙගුණ කරන බව ඔබ දැන සිටියා ද? වේයන් බාහිර පරිසරයේ කම්පන, දෙදරීම් වලට සංවේදී බැවින් heavy metal වැනි රොක් සංගීත ස්වර හමුවේ ඔවුන්ට පෙරට වඩා දෙගුණයක වේගයකින් ලී කා දැමිය හැකි වේ.


29

බදාදා

අද විදු වදන

පෘථිවිය සතු ප්‍රබල ගුරුත්වාකර්ෂණ බලය හමුවේ, එය අභිභවා ඊට එරෙහිව උඩු අතට ජලය ස්වභාවිකව ගලා යා හැකි ද? සුදුසු තත්ව ඇති විට මෙය විය නොහැක්කක් නොවේ. මෙලෙස උඩුගං බලා යන ගංගාවක් ඇන්ටාක්ටිකාවේ ඇති බව කීවොත් ඔබ මවිතයට පත් වේවි! මෙම ගඟට ඉහළින් ඇති අයිස් එකතු වී ඇත්තේ සාමාන්‍යය‍ෙන් හිම ගලා යන දිශාවට විරුද්ධ දිශාවේය. මේ අසාමාන්‍ය ඉදියුම හා අයිස් තහඩු වල පීඩනය මගින්, ජල ධාරා උඩු අතට ඇද ගනියි.


28

අඟහරුවාදා

අද විදු වදන

ඔබත් කෝමාරිකා, පතොක් වැනි මාංසල පැළෑටි වල ශාක පත්‍ර වර්ධනය වීමේදී පෙන්වන අද්විතීය සර්පිලාකාර රටාව දැක අමන්දානන්දයට පත් වූවෙක් ද? ස්වර්ණ සර්පිලය ලෙස හඳුන්වන මෙම රටාව පයින් ගෙඩි සහ මල් පෙති වළලු ආදී සොබාදමේ බොහෝ නිමැවුම් වල දැකගත හැක. අලුතින් වැඩෙන ශාක පත්‍ර හමුවේ, පැරණි පත්‍ර වලට අවහිරයක් නොවී සූර්යාලෝකය හා මූල පද්ධතියට අවශ්‍ය ජලය ප්‍රශස්ත මට්ටමින් ලබා ගැනීමට මේ රටාව ඉස්තරම් වේ.


27

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ශ්‍රී ලංකාව වැනි සමකයට ආසන්න, එනම් අඩු අක්ෂාංශ අගයන් සහිත රට වල හිරු බැස යන්නේ ක්ෂිතිජයට ලම්භකවයි. නමුත් සමකයෙන් ඈත්ව ඉහළ අක්ෂාංශ වල පිහිටි රට වල හිරු බැස යන්නේ ක්ෂිතිජයට ඇලව ආනතියක් ද සමගයි. එනිසා සූර්යාලෝකයේ බලපෑම මුළුමනින් නැතිවී යාමට වැඩි වේලාවක් ගතවේ. එනම් එම ප්‍රදේශ වල එක්වරම අඳුර පැතිර නොගොස්, ගොම්මන් යාමයක් පවතී.


24

සිකුරාදා

සතියේ පැනය

එංගලන්තයට ගොස් සැන්දෑ අහස නිරික්ෂණය කළහොත් ඉර සෙමින් සෙමින් බැස යන අයුරු අපට දැකගත හැක. නමුත් ලංකාවේ දී ඉර බැස යන්නේ මීට වඩා වේගය‍ෙනි. එනම් නිවර්තන ප්‍රදේශ වල ගොම්මන් යාමය කෙටි වන අතර ඉර බැසයන විටම අඳුර පැතිර යයි. ඒ ඇයිදැයි පහදන්න.


23

බ්‍රහස්පතින්දා

අද විදු වදන

දත් මැදගත් සැනින් දොඩම් යුෂ වීදුරුවක් පානය කළහොත්, එහි සැබෑ රසය විකෘති වී ඇති බව අපට පහසුවෙන්ම හඳුනා ගත හැක. නමුත් මෙසේ වන්නේ ඇයි? දන්තාලේපන වල පෙණ දමන ද්‍රව්‍ය ලෙසට යොදන Sodium lauryl sulfate සංයෝග, පැණි රසට සංවේදී රසාංකුර වල ක්‍රියාව අඩපණ කර තිත්ත රස සඳහා වන රසාංකුර හොඳින් නිරාවරණය කරයි. මේ නිසා දත් මැදීමෙන් පසුව ගන්නා ඕනෑම ආහාරයක පැණි රස ගතිය අඩු වී තිත්ත රස ඉස්මතු විය හැක.


22

බදාදා

අද විදු වදන

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු සඳහා බිම් හාරන බැකෝ යන්ත්‍ර නැතිවම බැරිය. සොබාදමේ නිමැවුම් අතරින් බිම් හෑරීමේ විශේෂඥයා වන්නේ වැලි මීයා ය. ඔවුන්ගේ අපර ගාත්‍රා ඉතා දුර්වල නමුත්, පොළොව හෑරීමට විශේෂණය වූ කැපී පෙනෙන ශක්තිමත් පූර්ව ගාත්‍රා ඇත. ඉහත යන්ත්‍ර වල ඇති දැති සහිත කැපුම් තල නිර්මාණකරණයේ දී, මෙම පූර්ව ගාත්‍රා වල ව්‍යුහය අධ්‍යයනය ප්‍රයෝජනවත් වී ඇත.


21

අඟහරුවාදා

අද විදු වදන

සිකුරු ග්‍රහලොවේ දී ගෙවන දිනයක්, එහි ගෙවන වසරකට වඩා දිගු බව ඔබ දන්නවාද? එනම් සිකුරු ග්‍රහයා සූර්යයා වටා පරිභ්‍රමණය වීමට ගන්නා කාලයට වඩා වැඩි වේලාවක්, එයට තම අක්ෂය වටා භ්‍රමණය වීමේදී වැය වේ.


20

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ශාක ප්‍රරෝහ අග්‍රයේ නිපදවෙන ඔක්සින් නම් වර්ධක ද්‍රව්‍යය, ආලෝකයෙන් ඉවතට ගමන් කිරීමේ ප්‍රවණතාවක් පෙන්වයි. මෙලෙස ආලෝකය නොලැබෙන පෙදෙසේ එකතු වන ඔක්සින්, එහි සෛල දික් වීම උත්තේජනය කරයි. එවිට අඳුරු පැත්තේ ඇති සෛල, ආලෝකය ලැබෙන පැත්තට වඩා වැඩි වේගයකින් වර්ධනය වන නිසා ශාකය වක්‍ර වී ආලෝකය ඇති පැත්තට නැවෙයි.


17

සිකුරාදා

සතියේ පැනය

ශාක, ආලෝකය ලැබෙන දිශාවට බරව වැඩෙන බව ඔබත් හඳුනා ගෙන ඇති. අපට මෙන් ඇස් හෝ පේශි නොමැති මෙම ශාක, ආලෝකය ගලා එන දිශාව හරියටම හඳුනාගෙන ඒ පැත්තට නැමෙන්නේ කෙසේ ද?


16

බ්‍රහස්පතින්දා

අද විදු වදන

බදින ලද අල පෙති හෙවත් චිප්ස් පැකට් වල, අනෙක් සෑම ආහාරයක මෙන්ම කල් ඉකුත් වීමේ දිනයක් සඳහන් කර ඇත. එසේ වුවත් පැකැට්ටුව විවෘත කළ පසු, එහි සඳහන් දිනයට කලින්ම ඒවා පිලුණු වී රස වෙනස් වන්නේ ඇයි දැයි සිතුවා ද? ප්‍රධාන හේතුව අල පෙති වාතයේ ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කිරීමයි. එහෙත් සීල් කළ විප්ස් පැකට් වල පවා බාගෙට බාගයක් පුරවා ඇත්තේ වාතය යැයි ඔබ කියනු ඇත. නමුත් සැබැවින්ම ඒ ඇත්තේ සාමාන්‍ය වාතය නොව නයිට්‍රජන් වායුවයි!


15

බදාදා

අද විදු වදන

රික්තයක් තුළ දී පිරිසිදු ලෝහ පෘෂ්ඨ දෙකක් එකිනෙක ස්පර්ෂ කිරීම හරහා එකට සම්බන්ධ කළ හැකි ක්‍රමවේදයක් ඇති බව ඔබ දන්නවා ද? ‘සිහිල් වෙල්ඩින් කිරීම’ නම් වන මෙය සඳහා ලෝහ පෘෂ්ඨ රත් කිරීමක් අවශ්‍ය නොවේ. නමුත් සාමාන්‍ය තත්ව යටතේ මෙලෙස සිදු නොවන්නේ, පෘථිවි වායුගෝලයේ ඇති ඔක්සිජන් විවෘත පෘෂ්ඨ මත තුනී ඔක්සයිඩ පටලයක් සාදා ඉහත ක්‍රියාව වළක්වන බාධකයක් ලෙසට ක්‍රියා කරන නිසාය. එහෙත් ඔක්සිජන් නොමැති ඉහළ අභ්‍යවකාශයේ දී නම් මෙය සිදු විය හැක.


14

අඟහරුවාදා

අද විදු වදන

පරවියෙකුගේ අස්ථි, පිහාටු වලට වඩා සැහැල්ලු බව කීවොත් ඔබ එය විශ්වාස කරනවා ද? ඇත්තෙන්ම ඔවුන් සතු සියලු පිහාටු වල බරෙහි එකතුව, සැකිල්ලෙහි මුළු බරට වඩා අඩුයි. පරවි අස්ථි, වාත කුහර සහිත නිසා බරින් අඩු අතර පියෑඹීමේ දී මෙය ඔවුන්ට වාසිදායක වේ.


13

සඳුදා

සතියේ පැනයට පිළිතුර

අත් හකුළුවා ගත් විට ‍බැලේ ශිල්පිනියගේ ස්කන්ධ ව්‍යාප්තිය අඩු වී අවස්ථිතික ඝූර්ණය අඩු වේ. කෝණික ගම්‍යතාවය සංස්ථිතික කර ගැනීම සඳහා කෝණික ප්‍රවේගය හෙවත් කැරකෙන වේගය වැඩිවේ. එවිට ඇයට වඩාත් පහසුවෙන් වේගයෙන් කැරකීමට හැකි වේ. මෙලෙසම දෑත් විහිදුවන විට අවස්ථිතික ඝූර්ණය වැඩි වී කෝණික ප්‍රවේගය අඩු වන නිසා නතර වීමේදී පහසු වේ.


10

සිකුරාදා

සතියේ පැනය

බැලේ නර්තනය එයට අනන්‍ය වූ කැරකීම්, බැමුම් ආදියෙන් සමන්විත වේ. බැලේ ශිල්පිනියන් කැරකීම ආරම්භයේ දී දෑත් ශරීරය වෙතට හකුළුවා ගනියි. මද විරාමයක් සඳහා නතර වීමේ දී දෑත් දෙපසට විහිදුවන ඔවුන්, යළිත් කැරකෙන විට අත් හකුළුවා ගනියි. මෙසේ දෑත් හැසිරවීමට හේතුව පහදන්න.


9

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සමහර සර්පයින්ට වසර දෙකක් පමණ නිරාහාරව සිටිය හැකිය. එහෙත් අධික කුසගින්න හමුවේ ඔවුන් තමන්ගේම හදවත ආහාර ප්‍රභවයක් ලෙසට පරිභෝජනය කිරීමට තරම් කෑදර වන බව ඔබට විශ්වාස කළ හැකි ද? කෙසේ වෙතත් මෙසේ ජීර්ණයට ලක් කෙරෙන හෘත් පේශී සෛල, යළිත් පෝෂ්‍යදායී ආහාර වේලක් ගත් වහාම පුනර්ජනනය වේ.


8

බදාදා

අද විදු වදන

මස් පිසින විට සමහරු එයට අමු පැපොල් කැබලි එකතු කරන බව ඔබත් දැක ඇති. පැපොල් හා මස් එකට ගත් කළ නොගැළප‍ෙන බව සිතුන ද, මෙසේ කිරීම අපට විශේෂ වාසියක් ගෙන දෙයි. පැපොල් වල ඇති පැපේන් එන්සයිමය, මාංශ වල සම්බන්ධක පටක බිඳ දමා ඒවා මෘදු කරමින් රුචිය ඔප්නංවයි.


7

අඟහරුවාදා

අද විදු වදන

සීනිබෝල, සීනි දවටන ලද පැණි රස රසකැවිලි ආදියට අප ඉතා කැමති නමුත්, අපේ සුරතල් පූසන්ට මේවායේ රස අත්විඳීමට නොහැකි බව ඔබ දැන සිටියාද? ඒ අන් කිසිවක් නිසා නොව, ඔවුන්ට අනෙක් ක්ෂිරපායින්ට මෙන් පැණි රස නොදැනෙන නිසාය! පූසන්ට පැණි රස හඳුනා ගන්නා රස ප්‍රතිග්‍රාහක නිපදවීමට අවශ්‍ය ජානයක අඩුවක් පවතී.


6

සඳුදා

සතියේ පැනයට පිළිතුර

තැම්බූ බිත්තර වල මෙලෙස අළු කොළ පාටින් දිස්වන්නේ, සුදු මදයේ ඇති හයිඩ්‍රජන් සල්ෆයිඩ් සහ කහ මදයේ අඩංගු යකඩ එකිනෙක ප්‍රතික්‍රියා කර කහ මදය මතුපිට සාදන ෆෙරස් සල්ෆයිඩ් ස්ථරයයි. බිත්තර අධිකව තැම්බීම නිසා හෝ භාවිතා කරන ජලයේ යකඩ සංයුතිය අධික වීම නිසා ඉහත ප්‍රතික්‍රියාව සිදුවිය හැක. එසේ වුවත් මේවා කෑමට සුදුසු රසවත් ඒවා වේ.


3

සිකුරාදා

සතියේ පැනය

තැම්බූ බිත්තර ආහාරයට ගන්නා විට ඇතැම් ඒවායේ කහ මදය වටා, අඳුරු කොළ පාට වලයක් තිබෙන බව ඔබත් දැක ඇති. මෙය එම බිත්තර වල යම් ගුණයක් නිසා ඇති වන්නක් ද? නැතිනම් පිසීමේ ක්‍රමය නිසා සිදු වන්නක්ද? එම අවපැහැගැන්වීම ඇතිවන්නේ කෙසේදැයි පහදන්න.


2

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සීත දින වලදී අප වැසිකිළි යන වාර ගණන සාමාන්‍යයෙන් වැඩියි නේද? ශීත කාලයේ දී අප මෙලෙස වැඩිපුර මූත්‍රා පිටකරන්නේ ඇයි? මෙහිදී දේහයේ තාප හානිය අවම කිරීමට, සමේ පර්යන්ත රුධිර වාහිනී සංකූචනය වන නිසා අභ්‍යන්තර රුධිර පීඩනය ඉහළ යයි. එය යථා තත්වය තෙක් අඩු කිරීම සඳහා වකුගඩු වලදී රුධිරයේ සිට වැඩිපුර ජලය පෙරීමට ලක්වී මූත්‍රා වැඩියෙන් නිපදවේ.


1

බදාදා

අද විදු වදන

තල්මසුන් සහ සුළං තලබමර අතර පැහැදිළි සබඳතාවක් අපට එක්වරම හඳුනාගත නොහැක. එනමුත් අද වන විට Humpback තල්මසුන්ගේ ගැටිති සහිත වරල් වල ව්‍යුහය ඇසුරු කරගනිමින්, සුළං වලට වඩාත් ප්‍රතිරෝධී බමර තල නිපදවීමට හැකි වී ඇත. මෙම විශේෂ තලබමර සහිත සුළං මෝල් වලින් වැඩි බලශක්තියක් ජනනය කළ හැක. සොබාදමේ නිමැවුම් අනර්ඝ නිපැයුම් වලට මං විවර කළ බවට තවත් නිදසුනකි මේ.