2017 වසරේ අප්‍රේල් මාසයට අයත් විද්‍යා පණිවුඩ

28

සිකුරාදා

අද විදු වදන

පොත්පත් වල පිටු පෙරළන විට කෙදිනක හෝ එම කඩදාසි වල දාරයට හසුවී ඔබේ ඇඟිලි තුඩුවල කැපුම් තුවාල ඇති වී තිබෙනවා ද? මෙසේ ඇතිවන කැපුම්, සමේ ගැඹුරට නොගිය ද ඉතා වේදනාකාරී වේ. සුළු තුවාල ලෙස දිස්වන මේවා මෙතරම් පීඩාකාරී වන්නේ ඇයි? ඇඟිලි තුඩුවල ඇති ස්නායු ප්‍රතිග්‍රාහක ගණන අධිකයි. සාමාන්‍යයෙන් ලේ නොගලන සම මතුපිට ඇතිවන මෙම කැපුම් වලදී තුවාල වූ ස්නායු කෙඳි රාශියක් බාහිරයට නිරාවරණය කෙරෙන නිසා, වේදනා ප්‍රතිග්‍රාහක පහසුවෙන් උද්දීපනය වී මොළයට වේදනාව ආශ්‍රිත ස්නායු ආවේග වැඩි වැඩියෙන් යවයි.


27

බ්‍රහස්පතින්දා

අද විදු වදන

හරියටම ඔබට ඉදිරියෙන් ඇති දෙයක් දෙස සහ ඔබේ උරහිසට එපිටින් ඇති යමක් දෙස එකවර බැලීමට පුළුවන් ද? එය කිසිවෙකුට කළ නොහැක්කක් බව ඔබ කියනු ඇත. අපට නොහැකි වුවත් බෝදිලිමාට නම් මෙය අපහසු දෙයක් නොවේ! බෝදිලිමාගේ ඇස් ස්වාධීනව ක්‍රියා කරමින් වස්තූන් වෙන වෙනම නාභිගත කරගන්නා නිසා, වෙනස් දිශා දෙකක ඇති දේවල් ඔවුන්ට එකවර බලා ගත හැක.


26

බදාදා

අද විදු වදන

අප ස්පර්ෂ කරන සියල්ලේම අපේ ඇඟිලි සලකුණු ඉතිරි කර යන්නාක් මෙන්, බඹර මැස්ස‍න් යන යන තැන ඔවුන්ගේ පාද වල ගන්ධය ඉතිරි කර යන බව ඔබ දැන සිටියා ද? මොවුන් ගොඩ බසින ස්ථාන මතට පාද වලින් ස්‍රාවයක් නිකුත් කරමින්, පැණි උරාගන්නා ලද මල් මොනවාදැයි සටහන් කර ගනියි. අන‍ෙක් බඹරුන් රොන් උරාගත් මල් අතරින්, නැවුම් මල් වෙන්කර හඳුනාගෙන ඵලදායී ආහාර ප්‍රභව කරා යාමට මෙය උපකාරී වේ.


25

අඟහරුවාදා

අද විදු වදන

බෝතල් කළ පානීය ජලය නිසාම පරිසරයට එක්ක‍ෙර‍ෙන නොදිරන ප්ලාස්ටික් ප්‍රමාණය සුළුපටු නොවේ. දිනපතා කුණු බාල්දි වලට පිරෙන ප්ලාස්ටික් ජල බෝතල් වලට ආදේශකයක් ලෙස, කෑමට ගත හැකි “Ooho!” නම් ජල බෝල ආකාරයක් නිර්මාණය කර ඇති බව ඔබ දන්නවාද? මුහුදු පැළෑටි නිස්සාරකයක් භාවිතයෙන් සාදා ඇති ජල බෝල වල බාහිර පටලය පරිසර හිතකාමී වන අතර ගිල දැමූ විට ජීරණය වේ. අනාගතයේ දී ප්ලාස්ටික් කුණු කඳු ඇතිවීම වැළැක්වීමට මෙය හොඳ පිළියමක් වනු ඇත.


24

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ලුණු, අයිස් මතුපිට ඇති ජල තට්ටුවේ දිය වී එහි හිමාංකය පහත හෙළයි. එම අයිස් දිය වී සෑදෙන ද්‍රව ජලයේ ලුණු තවත් හොඳින් ද්‍රාවණය වී, ඒ හා ස්පර්ෂිත අයිස් ක්‍රමක්‍රමයෙන් දිය කර හරියි. සෑදී තිබෙන හිම දිය වන අතරම අලුතින් හිම සෑදීම ද අවම කරන නිසා මාර්ග වල සිදුවන අපහසුතා අවම කරගත හැක.


21

සිකුරාදා

සතියේ පැනය

ශීත ඍතුවේ දී මාර්ග සහ පදික වේදිකා වල හිම එකතුවීම නිසා මිනිස්සු දැඩි අපහසුතාවයට ලක්වේ. ඒ නිසාම ට්‍රක් රථ භාවිතයෙන් මෙම හිමෙන් වැසුණු පාරවල් දිගට ලුණු දමාගෙන යයි. ඊට හේතුව පහදන්න.


20

බ්‍රහස්පතින්දා

අද විදු වදන

කැපී පෙනෙන රෝස රතු පැහැ පිහාටු, දිගු ගෙල හා පාද නිසාම කුරුලු විශේෂ අතර, සියක්කාරයා හෙවත් ෆ්ලෙමින්ගෝ කුරුල්ලාට සුවිශේෂී තැනක් හිමි වේ. ඒත් ඇත්තෙන්ම උපදින විට ඔවුන්ගේ සිරුර රෝස නොව අළු පැහැයක් ගන්නා බව ඔබට විශ්වාස කළ හැකි ද? මොවුන්ට රෝස රතු පැහැය ලබා දෙන්නේ ඔවුන්ගේ ආහාර වේලෙහි ප්‍රධාන තැනක් හිමි කරගන්නා මුහුදු ඉස්සන් හා නීල හරිත ඇල්ගී වල ඇති කැරොටිනොයිඩ් වර්ණකයි! එම වර්ණක නොලැබුනොත් මෙම ආවේණික පැහැය ඔවුන්ට අහිමි වී යනු ඇත.


19

බදාදා

අද විදු වදන

උදෑසන ඇඳෙන් බැසගත් වහාම ඔබ කරන්නේ මොකක්ද? සුව නින්දකට පසු හොඳින් අත පය දිගහැර ඇදීමට ලක් කිරීම අමුතුම ජවයක් ගෙන දෙනවා නේද? මිනිසුන් පමණක් නොව සතුන් ද මෙසේ සිරුර ඇදීමට ලක්කර හිරි ඇරගන්නා අයුරු ඔබ දැක ඇති. ඊට හේතුව දන්නවා ද? එකම ඉරියව්වේ දිගු වේලාවක් සිටින විට පේශී දරදඬු වී, දේහ තරල එක් පසෙකට එකතු වී පවතී. අත් පා ඇදීමට ලක් කරන විට පේශි ලිහිල් වී, රුධිර සංසරණය කාර්යක්ෂම වීමෙන් මානසික ආතතිය ද දුරු කරයි.


18

අඟහරුවාදා

අද විදු වදන

අලුත් අවුරුද්ද උදාවී අවසන් නමුත් එහි උණුසුම නම් තවමත් අඩු වී නැත. මේ දින වල රට වටා රබන් සුරල් හඬ නොඅඩුව ඇසේ. රබන් ගැසීමට පෙර එය ලී කරු තුනක සිටුවා යටින් ගිනි කබලක් අවුළුවන බව ඔබත් දුටුවා ද? ඒ ඇයි කියා සිතුවාද? මෙලෙස රබාන රත් කරන විට එහි ඇති සත්ත්ව හම් පටලය හොඳින් ඇදීමට ලක්වේ. මෙසේ පදමට ඇදීමට සලස්වා සුසර කළ රබානකින්, ගම් දනව් සිසාරා යන පරිදි ඉහළ සංඛ්‍යාතයකින් රබන් සුරල් වාදනය කිරීමට පුළුවන.


5

බදාදා

අද විදු වදන

නව වසරේ උදාව සනිටුහන් කරමින් නැවුම් මුට්ටියක නැකතට කිරි ඉතිර වීමට අප හුරුවී සිටිමු. එහෙත් මෙලෙසින් කිරි මුට්ටියේ කිරි, පෙන නගිමින් ඉතිරී යාමට හේතුව ඔබ දන්නවාද? කිරි වල ජලය, ප්‍රෝටීන්, මේදය, සීනි යනාදිය අඩංගුයි. රත් කිරීමේදී කිරිවල සාපේක්ෂව සැහැල්ලු යොදය හෙවත් ප්‍රෝටීන හා මේදය වෙන්වී, මුට්ටියේ ඉහළින් පටලයක් සාදයි. තව දුරටත් රත් කිරීමේ දී මීට පහළින් ඇති ජලයෙන් කොටසක් වාෂ්ප බවට හැරී ප්‍රසාරණය වෙමින් යොදය අතරින් ඉහළ නගියි. එවිට කිරි මුට්ටියෙන් කිරි ඉතිරී යයි.


4

අඟහරුවාදා

අද විදු වදන

පළඟැටියන් ඝනත්වය අධික කෘමි සමූහයක් ලෙසට පියඹන නමුත් ඔවුන් එකිනෙකා සමඟ හැප්පී නොයාමටත්, විලෝපික කුරුල්ලත් මඟහැර යාමටත් වග බලා ගනියි. රථ වාහන ගැටීමෙන් වන මාර්ග අනතුරු වලින් දහස් ගණන් ජීවිත බේරා ගැනීමට සමත් දියුණු තාක්ෂණයක් නිපදවීමට, පළඟැටියන්ගේ මෙම හැකියාව අනුප්‍රාණය වී තිබීම අපූරුයි නේද? මෝටර් රථ සඳහා නිරවද්‍යතාවයෙන් ඉහළ ස්පර්ෂ සංවේදක හා ඒවායේ පරිගණක පද්ධති නිපදවීමට, ඔවුන්ගේ අක්ෂි සහ ස්නායු පද්ධතියේ මූලික ලක්ෂණ උපකාරී වී ඇත.


3

සඳුදා

සතියේ පැනයට පිළිතුර

කකුළුවන් හා පොකිරිස්සන්ගේ පිටත කවචයේ ඇස්ටසැන්තින් නම් වර්ණකය අඩංගුයි. එය රතු පාටින් දිස්වන කැරොටිනොයිඩ් වර්ණකයකි. සජීවී විට මෙම වර්ණක ප්‍රෝටීන් තට්ටුවකින් ආවරණය වී සැඟව පවතින නිසා අපට දුඹුරු කොළ පාටින් දිස්වේ. නමුත් පිසීමේ දී අධික තාපය හමුවේ එම ප්‍රෝටීන් ආවරණයට හානි වී, තාප ස්ථායී ඇස්ටසැන්තින් වර්ණකයේ සැබෑ රතු පැහැය බාහිරයට නිරාවරණය වේ.