2017 වසරේ ජූනි මාසයට අයත් විද්‍යා පණිවුඩ

30

සිකුරාදා

සතියේ පැනය

වැහිබර දිනෙක කඳවුරක දී කූඩාරමක් තුළට වී ගෙවූ දිනයක් ගැන මතකය අවදි කරගන්නට ඔබට පුළුවන් ද? සාමාන්‍යයෙන් කූඩාරම ඇතුළට වැහි බිඳු වැටෙන්නේ නැත. එහෙත් අප කූඩාරම් රෙද්ද ස්පර්ෂ කළහොත් ඉන් ඇතුළට ජල බිංදු කාන්දු වීමට පුළුවනි. ඒ ඇයි කියා පහදන්න.


29

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මුලින්ම හඳුනාගන්නා ලද කැරට් වල සැබෑ පැහැය වූයේ තැඹිලි නොව දම් පාට බව ඔබට විශ්වාස කළ හැකි ද? 17ත් වන ශත වර්ෂයට පෙර තිබූ බොහොමයක් කැරට් දම් පැහැති වූ අතර විකෘත වූ ප්‍රභේද සමහරක් පමණක් කහ හෝ සුදු පාට විය. අද අපි කන තැඹිලි පාට කැරට් යනු ඒ කාලයේ තිබූ කහ, සුදු හා සමහරක් දම් පැහැ කැරට් විශේෂ එකට මුහුම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූවකි.


28

බදාදා

අද විදු වදන

මිනිසුන් කෘෂිකර්මාන්තයට පිවිසියේ වසර දස දහසකට පමණ පෙර දී වුවත්, කූඹින් වසර මිලියන ගණනාවක් තිස්සේ මෙම ක්ෂේත්‍රයේ නියැලී සිටින බව ඔබ දැන සිටියා ද? නමුත් ඔවුන් වගා කරන්නේ දිලීරයි. හානිකර සතුන්ගෙන් ආරක්ෂාව සලසමින් හා අවශ්‍ය පෝෂක සපයමින් තම දිලීර වගාව රැකබලාගෙන, ලැබෙන අස්වැන්න මොවුන් පරිභෝජනයට ගනියි. වසර ගණනාවක් මුළුල්ලේ සිදු වූ පරිනාමයත් සමඟ දැන් මේ කූඹි විශේෂ වලට දිලීර ද, දිලීර වලට කූඹි ද නොමැතිව ජීවත් විය නොහැකි තරම් කිට්ටු සබඳතාවක් නිර්මාණය වී ඇත.


27

අඟහරුවාදා

අද විදු වදන

ලෝකයේ මුහුදු ජලය ඕනෑවටත් වඩා ඇති වන නමුත්, සෑම දෙනාටම ප්‍රමාණවත් තරම් පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට නොහැකි වීම බරපතළ අර්බුදයක් වී ඇත. මෙයට පිළියමක් ලෙස, කාන්තාර ආශ්‍රිතව පවා ඇති තුනී වාත ස්ථර වලින් ජලය උරා ගැනීමට හැකි උපකරණයක් නිර්මාණය කර තිබීම අපූරුයි නේද? මෙමගින් උරාගන්නා ජල වාෂ්ප, ද්‍රවය බවට ඝනීභවනය කර සංචායකයට වෑස්සීමට සලස්වයි. මේ ක්‍රියාවලියට අවශ්‍ය ශක්තිය දෙන්නේ අපට නොඅඩුව ලැබෙන සූර්යාලෝකයයි.


23

සිකුරාදා

අද විදු වදන

පිරිමි මදුරුවන් ශාක යුෂ හරහාම සිය අවශ්‍යතා සපුරාගන්නා අතරවාරයේ, ගැහැණු මදුරුවන් ඉන් සෑහීමකට පත් නොවී අපේ ලේ උරා බොන්නට එන්නේ ඇයි දැයි යන ගැටළුව ඔබටත් ඇති වුණාද? ස්ත්‍රී මදුරුවන්ට විශාල වශයෙන් ප්‍රෝටීන අවශ්‍ය වෙනවා. ඔවුන් බිත්තර සෑදීම සඳහා අවශ්‍ය වන ප්‍රෝටීන හා යකඩ ලබාගන්නේ, උරා බොන රුධිරය හරහාය. කොටින්ම කිව්වොත් මදුරුවන්ට ඔවුන්ගේ මීළඟ පරපුර බිහි කිරීමට අවශ්‍ය සවිය දෙන්නේ අපේ රුධිරයයි!


22

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මදුරුවන් කී සැනින් අපට මතක් වන්නේ ඔවුන් ලේ උරා බොන්නන් බවයි. උග්‍ර ලේ පිපාසයෙන් පෙලෙන්නන් යැයි ඔබ මෙතෙක් කලක් සිතා සිටි මදුරුවන්, සැබැවින්ම වැඩිම ඇල්මක් දක්වන්නේ ලේ වලට නොව සීනි වලට බව කීවොත් ඔබ පුදුමයට පත්වේවි! ඔවුන්ට ජීවත් වීම සඳහා සීනි අත්‍යවශ්‍ය වේ. අනෙක අපේ ලේ උරා බොන්නේ ගැහැණු මදුරුවන් පමණක් වන අතර පිරිමි මදුරුවන් ශාක යුෂම පානය කර ඔවුන්ගේ සීනි අවශ්‍යතාවය සපුරා ගනියි.


21

බදාදා

අද විදු වදන

කැහිපිත්තන් කොළ ගැන ඔබ අසා තිබෙනවද? නමින් හඳුනා නොගත්තත් අපේ රටේ සුලබව වැවෙන මේ වැල් වර්ගය ඔබ දැක ඇති. අද සමාජයේ බොහොමයක් අයට පීඩා ගෙනදෙන රෝගයක් වන ගැස්ට්‍රයිටිස් වලට මේ කොළ ඉතාම ගුණදායකයි. ජලය සමඟ කැහිපිත්තන් කොළ කොටා යුෂය පෙරා ගත් විට ඖෂධයක් පමණක්ම නොව, රසවත් අතුරුපසක් එනම් ජෙලි එකක් ලෙස ද ඔබට මෙය සාදාගන්න පුළුවන්. ගැස්ට්‍රයිටිස් නසන ඖෂධයක් විදිහට අප විසින්ම සාදා ගනු ලැබූ ස්වාභාවික ජෙලි එකක් කෑම කොතරම් අපූරු ද?


20

අඟහරුවාදා

අද විදු වදන

ගෙම්බාගේ දිව යනු මෙතෙක් හඳුනාගෙන ඇති සිනිඳුතම ජෛව පටක වලින් එකක් බව ඔබ දැන සිටියාද? එය අපගේ දිව මෙන් දස ගුණයක් පමණ සිනිඳුයි! එ් නිසාම ගෙම්බාගේ දිවට රථ වාහන වල හමුවන කම්පන අවශෝෂක වලට සමාන ක්‍රියාකාරිත්වයක් පෙන්වමින්, ගොදුරු අල්ලා ගැනීමේදී යොදන බලය පාලනය කර සූක්ෂමව කෘමීන් ඩැහැගැනීමට හැකි වී ඇත.


19

සඳුදා

සතියේ පැනයට පිළිතුර

පෘථිවි වායුගෝලයේ ඇති වායු අණු මගින් සූර්යාලෝකය ඇති විට තාපය අවශෝෂණය කරන අතරම, රාත්‍රී කාලයේ දී එම තාපය මුදා හරිමින් පෘථිවිය ශීතනය වීමේ වේගය අඩු කරයි. එමෙන්ම ජල වාෂ්ප ද උෂ්ණත්වය යාමනය කිරීමට උපකාරී වේ. නමුත් චන්ද්‍රයාට වායුගෝලයක් හෝ භූතල ජලය හෝ නොමැත. එබැවින් චන්ද්‍රයා මත දී, වායු අණු හරහා දහවල් කාලයේ තාපය රාත්‍රියට සංක්‍රමණය වීමක් සිදු නොවන අතර සාගර මගින් තාපය ගබඩා කර ගැනීමක් ද සිදු නොවේ.


16

සිකුරාදා

සතියේ පැනය

සූර්යයාගේ සිට පෘථිවියට හා චන්ද්‍රයාට ඇති දුරවල් අතර සැලකිය යුතු වෙනසක් නැත. එසේ වුවත් දහවල් කාලයේ දී පෘථිවියට වඩා චන්ද්‍රයා උණුසුම් වන්නේත්, රාත්‍රියේ දී චන්ද්‍රයා පෘථිවියට වඩා සීතල වන්නේත් ඇයි?


15

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ගසින් ගසට කොට කොට යාමටත්, එම ගස් දිගේ සිරස් අතට නැග යාමටත් කොට්ටෝරුවන් ඉතා ප්‍රසිද්ධයි. නමුත් ඔවුන්ගේ වලිගය ආශ්‍රිතව ඇති දැඩි ශක්තිමත් පිහාටු සෑම විටම පාහේ ගසත් සමඟ ස්පර්ෂව පවතින බව හඳුනා ගත්තාද? කොට්ටෝරුවන් ඔවුන්ගේ දේහ බරින් වැඩි කොටසක් වල්ගයට බර කර එය ගස මතට තෙරපයි. ගස දිගේ යන විටත් ගසට කොටන විටත් සිරුර සමබරව තබා ගැනීමේ රහස මෙයයි.


14

බදාදා

අද විදු වදන

මුතු ඇට නිපදවීමේ හැකියාව නිසාම මුතු බෙල්ලන් ඉතා ප්‍රසිද්ධයි. මෙම හැකියාවට අමතරව ඔවුන්ට ප්‍රජනන සමයේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කරගැනීමේ විස්මයජනක හැකියාවක්ද හිමි බව ඔබ දන්නවාද? පිරිමි සතුන් ලෙස උපදින ඔවුන්ට වසරකට දෙකකට පමණ පසු ගැහැණු සතුන් බවට පත්වී බිත්තර දමා, අවශ්‍ය නම් යළිත් පිරිමි සතෙකු බවට පත්විය හැක.


13

අඟහරුවාදා

අද විදු වදන

සීතල දින වලදී, ඔබේ පූසා වෙනදා සිටින ප්‍රමාණයට වඩා තඩි වී ලොකුවට පෙනෙන බව ඔබත් හඳුනා ගත්තා ද? ඇයිදැයි සිතුවා ද? සැබැවින්ම මෙහිදී වන්නේ අපේ හිරිගඬු පිපීම හා සමාන වූවකි. සීතල විට රෝම උද්ගාමක පේශි සක්‍රිය වීමෙන්, පූසන්ගේ ලෝම කෙළින් වී ඒවා අතර පරිවාරක වාත තට්ටුවක් සිරකර ගනියි. එමගින් සිරුරෙන් තාපය හානි වීම අවම කර ගනියි. මේ පිම්බුණු ලෝම නිසා ඔවුන් තරමක් විශාල වී පෙනෙයි.


12

සඳුදා

සතියේ පැනයට පිළිතුර

රබර් බෝල ඉතා ප්‍රත්‍යස්ථ වුවද යකඩවල ප්‍රත්‍යස්ථතාව නොසලකා හැරිය හැකි තරම්ය. රබර් බෝලය බිත්තියේ ගැටෙද්දී තම හැඩය වෙනස් කර ගනිමින් එය සතු චාලක ශක්තිය, ප්‍රත්‍යස්ථතා විභව ශක්තිය බවට පරිවර්තනය කර ගනියි. රබර් බෝලය යළිත් එහි මුල් හැඩයට පත්වෙන විට ගබඩා වී ඇති මෙම විභව ශක්තිය නිදහස් වන නිසා එය පොලා පනියි. එහෙත් යකඩ බෝලය ප්‍රත්‍යස්ථ නොවන නිසා එහි චාලක ශක්තිය මුළුමනින්ම පාහේ බිත්තියට සම්ප්‍රේෂණය වී, පොලා පැනීමට තරම් ශක්තියක් ඉතිරි නොවේ.


9

සිකුරාදා

සතියේ පැනය

සමාන ස්කන්ධයක් ඇති රබර් ‍බෝලයක් හා යකඩ බෝලයක් එකම ප්‍රවේගයකින් බිත්තයක් වෙතට ගසා දැමුවා යැයි සිතමු. එවිට රබර් බෝලය ආපසු පොලා පැන්න ද, යකඩ බෝලය එසේ පොලා නොපනින්නේ ඇයි?


7

බදාදා

අද විදු වදන

ජල මාර්ග වලට මුදා හැරෙන හානිකර ඩයි, බැර ලෝහ ආදිය ඉවත් කිරීම අද වන විට ඇති දැවෙන ප්‍රශ්නයක්. මිනිසා විසින් නිර්මාණය කරන ලද මේ ගැටලුවට, සොබාදම විසින් පිළියමක් සොයා දී තිබීම අපූරුයි නේද? සියලු ශාක ඛනිජ පෝෂක අවශෝෂණය කරන අතරවාරයේ, සැල්වීනියා වැනි ශාක වලට හානිකර ලෝහ හා ඩයි වර්ග අධික ලෙස අවශෝෂණය කරගන්නට පුළුවනි. මෙම හැකියාව නිසි ලෙස භාවිතා කළහොත් දූෂිත ජලය පහසුවෙන් හා අවම මුදලකින් පිරිසිදු කිරීමට පුළුවන්!


6

අඟහරුවාදා

අද විදු වදන

බොහෝ මාළුවන්ගේ සිරුරේ පිටත පෘෂ්ඨය අඳුරු පැහැයක් ගන්නා අතර යටි පැත්ත ළා පාටක් ගන්නා බව හඳුනා ගත්තා ද? ඇත්තෙන්ම මෙය විලෝපිකයින්ගෙන් ආරක්ෂා වීමට ඉවහල් වන වේශාන්තරණ ක්‍රමයක් බව ඔබ දැන සිටියා ද? කුරුල්ලන් ඇතුළු විලෝපිකයන් ඉහළින් බලන විට මාළුවාගේ සිරුරේ මතුපිට තද පැහැය, ජලාශය පතුලේ අඳුරු පැහැය සමඟ මුසුව දිස්වේ. සමුදුර පතුලේ සිටින විලෝපිකයන් උඩ බලන විට, මාළුවාගේ ළා පැහැති උදරීය පෘෂ්ඨය හිරු එළිය සමඟ මුසුවන නිසා විලෝපික සතුන්ට ලේසියෙන් ගොදුරු නොවේ.


5

සඳුදා

සතියේ පැනයට පිළිතුර

කෙසෙල් පොත්තේ පීනෝලික සංයෝග අඩංගු වේ. අධික ශීතලට ලක්වන විට පොත්තේ බාහිර ස්ථරයේ ඇති සෛල බිඳවැටී, polyphenol oxidase යන එන්සයිමය මුදා හරියි. මෙමගින් පීනෝල, පොලිපීනෝල බවට ඔක්සිකරණය කර කෙසෙල් ලෙලි මතට තද දුඹුරු පැහැයක් ගෙන දෙයි.


2

සිකුරාදා

සතියේ පැනය

බොහෝ පළතුරු වල ඉදීමේ වේගය අවම කිරීම සඳහා ශීතකරණයට දමනු ලබයි. ඒත් කෙසෙල් ශීතකරණයේ තැබූ විට එහි පොත්ත අවලස්සන තද දුඹුරු පැහැයකට හැරේ. මෙලෙස වන්නේ ඇයි?


1

බ්‍රහස්පතින්දා

අද විදු වදන

Wi-Fi වලට බිත්ති හරහා ගමන් කරන්නට පුළුවන්. වෙනත් කාමරයක තබා ඇති රැහැන් රහිත රවුටරයක් ආධාරයෙන් අපට අන්තර්ජාලයට පිවිසිය හැක්කේ මේ නිසාය. Wi-Fi සතු මෙම ගුණයෙන් උපරිම ඵල නෙලාගෙන, බිත්ති හරහා වුව පුද්ගලයින්ගේ ඡායාරූප ගැනීමට හැකි ක්‍රමයක් ජර්මානු විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගෙන තිබීම අපූරුයි නේද? මෙමගින් කාමරයේ පිටත සිට එය ඇතුළේ ඇති වස්තුවල ත්‍රිමාණ ඡායාරූප ගන්නට පුළුවන්!