2017 වසරේ ජූලි මාසයට අයත් විද්‍යා පණිවුඩ

31

සඳුදා

සතියේ පැනයට පිළිතුර

පන්දුවේ දෝලනයක් (swing) ලබාගැනීම සදහා පන්දු යවන්නන් පන්දුවේ එක්පැත්තක් ඔප දමනු ලබයි. බ‘නූලි මූලධර්මය අනුව තිරස්ව ඇති අසම්පීඩ්‍ය තරලයක වේගය අඩුවන ලක්ෂයක පීඩනය වැඩිය. වේගය වැඩි ලක්ෂයක පීඩනය අඩුය. පන්දු යවන්නන් විසින් පන්දුවේ එක් පැත්තක් පමණයක් ඔප දමයි. එමගින් පන්දුවේ එක් පැත්තක ඔපයක් හා අනෙක් පෘෂ්ඨයේ කඩතොලු සහිත රළු ස්වභාවයක් ලෙස වෙනසක් ඇතිවේ. පන්දුව යැවිමේදි, ඔප දැමු පෘෂ්ඨය මගින් වාතය වැඩි වේගයකින් ද රළු පෘෂ්ඨය මතින් අඩු වේගයකින්ද ගමන් කරයි. මේ නිසා පන්දුවේ පෘෂ්ඨ දෙක දෙපස වායු ධාරා අතර පීඩන වෙනසක් ඇතිවේ.ඇතිවන පීඩන අන්තරය හේතුවෙන් ඔප දැමු පැත්තට බෝලය ගුවනේදිම හැරීම සිදුවේ.මෙයින් දෝලනයක්(swing) ඇතිවේ.


28

සිකුරාදා

සතියේ පැනය

ක්‍රිකට් කීුඩාවේදී පන්දු යවන්නන් විසින් පන්දු යැවීමට පෙර පන්දුවේ එක්පැත්තක් ඔප දමනු ඔබ දැක තිබෙනවාද? මෙසේ එක් පැත්තක් පමනක් ඔප දැමීමට හේතුව කුමක් ද?


27

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ලොව විශාලතම පිඹුරු විශේෂයක් වන Burmese Python නම් පිඹුරන් හට ඔවුන්ගේ අවයව පුනර්ජනනය කල හැකි බව ඔබ දැනසිටියාද? ඔවුන් ගොදුරක් ආහාරයට ගත් පසු, ඊළඟ අහාර වේල ගැනීමට වර්ෂයක් වුවත් ගත විය හැක. එම කාලය තුල ඔවුන් ගේ මුලු අහාර ජීරණ පද්ධතියම පාහේ ක්ෂීණ වී යයි. පිඹුරා උගේ ඊළඟ ගොදුර අහාරයට ගන්නා විට, මෙම අවයව සියල්ලම, දින දෙකක් ඇතුලත, නිරාහාරව සිටි සමයේ මෙන් 140–200% පමණ තරමට වැඩෙයි.


26

බදාදා

අද විදු වදන

පිළිකා වලට රසායනික චිකිත්සාව ලබන රෝගීන්ගේ හිසකෙස් වැටී ඇත්තේ ඇයිදැයි ඔබ කලපනා කොට තිබෙනවාද? එසේ වන්නේ එම ප්‍රතිකාර ක්‍රම මගින් වේගයෙන් වැඩෙන පිලිකා සෛල විනාශ කරන අතරම කෙස් ගසේ මුල ඇති වේගයෙන් වැඩෙන සෛලද විනාශ කරන නිසයි. එබැවින් කෙස් ගස් මුල් වලින්ම කැඩී යාමට වැඩි ප්‍රවනතාවක් දක්වයි.


25

අඟහරුවාදා

අද විදු වදන

ඇතැම් පුද්ගලයින් සිනාසෙන විට කම්මුල් වල ගැසෙන්නේ කෙසේදැයි ඔබ කල්පනා කොට තිබෙනවාද? එසේ වන්නේ එම පුද්ගලයින්ගේ කම්මුල්වල ඇති මාංශ පේශියක (Zygomaticus major නම් වූ) ඇති දෝෂයක් නිසාවෙන්. එවැනි පුද්ගලයෙකු සිනාසෙන විට මාංශ පේශියේ දෝෂය ඇති කොටස මගින් කම්මුලේ මැද ප්‍රදේශය,මුහුණ තුලට ඇදීමට ලක්වී වලක් මෙන් දිස්වේ.


24

සඳුදා

සතියේ පැනයට පිළිතුර

අලිගැටපේර තුල ඔමෙගා 3 ඒක අසංතෘප්ත මේද අම්ල අඩංගු වේ. ඒවා මගින් රුධිරයේ ඇති නරක (LDL) කොලෙස්ටරෝල් අඩුකර හොද (HDL) කොලෙස්ටරෝල් වැඩිකර හෘද රෝග අවධානම අඩුකරයි. තවද අලිගැටපේර විටමින් ඒ, ඩී සහ කේ බහුල වන අතර ඒවායින් ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය වේ. අලිගැටපේර වල බහුලව අඩංගු විටමින් E සහ C වැනි ප්‍රතිඔක්සිකාරක පිලිකා කාරක වලට එරෙහිව ක්‍රියාකර ශරීරය ආරක්ෂා කරයි. තවද අලිගැටපේර තුල අඩංගු පොටෑසියම් හෘද සහ වකුගඩු රෝග පාලනය සදහා උපකාරීවේ. මෙම නිසා පෝෂණවේදීන් අලිගැටපේර සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලෙස නිර්දේශ කරයි.


21

සිකුරාදා

සතියේ පැනය

20

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඔබ ඈනුමක් අරින විට දිව යටින් ඛේට බිඳු කිහිපයක් ඉවතට විදි අවස්ථාවක් මතකයට නගා ගත හැකිද? ඈනුම් අරින විට මෙසේ සිදුවන්නේ දිව යට පිහිටා ඇති ඛේට ග්‍ර‍න්ථි තෙරෙපීමට ලක්වී එම නාල වල ඇති ඛේටය වේගයෙන් ඉවත පැමිණීම නිසයි.


19

බදාදා

අද විදු වදන

ඔබේ නංගි හෝ මල්ලි කතාකිරීමට ඉගෙනගත් ඒ සුරතල් කාලය ඔබට මතක් කළ හැකිද? ඔවුන්ගේ ඒ කතා හා ශබ්ද ඔබට තේරුම්ගත නොහැකි වුවත් ඔබත් ඔබේ දෙමව්පියනුත් ඔවුන්ට ඔබේ වචන වලින් ප්‍ර‍තිචාර දක්වන්නට ඇති. කුඩා දරුවන්ට කතා කිරීමට ඉගෙන ගැනීමේදී වඩාත් වැදගත් වන්නේ මෙන්න මේ ධනාත්මක ප්‍ර‍තිචාරයයි. මෙම ක්‍රියාවලිය මානව වර්ගයාට පමණක් පොදු බව මෑත දක්වා විශ්වාස කළත් මේ ආකාරයේම හැසිරීමක් මාර්මසෙට් වඳුරන් අතර දැකිය හැකි බව අනාවරණය කරගෙන තිබෙනවා. අධ්‍යයන වලින් පෙනීගොස් තිබෙනවා දෙමව්පියන්ගේ ධනාත්මක ප්‍ර‍තිචාර වලට වැඩිපුර ලක්වන කුඩා දරුවන් ඉක්මනින් කථා කිරීමට ඉගෙනගන්නා සේම, වැඩිහිටි වඳුරන්ගේ ධනාත්මක වාචික ප්‍ර‍තිචාර වලට වැඩිපුර නිරාවරණය වූ වඳුරු පැටවුන් වඩාත් වේගයෙන් වැඩිහිටි ශබ්ද ඉගෙනගත් බව.


18

අඟහරුවාදා

අද විදු වදන

ඔබ පූසන්ට ආදරය කරන්නෙකු නම්, දැක ඇති ඔවුන් හිස් පෙට්ටි සමග සෙල්ලම් කිරීමට ඉතා ප්‍රිය කරන බව. ඔවුන් දවස පුරාම වුවත් කාඩ්බෝඩ් පෙට්ටි තුල සැඟවෙමින් සෙල්ලම් කරීමට කැමතියි. පූසන්ගේ මෙම හැසීරීම් රටාවට හේතුවී ඇත්තේ ඔවුන්ගේ පරිණාමය පුරා ඔවුන් දඩයම් කර ඇති ආකාරය බව පර්යේෂකයින් පවසනවා. ඔවුන් දඩයම් කරන විට කොහේ හෝ සැඟවී සිට ගොදුර වෙත පැන ගොදුර අල්ලගන්නවා. කඩදාසි පෙට්ටි, ඔවුන්ට සැඟවී සිටීමට කදිම ස්ථාන සපයන බැවින් ඔවුන් ඒවා සමග සෙල්ලම් කිරීමට දැඩි කැමැත්තක් දක්වනවා.


17

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ඩෙංගු වෛරසය ආසාධනය වූ විට වෛරසය ඇට මිදුලු වල ක්‍රියාකාරීත්වයට බාධාපමුණුවමින් රුධිර පට්ටිකා නිපදවීම අඩාල කරයි, තවද රැධිර වාහිනී වල අන්තශ්චදය ඩෙංගු වෛරසය මගින් ආසාධනය වීමෙන් පසු එම සෛල රුධිර පට්ටිකා සමග එකතු වී රුධිර පට්ටිකා විනාශ කරයි. එමෙන්ම ඩෙංගු වෛරසය ආසාධනය වූ පසු නිපදවන සමහර ප්‍රතිදේහ මගින්ද රුධිරයේ ඇති පට්ටිකා විනාශවේ. මෙම හේතු නිසා රුධිරයේ ඇති පට්ටිකා ප්‍රමාණය ඩෙංගු වෛරසය ආසාධනය වූ විට පහළ යයි.


14

සිකුරාදා

සතියේ පැනය

ඩෙංගු රෝගීන්ගේ රැධිරයේ පට්ටිකා ප්‍රමාණය සාමාන්‍ය මට්ටමට වඩා පහල අගයක් ගැනීම සාමාන්‍ය ලක්ෂණයකි. මෙසේ ඩෙංගු වයිරසය ආසාධනය වූ විට රැධිරයේ පට්ටිකා සාමාන්‍ය මට්ටමට වඩා අඩුවීමට හේතු මොනවාද?


13

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මහා පරිමාන කර්මාන්ත වලදී භාවිතාකෙරන තාපන-සිසිලන පද්ධති වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට යොදාගන්නේ ප්‍රතිප්‍රවාහ මූලධර්මයයි. මේ සඳහා අනුප්‍රාණය, පෙන්ගුවින් පක්ෂින්ගේ රුධිර සංසරණ පද්ධතියේ සැකැස්ම වීම කෙතරම් අපූරු ද? ඔවුන්ට ඉතා ශීතල දේශගුණයන්ට පවා සාර්ථකව ඔරොත්තු දීමට හැකි වී ඇත්තේ රුධිර නාල ඔස්සේ රුධිරය ගලා යන මේ විශිෂ්ට ක්‍රමවේදය නිසාවෙන් බව අප කීවා ඔබට මතක ද? කාර්මික තාප හුවමාරුකාරකවල සහ මෙම පක්ෂින්ගේ තරල සංක්‍රමණ රටාවන් බොහෝ දුරට සමාන වේ.


12

බදාදා

අද විදු වදන

වායු දූෂණ ගැටලුවට දැන් සුවිශේෂී නිර්මාණාත්මක පිළියමක් සොයාගෙන ඇත. එය අන් කිසිවක් නොව AIR INK ය. වායු දූෂක භාවිතයෙන් නිපදවන ලද ලොව පළමු තීන්ත වර්ගය AIR INK ය. දූෂිත වාතයේ ඇති දැලි ග්‍රහණය කරගෙන උසස් වර්ගයේ තීන්ත බවට පරිවර්තනය කිරීමට සමත් උපකරණයක් භාවිතයෙන් මෙය නිපදවයි. වායු දූෂක, අග්‍ර ගණයේ කලාකෘති බවට පරිවර්තනය කළ හැකි බව මීට පෙර ඔබ නිකමටවත් සිතුවා ද?


11

අඟහරුවාදා

අද විදු වදන

ප්‍රති-පරාවර්තී ආලේපන භාවිතා කිරීම හරහා සූර්ය කෝෂ වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට පුළුවනි. මෙම ආලේපන නිර්මාණකරණයට ඉවහල් වී ඇත්තේ සලබයින්ගේ ඇස්වල ඇති කුඩා ව්‍යුහ අධ්‍යයනය කිරීම බව ඔබට විශ්වාස කළ හැකි ද? නිශාචර සලබයින්ට සඳ එළිය පමණක් සහිත මඳ ආලෝක තත්ව යටතේ වුව ආරක්ෂිතව පියාසර කිරීමට හැකියාව ලැබී ඇත්තේ ඔවුන්ගේ ඇස් නිර්මාණය වී තිබෙන්නේ ප්‍රති-පරාවර්තී ක්ෂුද්‍ර කාච වලින් නිසාය. මෙම කුඩා ව්‍යුහ මගින් ඇසට පතනය වන ආලෝක කිරණ සියල්ලම පාහේ අවශෝෂණය කරයි. මෙලෙස ආලෝකය පරාවර්තනය වීම වැළැක්වීම හරහා විලෝපිකයන්ට සලබයින්ව හඳුනා ගැනීමට ඇති ඉඩකඩ අවම කරයි.


10

සඳුදා

සතියේ පැනයට පිළිතුර

කාබනීකෘත සිසිල් බීම බෝතල් වලින් පෙන නඟිමින් පිටවන වායුව CO2ය. අඩු උෂ්ණත්වයක ඇති ද්‍රවණයක් තුළ දී CO2 වල ද්‍රාව්‍යතාවය වැඩියි. මෙනිසා වරක් විවෘත කළ බෝතලයක් ශීතකරණයේ තැබීමෙන් කාමර උෂ්ණත්වයේ තබනවාට වඩා වැඩි වායු ප්‍රමාණයක් බීම ද්‍රාවණය තුළ රඳවා ගත හැකියි. සිසිල් බෝතලය පිටතට ගෙන නැවත විවෘත කරන විට, වැඩිපුර වායුව දියවී ඇති නිසා එහි පෙන බුබුළු සහිත බව වැඩියි.


7

සිකුරාදා

සතියේ පැනය

සෝඩා වැනි සිසිල් බීම බෝතල් විවෘත කරන විට සිරි සිරි ගාමින් ඉන් පිටතට වායු බුබුළු නිකුත් වන බව අප දැක තිබෙනවා. විවෘත කළ පසු එම බෝතල් පිටත තබනවාට වඩා ශීතකරණයක ගබඩා කිරීම වඩාත් සුදුසුය. ඒ ශීත කළ සිසිල් බීම වලින් පෙන බුබුළු නඟින ස්වභාවය වැඩි නිසාය. මෙයට හේතුව කුමක් ද?


6

බ්‍රහස්පතින්දා

අද විදු වදන

කෘත්‍රිමව වායු සමනය කිරීම සඳහා වැයවන බල ශක්තිය සුළුපටු නොවේ. සොබාදම විදහා දක්වන උපක්‍රම අනුකරණය කිරීම හරහා මෙම ගැටළුවට පිළියමක් සොයා ගත හැකි නම් කොතරම් අපූරු ද? ටෝනාඩෝ සහ දිය සුළි වලදී තරල සංචලනය වන ආකාරය පදනම් කරගෙන නවීන පංකා නිර්මාණය කර ඇති අතර මේවා මගින් ඇති කෙරෙන ආකූලතාවය අවම වන අතර සිසිලන කාර්යක්ෂමතාවය ද ඉහළ වේ.


5

බදාදා

අද විදු වදන

ගස් වල අතු බෙදීමේ දී ඒවා විචිත්‍ර රටාවක් පෙන්වන බව ඔබත් හඳුනා ගත්තා ද? ගසේ ප්‍රධාන කඳ කොටස මුලින්ම දෙකට බෙදී අතු දෙකකට ශාකනය වේ. පසුව එම ශාඛා දෙකෙන් එකක් පමණක් අලුත් අතු දෙකකට බෙදෙන අතර, අනෙක් ශාඛාව සුප්තව පවතී. අලුතින් සෑදෙන ශාඛා වලද අතු බෙදෙන්නේ මේ රටාවට යි. එමගින් ළපටි අතු වලට නැවත ශාකනය වීමට තරම් පරිනත වීමට කාලය ලැබෙන අතර ගසේ ස්ථාවරත්වය සුරැකේ.


4

අඟහරුවාදා

අද විදු වදන

මෙලොව එළිය දකින විටම වායුසමීකරණ පද්ධතියක් සහිතව උපත ලබන වාසනාවන්ත සත්වයෙකු ගැන ඔබ අසා තිබෙනවා ද? Saiga antelope නම් වන අතිශයින් අන්තරායට ලක් වූ කුරංග මුව විශේෂයට වායු සමන යන්ත්‍රයකට ආසන්න ක්‍රියාකාරිත්වයක් පෙන්වන නාසයක් හිමියි! ගිම්හාන කාලයේ දී උණුසුම් වාතය පෙනහලු කරා ළඟා වීමට පෙර සිසිලනය කිරීමටත්, ශිශිර ඍතුවේ දී සිසිල් වාතය උණුසුම් කිරීමටත් ඔවුන්ගේ නාසයට පුළුවන්.


3

සඳුදා

සතියේ පැනයට පිළිතුර

සාමාන්‍යයෙන් කූඩාරම් රෙදි වල ඉතා කුඩා සිදුරු පවතින නමුත් ජලයේ පෘෂ්ටික ආතතිය හේතුවෙන් ඒවා ඔස්සේ ජලය කූඩාරම තුළට නොපැමිණේ. එමෙන්ම වැසි දිනයක දී කූඩාරමේ පිටතට වඩා ඇතුළත උණුසුම් නිසා ඇතුල් පෘෂ්ටයේ ජල බිඳු ඝනීභවනය වී තිබිය හැක. දැන් අප කූඩාරම් රෙද්ද ස්පර්ෂ කළොත්, ජලයේ පෘෂ්ටික ආතතිය බිඳී ගොස් ජලය කූඩාරම තුළට පැමිණිය හැක.