2017 වසරේ අගෝස්තු මාසයට අයත් විද්‍යා පණිවුඩ

31

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මැලියම් භාවිතයේ දී මතුවන සුලබ ගැටලුවක් වන්නේ ජලය හමුවේ දී ඒවායෙහි ඇලෙනසුලු ගතිය නැති වී යාමයි. එහෙත් කැලිෆෝනියානු වෙරළ තීරයේ වෙසෙන Sandcastle පණුවන් මේ ප්‍රශ්නය ජය ගෙන ඇත! කොරල් පර සෑදීමට දායක වන මොවුන් Sandcastle worms ලෙස හඳුන්වන්නේ ලාටු වර්ගයක් ස්‍රාවය කර එමගින් වැලි කැට එකිනෙකට අලවා වැලි මාළිගා තනන බැවිනි. මෙම ස්‍රාවයන් අනුප්‍රාණය කරගෙන ජලය හමුවේ වුව හොඳින් එකට බැඳී පවතින මැලියම් නිපදවීමට හැකි වී ඇත.


30

බදාදා

අද විදු වදන

කිඹුලන්ට ඉතා තද ද්‍රව්‍ය එනම් වානේ ඇණ සහ වීදුරු පවා ජීරණය කළ හැකි බව ඔබ දන්නවාද? ඒ ඔවුන්ගේ ජීරණ යුෂයේ ප්‍රබල හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අධිකව ඇති නිසා ආමාශය අතිශයින් ආම්ලික බැවිනි. නමුත් මේ තරම් ආම්ලික පරිසරයක් තම සිරුර තුළ පවත්වා ගැනීම කිඹුලාට හානිකර වන්නේ නැති ද? තම සිරුරේ පිහිටි ශ්ලේෂ්මල ස්‍රාවය කරන අපිච්ඡද පටක ස්ථර ගණනාවක් මගින් ඔවුන්ට ආරක්ෂාව සැලසේ. මේවා නොවන්නට තමා ගන්නා ආහාර වෙනුවට ජීරණ යුෂය හමුවේ කිඹුලා ජීරණය වී යනු ඇත!


29

අඟහරුවාදා

අද විදු වදන

මකුළු දැල් සේද වල ශක්තිමත් බව ඉතා අධිකයි. මේ ශක්තිමත් බව තවදුරටත් ඔප්නැංවීමට සමත්, කෘත්‍රිම සංඝටකද එක් කර මකුළුවන් ලවාම සවිමත් සේද නිපදවීමට පුළුවන් නම් එය කෙතරම් අපූරු ද? මෙය සිදුකර ඇත්තේ ග්‍රැෆීන් නැනෝ අංශු මුසු කළ ජලය මකුළුවන්ට බීමට ලබාදීම මගිනි. මොවුන් විසින් කටින ලද සේද පරික්ෂා කිරීමේ දී ඒවායෙහි ග්‍රැෆීන් අඩංගුව පවතින බව හෙළිවී ඇත. මේ හා සමාන ක්‍රමවේදයක් අනෙකුත් ජෛව පද්ධති මත ද අත්හදා බැලීම හරහා, නවමු මාදිලියක විකරණය කරන ලද ජෛවීය ද්‍රව්‍ය නිපදවීමට හැකි වේවි!


28

සඳුදා

සතියේ පැනයට පිළිතුර

කඩදාසි සෙලියුලෝස් නම් තන්තු වලින් සමන්විත වේ. මේ තන්තු නොයෙක් දිශාවලට සංවිධානය වීමෙන් කඩදාසි වලට ආවේණික දෘඩතාවය ලැබේ. බාහිර බලයක් යොදා පොඩිකරන විට මෙම තන්තු ස්ථිර ලෙසටම කැඩී ගොස් කඩදාසියේ නැමීම් ඇතිවේ. තන්තු බිඳී යාමේ දී ශක්තියෙන් කොටසක් හානි වීමෙන් ශබ්දය ජනනය වේ. පොඩි කළ කඩදාසියක් නැවත දිගහැර පොඩි කරන විට මුල දී මෙන් උස් ශබ්දයක් ඇති නොවන්නේ, ඒ වන විටත් කඩදාසියේ ඇති තන්තු බොහොමයක් බිඳී ගොස් පවතින බැවිනි.


25

සිකුරාදා

සතියේ පැනය

අපි කඩදාසි බෑගයක් පොඩිකරන විට ඉන් සැලකිය යුතු මට්ටමේ ශබ්දයක් නිපදවේ. එහෙත් පොඩි කළ කඩදාසියක් දිග හැර, නැවත වරක් පොඩි කරන විට එතරම් ශබ්දයක් ඇති වන්නේ නැත. මෙම ශබ්දයන් පසුපස ඇති හේතු පහදන්න.


24

බ්‍රහස්පතින්දා

අද විදු වදන

අපි අපේ සිරුරෙන් තාපය හානි වීම අවම කර දේහය උණුසුම්ව තබා ගැනීමට විවිධාකාරයේ උපක්‍රම අනුගමනය කරමු. එහෙත් කොකුන් වැනි ජලාශ්‍රිත පක්ෂීන් තනි කකුලෙන් හිටගෙන සිටීම පිටුපස ඇති හේතුව ද මීට සමාන එකක් බව ඔබ නිකමටවත් සිතුවා ද? නිරතුරුව ජලය මත සිටගෙන සිටින මොවුන්ගේ දෙපා පිහාටු වලින් ආවරණය වී නොපවතියි. ඒ නිසාම දෙපා හරහා බාහිර පරිසරයට තාපය හානි වීමේ ඉඩකඩ බහුලයි. එක් පාදයක් ඔසවා පියාපත් අතර සඟවා ගැනීම මගින් එය අවම කර දේහ තාපය සංරක්ෂණය කරගැනීමට පුළුවන්.


23

බදාදා

අද විදු වදන

සාගරයේ ඇති ඇතැම් හානිකර විෂ ද්‍රව්‍ය, බැර ලෝහ ආදිය කොරල් මගින් ස්වභාවිකව ඉතා කාර්යක්ෂම ලෙස අධිශෝෂණය කෙරේ. එය කොරල් වලට හානිකර විය හැකි නමුත්, අහිතකර ද්‍රව්‍ය අධිශෝෂණය කිරීමෙහි කොරල් සතු විශ්මිත හැකියාව අනුකරණය කරමින් කෘත්‍රිම අධිශෝෂක නිපදවීමට මේ හරහා මඟ විවර වී ඇත. කොරල් වල ව්‍යුහය ආදර්ශයට ගෙන නිමවා ඇති මෙම අධිශෝෂක, සාගරයේ ඇති බැර ලෝහ ඉවත් කිරීමේ දී ඉතා ප්‍රයෝජනවත් වේ.


22

අඟහරුවාදා

අද විදු වදන

මුහුදු ජලයේ ලුණු මිශ්‍රව ඇති බව අපි කවුරුත් දනිමු. එහෙත් මේ ලුණු මිශ්‍ර මුහුදු ජලය හෙමින් සීරුවේ හිමායනය වන්නට සැලැස්වුවහොත් එවිට ලැබෙන්නේ, ලුණුවලින් තොර මිරිදිය වලින් සැදි අයිස් කැට බව ඔබට විශ්වාස කළ හැකි ද? අයිස් ස්පටික වල ජල අණු සකස්ව ඇති ආකාරය සලකන විට, එම ව්‍යුහයට ලවණ අයන වලට ඇතුළු වීමට අපහසුය. එ් නිසා ලවණ අයන ද්‍රාවණයේ ඉතිරිව පවතී. කෙසේ නමුත් හිමායන ක්‍රියාවලිය වේගවත් වුවහොත් සෑදෙන අයිස් අතර ලුණු ස්පටික සිරවී තිබිය හැක.


21

සඳුදා

සතියේ පැනයට පිළිතුර

දිව යනු නිරතුරුවම චලන සිදු කරන පේශියකි. ඒ නිසාම දත්වලින් දිවට හානියක් සිදුවීම වැළැක්වීමටත්, ස්වසන මාර්ගය අවහිර නොවන පරිදි දිවෙහි චලන පවත්වා ගැනීමේ දීත්, අපේ මොළයට විශාල කාර්යභාරයක් ඉටුකිරීමට සිදු වේ. තවද දිවෙහි ස්පර්ෂ ප්‍රතිග්‍රාහක ද බහුලව ඇති නිසා ඒ්වා මගින් මොළයට නිතර නිතර සංවේදන යැවේ. දිව පිටතට දමා හපාගෙන සිටීම හරහා එහි චලන අඩුකර, දිවේ චලන යාමනයට මොළය මගින් වැය කෙරෙන ශක්තිය අවම කරයි. එමෙන්ම මානසික ඒකාග්‍රතාව බිඳී යාමට හේතුවන ආකාරයට ආවේග ජනනය වීම ද අවම කරයි. එවිට අප කරන කාර්යය වඩාත් සාර්ථකව සිදු කිරීමට මොළයේ ශක්තියෙන් වැඩි ප්‍රමාණයක් වැය කළ හැකි වේ.


18

සිකුරාදා

සතියේ පැනය

ගැඹුරු කල්පනාවක යෙදී සිටින විට හෝ සියුම් වැඩක් කරන විට, විශේෂයෙන්ම කුඩා ළමයි තම දිව මුඛයෙන් පිටතට දමාගෙන සිටින බව ඔබත් දැක තිබෙනවා ද? බැරෑරුම් කල්පනාවක සිටින විට මෙසේ දිව පිටතට දමා හපාගෙන සිටීමට ඇතැම් අය හුරුවී ඇත්තේ මන්ද?


17

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඇතැම් වඳුරන්, මිනිස්සුන්ගේ උරහිසට නැග හිසකෙස් අතරින් ඇඟිලි යැවීමට හුරුව සිටින බව ඔබත් දැක තිබෙනවා ද? තායිලන්තයේ වෙසෙන මැකී වඳුරන් මේ අයුරින් මිනිසුන්ගේ කෙස් ගස් ගලවා ගැනීමට හුරුවී සිටියි. මේවා භාවිතයෙන් ඔවුන් කරන්නේ කුමක්දැයි දැන ගැනීමට කැමති ද? අපේ කෙස් ගස් තම දත් අතරින් යවමින් වඳුරන් සිය දත් දෙපළ පිරිසිදු කරගනියි. දන්ත සෞඛ්‍ය පවත්වා ගැනීමේ දී පොල් කෙඳි හා රිකිලි වෙනුවට ගත හැකි වඩා හොඳ විකල්පයක් ලෙස ඔවුන් මෙය හඳුනාගෙන තිබෙනවා!


16

බදාදා

අද විදු වදන

ගුවන් ගත කළ හැකි රොබෝ යන්ත්‍රයක් හෝ ඩ්රෝන් යානාවක් පියාසැරියේ නියුතු අවස්ථාවක එයින් කොටසක් ගැලවී ගියොත්, නිසැකවම යානාව කඩාගෙන වැටෙනු ඇතැයි ඔබ සිතාවි. නමුත් දැන් හදිසි අනතුරකින් ගාත්‍රාවක් අහිමි වී ගිය ද නොසැලී ගුවනේ රැඳී සිටීමට හැකි පළතුරු මැස්සාගේ චලන අනුකරණය කිරීමෙන් මේ ගැටළුවට පිළියමක් සොයාගත හැක! ආබාධිත තටු සහිත මැස්සන් වායු ධාරා හමුවේ දක්වන චලන, අධිවේග කැමරා භාවිතයෙන් අධ්‍යයනය කර ඒවා අනුගමනය කිරීමට රොබෝ යන්ත්‍ර හුරු කරවීමෙන් මේවා දිගටම ගුවන්ගතව තබා ගත හැක.


15

අඟහරුවාදා

අද විදු වදන

මුහුදු ලිහිණියන් වැහි නැටුම රඟ දක්වන අයුරු ඔබ දැක තිබෙනව ද? මෙය ඔවුන් තම ප්‍රවර්තනය සඳහා යොදා ගන්නා දඩයම් පිළිවෙතකි. ඔවුන් පොළොව මත තාලයට අඩි තබන්නේ වැසි වසින අයුරු අනුකරණය කරමිනි. මෙහිදී ඇතිවන කම්පන තරංග පොළොව යට සිටින පණුවන් මතුපිටට ඒමට පොළඹවයි. එවිට මුහුදු ලිහිණියන් ඔවුන්ව පහසුවෙන්ම ගොදුරු කර ගනියි.


14

සඳුදා

සතියේ පැනයට පිළිතුර

වාණිජ මගීප්‍රවාහන ගුවන් යානා වල විශාල ඔක්සිජන් ටැංකි ගෙනියන්නේ නැත. ඒවායෙහි ඔක්සිජන් මාස්ක් සඳහා යොදා ගැනෙන්නේ රසායනික ප්‍රතික්‍රියා භාවිතයෙන් ක්‍රියාකරන ඔක්සිජන් ජනකයි. මේවා තුළ සෝඩියම් ක්ලෝරේට්, බේරියම් පෙරොක්සයිඩ්, පොටෑසියම් පර්ක්ලෝරේට් ඇතුළු රසායනික ද්‍රව්‍ය මිශ්‍රණයක් ඇත. මුඛ ආවරණය පහතට ඇද්ද විට රසායනික ස්ඵෝටනයෙන් නිකුත්වන තාපය හේතුවෙන් ඉහත සංයෝග ප්‍රතික්‍රියා කර ඔක්සිජන් වායුව නිපදවයි. එම ඔක්සිජන් නල මාර්ග හරහා පැමිණ පෙරීමට ලක්වී මගීන්ගේ ස්වසනයට අවශ්‍ය වායුව සපයයි.


11

සිකුරාදා

සතියේ පැනය

ගුවන් යානයක ගමන් කරන විට හදිසි අනතුරක දී එය තුළ අවපීඩන තත්වයක් ඇති වුවහොත් ඔබ ඉදිරියේ ඇති පැනලයෙන් පහතට ඔක්සිජන් මුව වැසුම් (oxygen mask) නිදහස් කෙරේ. පහතට ඇද්ද විට ස්වසනයට අවශ්‍ය වාතය ඒවායෙන් ගලා එයි. නමුත් මේවාට ඔක්සිජන් ලැබෙන්නේ කොහොම ද? හදිසි අවස්ථා වලදී භාවිතා කිරීම සඳහා ගුවන් යානා වල විශාල ඔක්සිජන් ටැංකි තිබේද?


10

බ්‍රහස්පතින්දා

අද විදු වදන

අප්‍රිකානු කාන්තාර ආශ්‍රිතව වැඩෙන පුනරුත්ථාන ශාක, නියං කාලයේ සම්පූර්ණයෙන්ම වියළී ගිය ද වර්ෂාව එළැඹෙත්ම යළිත් දළු ලා ජීවය ලබාගයි. ඇත්තෙන්ම එසේ කරන්නේ වියළි කාලයේ දී ශාකයේ ඇති ජලය ට්‍රෙහලෝස් නම් සීනි වර්ගයකින් ප්‍රතිස්ථාපනය කිරීමෙනි. මේ ස්වභාවික ක්‍රියාවලිය අනුකරණය කරමින් ශීතනය කිරීමකින් තොරව ගබඩා කර තැබිය හැකි එන්නත්සාර නිපදවීම හරහා නුදුරු අනාගතයේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදුවනු ඇත.


9

බදාදා

අද විදු වදන

ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට එක්වීමෙන් මතුවන ගැටළු දිනෙන් දින උග්‍ර වෙමින් පවතී. අවන්හල් වලින් දෙන ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු කුණු කූඩයට දැමීමෙන් ඔබත් මේ අර්බුදයට නොඅඩුව දායක වී ඇති. කෑම බීම වගේම හැඳි ගෑරුප්පුත් කෑමට ගන්න පුලුවන් නම් මේ ප්‍රශ්නය ඇතිවන්නේ නෑ නේද? අපේ අසැල්වැසි ඉන්දියානුවන් නිපදවූ තිරිඟු, සහල්, ඉරිඟු හා ජලය මිශ්‍රකර සාදන හැඳි ඊට කදිම පිළියමකි. ඉහත වට්ටෝරුවේ තෙල් හා මේද අඩංගු නොවන නිසා මෙලෙස සාදන හැඳි ගෑරුප්පු උණුසුම් පාන වර්ග හමුවේ වුව දියවීමකින් තොරව ඝනව පවතී.


8

අඟහරුවාදා

අද විදු වදන

හදිසි ජල ගැලීම් හමුවේ ක්ෂණිකව භාවිතයට ගත හැකි අපූරු යාත්‍රාවක් ආධාරයෙන්, රතු කූඹින්ට(fire ants) ගංවතුර හමුවේ නොගිලී දිවි බේරා ගැනීමට හැකි බව ඔබ දැන සිටියා ද? මේ යාත්‍රාව අන් කිසිවක් නොව, කුහුඹු ගණාවාසය එකට එකතු වී ඔවුන්ගේ මුඛ උපාංග හා පාද වලින් එකිනෙකා සමඟ බැඳී සාදා ගන්නා රවුම් හැඩැති පැතලි සජීවී පහුරයි. ඔවුන් තත්පර සියයක් වැනි කෙටි කාලයකදී තනා ගන්නා මේ කුහුඹු පහුර, සති ගණනාවක් තිස්සේ වුව දිය මත පාවෙමින් ජීවිත දහස් ගණනක් ආරක්ෂා කරයි.


4

සිකුරාදා

අද විදු වදන

සූර්යාලෝකයට නිරාවරණය වීම සම ටෑන් කරදෙන නමුත් එහි ඇති පාරජම්බුල කිරණ අපට හානිකර විය හැක. හිරු එළියෙන් ආරක්ෂා වීමට භාවිතා කරන ආලේපන වල අවශ්‍යතාවය මතු වන්නේ මෙහිදීය. සෑම දිනකම මේවා ආලේප කරනවාට වඩා, දිගුකල් පවතින DNA පටලයක් සමට ආලේප කළ හැකි නම් එය කෙතරම් අපූරු ද? මෙම නවතම DNA ආලේපනය හිරු එළියට නිරාවරණය වීම වැඩි වත්ම එමගින් සමට ආරක්ෂාව සැලසීමේ හැකියාව තව තවත් වැඩි වේ. එපමණක් නොව ජලය වාෂ්ප වීම අවම කරමින් සමෙහි තෙතමනය රඳවා ගැනීමට ද මෙය උදව් වේ.


3

බ්‍රහස්පතින්දා

අද විදු වදන

දළඹුවන් දැඩි ආහාර හිඟයක් හමුවේ ආතතියට ලක් වූ විට ඔවුනොවුන්ව කා දැමීමට පෙළඹීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එහෙත් ඇති තරම් ශාකමය ආහාර තමා ඉදිරියේ තිබිය දීත් දළඹුවන් එකිනෙකාව කා දැමීමට පෙළඹෙන්නේ නම් එය පුදුම සහගතයි නේද? ඒ අැයි දැයි කිව්වොත් තක්කාලි ඇතුළු සමහර ශාක වලට පළිබෝධ වලට විෂකුරු මෙතිල් ජැස්මොනේට් නම් රසායනිකය නිපදවන්න පුලුවන්. මෙය දළඹුවන්ගේ තක්කාලි වලට ඇති රුචිය නැතිකර ඔවුන්ව ස්වජාතිභක්ෂකයින් බවට පත්කරයි.


2

බදාදා

අද විදු වදන

දහඩිය කියන්නේ අපි හැමෝවම අපහසුතාවයට පත් කරන දෙයක්. ඒ නිසාම අපි එදිනෙදා ජීවිතයේදී අපේ ශරීරයේ උෂ්ණත්වය අඩු කරගෙන දහඩිය දැමීම අවම කිරීමට නොයෙක් අාකාරයේ ක්‍රම අනුගමනය කරනවා. නමුත් පර්යේෂකයින් කණ්ඩායමක් විසින් සොයාගෙන තියෙන දහඩිය වලින් බලය නිපදවන අලුත් උපාංගයක් නිසා මේ සියල්ල වෙනස් විය හැකියි. සම මත ඇලවිය හැකි හතරැස් කොටුවක් වන මෙහි ඇති එන්සයිම, දහදිය මත ක්‍රියාකර
බලය නිපදවනවා. එබැවින් නුදුරු අනාගතයේ ඔබගේ ජංගම දුරකථනය චාර්ජ් කිරීමට අමතක වුවහොත් ඔබේ දහදිය මගින්ම එය ආරෝපනය කිරීමට හැකි වේවි.


1

අඟහරුවාදා

අද විදු වදන

අප ගෙදර දොරෙදී නිතර භාවිතයකින් තොරව විසිකරන පොල් වතුර, පෝෂණ ගුණයෙන් ඉතා ඉහල බීමක් බව ඔබ දැනසිටියාද? කොළ පැහති නොමේරූ පොල් ගෙඩි වලින් ගන්නා පොල් වතුර වල ඇති සීනි අන්තර්ගතය ක්‍රීඩා බීම බොහොමයකට වඩා අඩු වන අතර පොටෑසියම් හා කැල්සියම් වලින් පරිපූර්ණ වේ. එපමණක් නොව පොල් වතුර සේලයින් වලට ආදේශකයක් ලෙස වෛද්‍යවරුන් විසින් පවා භාවිතා කර තිබෙනවා.