2017 වසරේ මැයි මාසයට අයත් විද්‍යා පණිවුඩ

31

බදාදා

අද විදු වදන

ඉගිලෙන කුරුමිණියෙකුව සිට ක්ෂණිකයෙන් පොළොව මත ඇවිද යන කුරුමිණියෙකු බවට පරිවර්තනය වීමට ලේඩි බර්ඩ් කුරුමිණියන්ට ඇති විශ්මිත හැකියාව නිසාම, විවිධාකාර වූ වාසස්ථාන වල ජීවත් වීමට ඔවුන්ට අවස්ථාව උදාවී ඇත. පියාසර කරන විට දෘඩව පවතින ඔවුන්ගේ පියාපත් යළිත් ගොඩබසින විට නම්‍යශීලීව හැකිළෙන අන්දම අධ්‍යයනය කිරීම, ෆෑන් සහ කුඩ මෙන්ම චන්ද්‍රිකා වල සන්නිවේදන ඇන්ටනා නිර්මාණකරණයේ දී අනුප්‍රාණයක් වී තිබීම අපූරුයි නේද?


30

අඟහරුවාදා

අද විදු වදන

ගෙම්බන්ට ඔවුන්ගේ දිව ආධාරයෙන් අද්විතීය වේගයකින් කෘමීන් ඩැහැගන්නට පුළුවන්. සැබැවින්ම මෙම විශිෂ්ට හැකියාව ලබා දෙන්නේ ගෙම්බන්ගේ ඛේටය බව ඔබ දැන සිටියාද? ඔවුන්ගේ ඛේටයට ද්‍රව මෙන්ම ඝන ලෙසද ක්‍රියා කළ හැකියි. ගොදුර ඩැහැගන්නා මොහොතේ ඛේටය දියාරු වී කෘමියාගේ සිරුරේ හාත්පස පැතිර යයි. යළිත් දිව මුඛය තුළට ගත් විට ඛේටය ඝන වන්නේ ගොදුරට දිවෙන් ගැලවී වෙන්ව යාමට ඇති ඉඩ අහුරමිනි.


29

සඳුදා

සතියේ පැනයට පිළිතුර

අප ඈනුම් අරින විට ග්‍රසනිකාව හා මැද කන එකිනෙකට සම්බන්ධ කරන යුස්ටේකීය නාලයට වාතය පිරෙයි. යුස්ටේකීය නාලය තුළ වායු පීඩනය ඉහළ ගිය විට කන් බෙරය වක්‍ර විය හැකි අතර බාහිර ශ්‍රවණ නාලය ඔස්සේ එන ශබ්ද වර්ධනය කිරීමේ හැකියාව ද අඩු වේ. ඈනුම් ඇරීමේ දී අභ්‍යන්තර ශබ්ද වැඩිපුර ඇසෙන්නේත් බාහිර ශබ්ද හරිහැටි නොඇසෙන්නේත් මේ නිසාය.


26

සිකුරාදා

සතියේ පැනය

25

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සූර්ය ශක්තිය හා සුළං බලයට පසු නවතම පුනර්ජනනීය බල ශක්ති ප්‍රභවය විය හැක්කේ පදිකයින්ගේ අඩි සටහන් බව ඔබට විශ්වාස කළ හැකි ද? පොදු ස්ථාන වල විශේෂ උළු කැට සවිකර ඒවා මතින් පදිකයින් යන විට, එම අඩි සටහන් වල පීඩනය භාවිතයෙන් කුඩා විද්‍යුත් ධාරා ජනනය කිරීමට හැකි බව බ්‍රිතාන්‍ය සමාගමක් සොයාගෙන ඇත. මෙලෙස කුඩා කුඩා විද්‍යුත් ධාරාවන් පදිකයින් දහස් ගණනකගේ අඩි පාරවල් වලින් ජනනය වූ විට සැලකිය හැකි තරම් විශාල විදුලි බලයක් ලබා ගත හැකි වනු ඇත.


24

බදාදා

අද විදු වදන

අපි පලතුරු තෝරන විට අමු ඒවා අතරින් ඉදුණු පලතුරු තෝරා ගැනීමට උත්සහ කරමු. අමු පලතුරු තරමක් හයිය වුවද ඉදුණු ඒවා සාපේක්ෂව මෘදුයි. ඇයි ඒ? පලතුරු ඉදෙන විට පෙක්ටිනේස් එන්සයිමය සක්‍රිය වී ශාක සෛල එකිනෙක බැඳ තබන පෙක්ටින් නම් සංයෝගය බිඳ හෙළයි. පෙක්ටින් දිය වී සෛල එකිනෙක වෙන් වීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ ඵලවලට මෘදු බවක් ලැබීමයි.


23

අඟහරුවාදා

අද විදු වදන

වැස්ස වහින විට සාමාන්‍යයෙන් මී මැස්සන් එළිපහළියේ දක්නට ලැබෙන්නේ නෑ නේද? අඩු උෂ්ණත්ව වලදී ඔවුන්ගේ පියාසර වේගය අඩු වීමටත් වැහි බිඳු හමුවේ පියාපත් එකිනෙක ඇලීමටත් පුළුවන්. එහෙත් වායුගෝලීය තෙතමනය වෙනස්වන අයුරු හඳුනා ගැනීමට මී මැස්සන්ට ඇති හැකියාව, වැසි ඇතිවීම කල්තියා හඳුනාගෙන එවන් අවස්ථා මඟහැර සිටීමට ඉඩ ලබා දෙයි.


22

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ශීත අවස්ථාවක දී හෝ බය දැනුණු අවස්ථා වලදී අපේ ඇඟේ ඉබේම හිරිගඩු පිපෙයි. මේවා ඇතිවන්නේ රෝම උද්ගාමක පේශි සංකෝචනය වූ විටයි. එවිට ඒවාට සම්බන්ධ රෝම ද කෙලින් වී සමට උඩින් රෝම අතර පරිවාරක වාත ස්ථරයක් පවත්වා ගනියි. මෙය පරිසරයට වන තාප හානිය අවම කර සිරුර උණුසුම්ව තබා ගැනීමට ඉවහල් වේ.


19

සිකුරාදා

සතියේ පැනය

18

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මල් පිපුණු උණ ගස් ඔබ දැක තිබෙනවා ද? උණ පඳුරු වල මල් පිපීම ශාක ලෝකයේ දක්නට ලැබෙන ඉතා දුර්ලභ චමත්කාරජනක සිදුවීමක්. බොහෝ උණ විශේෂ මල් දරන්නේ දශක ගණනාවකට එක් වරකි. තවද ලෝකයේ කොතැනක කිනම් දේශගුණික තත්වයක් යටතේ පැවතිය ද එකම මව් ශාකයෙන් බිහිවූ උණ පඳුරු වල මල් පිපෙන්නේ එකම කාලයේ දීය!


17

බදාදා

අද විදු වදන

ශල්‍යකර්ම සිදු කරන විට ළඟා වීමට අපහසු සිරුරේ සියුම් ඉන්ද්‍රියන් වෙත ආසන්න වීම පහසු කිරීමට, බූවල්ලාගේ ග්‍රාහිකා අනුකරණය කරමින් නිර්මාණය කරන ලද රොබෝ අතක් සමත් වී තිබීම අපූරුයි නේද? මෙහි ඇති බැලුම් ආකාර කුටීර ශ්‍රේණිය හරහා එයට බූවල්ලෙකු මෙන් ඇඹරීමට, ඇදීමට හා නැමීමට හැකියාව ලබා දෙයි. මේ හරහා ශල්‍යකර්මයක දී යොදාගන්නා උපකරණ හා කැපුම් ගණන අවම කිරීමට පුළුවනි.


16

අඟහරුවාදා

අද විදු වදන

පිටේ ඇති විශාල මොල්ලිය නිසාම අනෙකුත් සතුන් අතරින් ඔටුවන් වෙන්කර හඳුනා ගැනීම පහසුයි. නමුත් ඔවුන්ගේ මොල්ලියෙහි ඇත්තේ මොනවාදැයි ඔබ දන්නවා ද? එය තුළ පිරී ඇත්තේ ජලය බව බොහෝ දෙනෙක් කියනු ඇත. නැත! මොල්ලිය තුළ ඇත්තේ ජලය නොව මේදයයි. ආහාර හිඟ වූ විට මෙම මේදය ශක්තිය බවට පරිවර්තනය කෙරෙන අතර එහිදී ජලය ද නිපදවේ.


15

සඳුදා

සතියේ පැනයට පිළිතුර

චුයින් ගම් වල ඇති බහුඅවයවක සාමාන්‍යයෙන් ජලභීතික වේ. අපේ මුඛය තුළ ස්‍රාවය වන ඛේටය නිසා එය නිරතුරුවම තෙත්ව පවතී. ඉහත බහුඅවයවක ජලය විකර්ෂණය කරන නිසා තෙත්ව පවතින දත් හෝ දිව සමඟ බන්ධන නොසාදයි. එම නිසා ඒවාට නොඇලෙයි. නමුත් මේවා තෙල් වලට ආකර්ෂණය වන නිසා තෙල් සහිත පෘෂ්ට සමඟ ප්‍රබල බන්ධන සාදමින් ඒවාට තදින් ඇලෙයි.


12

සිකුරාදා

සතියේ පැනය

චුයින් ගම් අපේ කටේ ඇති විට සාමාන්‍යයෙන් දත් වල හෝ දිවෙහි ඇලෙන්නේ නැත. එහෙත් කටින් එළියට ගත් විට මේ චුයින් ගම් අපේ ඇඟිලි, කොණ්ඩේ මෙන්ම සපත්තු අඩි ආදියෙහි ඇලවීමෙන් කරදර ගෙන දෙයි. ඊට හේතුව කුමක් ද?


9

අඟහරුවාදා

අද විදු වදන

කුරුල්ලන් ඔවුනොවුන් එකිනෙකා සමඟ ගැටෙන්නේ නැතිව පියාඹන්නේ කොහොමද කියා ඔබ සිතුවාද? එහි රහස ඉතා සරල රීතියකි. මුහුණට මුහුණලා හමුවන සෑම විටම තම දකුණු දිශාවට හැරීමට ඔවුන් හුරු වී සිටියි. ගුවන් නියමුවන්ට ද උපදෙස් දී ඇත්තේ අහඹු ලෙස අහස් යානා දෙකක් මූණ මූණලා ගැටෙන්නට ගියහොත් දකුණු පැත්තට නැඹුරු වන්නට කියාය. සොබාදහම මෙම නීතිය අපට වසර මිලියන ගණනකට කලින්ම අනාවරණය කර තිබීම අපූරුයි නේද?


8

සඳුදා

සතියේ පැනයට පිළිතුර

සූක්ෂ්ම තරංග උඳුනේ නිපදවෙන සූක්ෂ්ම තරංග එහි ලෝහමය බිත්ති වලින් පරාවර්තනය වී ජල අණු හා ඇතැම් බහුඅවයවක මගින් අවශෝෂණය කර තාපය බවට පරිවර්තනය කරයි. එම තාපයෙන් ආහාර පිසීමට ලක් වේ. අමතර ලෝහ ද්‍රව්‍ය උඳුනට දැමූ විට, ලෝහ වලට නිදහස් ඉලෙක්ට්‍රෝන ඇති බැවින් ඒවා ද සූක්ෂ්ම තරංග පරාවර්තනය කරයි. එවිට ආරෝපණ ඝනත්වය වැඩි වී අධික විද්‍යුත් විභවයක් ජනනය වී විද්‍යුත් චාප ඇති වේ. එම විදුලි පුපුරු මගින් උඳුනට හානි විය හැක.


5

සිකුරාදා

සතියේ පැනය

සූක්ෂ්ම තරංග උඳුනේ ඇතුල් බිත්ති ලෝහමය වන අතර ඉදිරිපස කවුළුව ද ලෝහමය දැලකින් ආස්තරණය වී ඇති බව අපි දැක ඇත්තෙමු. එහෙත් උඳුන ඇතුළත ලෝහමය ද්‍රව්‍ය භාවිතා කිරීම සුදුසු නොවන බව එය සමඟ ලැබෙන අත්පොතේ සඳහන්ව ඇත. සූක්ෂ්ම තරංග උඳුන තුළට ලෝහ දැමීම නුසුදුසු වන්නේ ඇයි?


4

බ්‍රහස්පතින්දා

අද විදු වදන

අලුත් බල ශක්ති ප්‍රභවයන් නිපදවීමට අප වෙහෙස‍ වෙන අතර වාරයේ ඇතැම් විට ස්වභාව ධර්මය, ඒවාට සරල විසඳුම් සොයා දෙයි. මුහුදු ස්පොන්ජින්ගේ චලන රටාව, නව ශක්ති ජනන පද්ධතියක් සැලසුම් කිරීමට මඟ විවර කර තිබීම අපූරුයි නේද? මුහුදු පත්ලේ ඇති ස්පොන්ජින් දෙපසට පැද්ද‍ෙන අයුරු අනුකරණය කරමින් bioWAVE නම් සාගර තරංග ශක්ති පද්ධති නිර්මාණය කර ඇත. මේවාට ප්ලවනය වන තල තුන බැගින් ඇති අතර මුහුදු තරංග හමුවේ ඒවා දෙපසට දෝලනය වෙමින් විදුලි බලය ජනනය කරයි.


3

බදාදා

අද විදු වදන

අලියාගේ හොඬවැල යනු නවීන රොබෝ යන්ත්‍ර නිපදවීමට පවා අනුප්‍රාණය වූ ඉතා ප්‍රයෝජනවත් සොබාදමේ අනර්ඝ නිමැවුමක් බව අපි කියා ඇත්තෙමු. අලි පැටවුන් තම හොඬවැල ප්‍රයෝජනයට ගන්නා තවත් අපූරු ආකාරයක් ඇති බව ඔබ දැන සිටියා ද? එනම් කුඩා කාලයේ දී අප ඇඟිලි උරනවා මෙන්, පුංචි අලි පැටවුන් ඔවුන්ව සනසවා ගැනීමට හොඬවැල සූප්පු කරයි. වැඩිහිටි අලියන් පවා නොසන්සුන් වී කලබල වූ විට හා ලැජ්ජාවෙන් සිටින විට මෙසේ හොඬවැල සූප්පු කරයි.


2

අඟහරුවාදා

අද විදු වදන

දුර ඈත නොදන්නා ඉසව්වක අතරමං වුවහොත් තනිවම පාර සොයාගෙන ආපසු එන්නට ඔබට පුළුවන් ද? GPS තාක්ෂණය හෝ අඩුම තරමේ මාලිමා යන්ත්‍රයක සහය අපට අවශ්‍ය වනු ඇත. නමුත් මෙම උපකරණ කිසිවක් නොමැතිව, පෘථිවි චුම්භක ක්ෂේත්‍රය පමණක් භාවිතා කරමින් තම උපන් බිම සොයා යාමට මුහුදු කැස්බෑවන්ට හැකි බව ඔබට විශ්වාස කළ හැකි ද? මෙම හැකියාව භාවිතා කරමින් ස්ත්‍රී කැස්බෑවන් ප්‍රජනක සමයේ දී බිත්තර දැමීම සඳහා ඔවුන් උපත ලැබූ වෙරළටම පිහිනා යයි.