2017 වසරේ සැප්තැම්බර් මාසයට අයත් විද්‍යා පණිවුඩ

29

සිකුරාදා

සතියේ පැනය

කන්දක උඩට නගින විට සිරුර ඉදිරියට නැමීමට අප උත්සහ කරනවා. ඒත් පල්ලමක් දිගේ පහළ බසින විට සමබර වීමට සිරුර පහළට බර කරනවා. ඒ ඇයි දැයි හේතු පහදන්න.


28

බ්‍රහස්පතින්දා

අද විදු වදන

අමතර රෝදයක් ද නොමැති මොහොතක වාහනයේ ටයරයක හුළං ගියොත් සිදුවන්නේ මහත් අකරතැබ්බයක්. එහෙත් වාතය පිරවීමට අවශ්‍ය නොවන ආකාරයේ ටයර් භාවිතා කළොත් මෙවන් අවස්ථා උද්ගත වන්නේ නැහැ නේද! ලොව සුපතල Bridgestone සමාගම නිර්වායු ටයර් නිපදවීමට දැනටමත් මුලපුරා ඇත. තාපසුවිකාර්ය රෙසින් වලින් සෑදූ මේ ටයර්, වාහනයක බර දරා ගැනීමට හැකිවන අන්දමට අනන්‍ය වූ රටාවකට ගරාදි යෙදීමෙන් නිමවා ඇත. මේවා සමඟ අනාගතයේ දී ටයර්වල හුළං යාමෙන් වාහන අතර මඟ නතර නොවනු ඇති අතර නැවත නැවත හුළං ගැසීමට ද අවශ්‍ය නොවේ.


27

බදාදා

අද විදු වදන

ඔබත් ඔබේ මුළුතැන්ගෙයි මැරුණු කැරපොත්තන් සිටිනවා දැක ඇත්නම් ඔවුන් බොහොමයක් පාද ඉහළට යොමුව උඩුබැලි අතට සිටින බව දැක ඇති. ඒත් මියැදෙන සියලු කැරපොත්තන් අවසන් සුසුම් හෙලන්නේ මෙලෙස උඩුබැලි අතට පමණක්ම නොවේ. බොහෝ විට ඉහත ඉරණම අත්වන්නේ අප යෙදූ කෘමිනාශක වලට හසුවූවන්ටයි! කැරපොත්තාට තම පාද හය පොළොව මත ස්ථාවරව තබා ගැනීමට නම් එ්වායේ ස්නායු නොනවත්වා උත්තේජනය කළ යුතුයි. නමුත් කෘමිනාශකවල ඇති ස්නායු ධූලක මගින් මේ ස්නායු ආවේග අවහිර කර දමයි.


26

අඟහරුවාදා

අද විදු වදන

සන්ධ්‍යා යාමයේ හෝ රාත්‍රී කාලයේ දී එළිමහනේ විදුලි බුබුළක් දැල්වූ විට එය අවට කෘමීන් රොක් වී බල්බය වටේට පියාඹමින් ගුවන්ගත රැඟුමක් රඟදෙන අයුරු ඔබත් දැක ඇති. මීට හේතුව දන්නවා ද? නිශාචර කෘමීන් සඳ එළිය ආධාරයෙන් රාත්‍රියේ දී යාත්‍රා කළ යුතු මඟ සොයා ගැනීමට හුරුවී සිටියි. සඳෙන් ගලන කිරණ සමඟ නියත කෝණයක් තබා ගැනීම හරහා ඔවුන් ස්ථාවර පථයක පියාඹයි. කෘත්‍රිම අලෝකය සමඟ ද මෙයම සිදුකරන්නට කෘමීන් උත්සහ කරයි. ඒත් බල්බයේ ආලෝකය සෑම අතටම විහිදෙන නිසා රේඛීය පථය වෙනුවට බල්බය වටා වූ සර්පිලාකාර පියාසැරියකට ඔවුන් හසුවේ.


25

සඳුදා

සතියේ පැනයට පිළිතුර

රෙද්දක් වියා ඇති කෙඳි අතර සියුම් හිදැස් පවතී. ආලෝකය ඇඳුමක් මතට පතිත වූ විට යම් ප්‍රමාණයක් එමගින් අවශෝෂණය කරගන්නා අතර ඉතිරිය පරාවර්තනය වී ඇසට ඇතුළු වීමෙන් ඇඳුම දීප්තිමත්ව දිස්වේ. වතුර වැටුණු විට ඇඳුමේ ක්ෂුද්‍ර තන්තු අතරට ජල අණු ඇතුළු වී වර්තන මාධ්‍යය වෙනස් වේ. එවිට පතිත ආලෝක කිරණ ජල පෘෂ්ඨයේ දී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වීමේ ප්‍රතිඵලයක් ලෙස වැඩි ආලෝක ප්‍රමාණයක් ඇඳුම මගින් අවශෝෂණය කෙරේ. පරාවර්තිත කිරණ ද විවිධ කෝණ වලින් විසිරී ගොස් ඇස වෙත පතිත වීම මඟහැරී යාම හේතුවෙන් තෙත් වූ පෙදෙස අඳුරුවට දිස්වේ.


22

සිකුරාදා

සතියේ පැනය

වතුර බොන විට හදිසියේම වතුර ටිකක් කමිසයට හැලුණොත් ඔබ තෙමෙනවා පමණක් නොව, ඔබ නොසැලකිලිමත්ව කටයුතු කර ඇති බව අවට සිටින අය ද හොඳින් දැනගන්නවා. ඒ මොකද කිව්වොත් කමිසයේ වතුර වැටුණු තැන අඳුරු පැල්ලමක් ලෙස දිස්වේ. ඇඳුමක් තෙත් වූ විට එතැන අඳුරුවට දිස්වන්නේ ඇයි?


21

බ්‍රහස්පතින්දා

අද විදු වදන

අපි නියපොතු කපන විට, ගස් අතු කප්පාදු කරන විට ඉන් සුවඳක් හෝ ගඳක් වහනය වන්නේ නැත. ඒත් තණකොළ කැපූ පසු එයින් අමුතුම ගඳක් එනවා නේද? අපි ආතතියට ලක් වූ විට දහදිය දමන්නාක් මෙන් තණකොළ කපන විට නිදහස් වන එන්සයිම මගින් එම ගන්ධය ඇති කරන්නේ ‘ආපදා සංඥාවක්’ ලෙසට බව ඔබ දන්නවා ද? මේ ගන්ධයට තණකොළ කා දමන කෘමීන් විකර්ෂණය කළ හැකි අතර එම පළිබෝධකයින්ගේ විලෝපිකයන් ආකර්ෂණය කරන්න පුළුවන්. එනම් අපට දැනෙන මේ ගන්ධය, සැබැවින්ම තෘණ ශාක ඔවුන්ගේ පැවැත්ම පතා පළිබෝධකයින් ඈත් කිරීමට යොදාගන්නා ආරක්ෂක යාන්ත්‍රණයක්!


20

බදාදා

අද විදු වදන

බූවල්ලාගේ ග්‍රාහිකා අනුකරණය කරමින් අනර්ඝ රොබෝ හස්ත නිපදවා ඇති බව ඔය දැනටමත් දන්නවා. එතැනින් නොනැවතී මොවුන්ගේ ග්‍රාහිකා වල ඇති චූෂකර ද, නවමු මාදිලියක ඇලවුම් පටි නිපදවීමට අනුප්‍රාණය වී තිබීම ඉතා අපූරුයි නේද? තෙත් පරිසර වලදී පවා භාවිතා කළ හැකි, අදාල පෘෂ්ඨයට ඉක්මනින් ඇලෙන, එහෙත් ක්‍රියාව ප්‍රත්‍යාවර්ත නිසා ප්‍රතිභාවිතා කළ හැකි මේ ඇලුම් පටිවල ඉතා කුඩා සිදුරු අඩංගු වේ. බූවල්ලාගේ පටක සංකෝචනය වන විට චූෂකර ක්‍රියාත්මක අන්දමට සමාන ආකාරයකට මේ සිදුරු ද උෂ්ණත්ව වෙනස්වීම් වලට ප්‍රතිචාර දක්වමින් ඇරීම හා වැසීම සිදුවේ.


19

අඟහරුවාදා

අද විදු වදන

දැල්ලන්ට මහ හයියෙන් කෑ ගසන්නට බැරි වුණත්, ඔවුන්ට තමන්ගේ සමේ ඇඳි අද්විතීය සංඥා රටා භාවිතයෙන් තම සහකරුවන් සමඟ අදහස් හුවමාරු කරගන්නට පුළුවන් බව ඔබ දැන සිටියා ද? මෙම Oval Squid නම් දැල්ලන් විශේෂය ආදරය ප්‍රකාශ කිරීමට යොදාගන්නා භාෂාව ශබ්ද වලට පමණක් සීමා වී නොමැති අතර, එය විවිධ වර්ණ හා රටා වලින් විචිත්‍ර වී ඇත. සමෙහි පිහිටා ඇති වර්ණධර සෛල ආධාරයෙන් ඔවුන් තමන්ගේම සිරුර මත තිත්, ඉරි හා වයිරම් පින්තාරු කරගෙන ඒ හරහා අදහස් ප්‍රකාශ කරයි.


18

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ශාක පත්‍ර වලට පැහැය ගෙන දෙන්නේ ඒවායෙහි අඩංගු වර්ණක අණු මගිනි. කොළ ප‍ැහැය දෙන්නේ, හිරු එළිය ආධාරයෙන් ශාක වල ආහාර සංස්ලේෂණය කිරීමට උපකාරී වන හරිතප්‍රද වර්ණකයයි. සරත් සමයේ දී රාත්‍රිය දිගු වී හිරු එළිය සිමාවීම හමුවේ ශාක හරිතප්‍රද නිපදවීම නතර කරන අතර තිබෙන හරිතප්‍රද ද ක්‍රමයෙන් හායනය වේ. එවිට මෙතෙක් යටපත් වී තිබූ කැරොටිනොයිඩ, ඇන්තොසයනින් ආදී අනෙක් වර්ණක වල කහ, තැඹිලි, රතු පැහැයන් දෘශ්‍යමාන වීමට පටන් ගනියි. මෙසේ දේශගුණයට සංවේදී වී ඊට අනුරූපව වර්ණක නිපදවීම පාලනය කිරීම එළඹෙන සීත ඍතුවේ දී දිවි රැකගැනීමට ඉවහල් වේ.


15

සිකුරාදා

සතියේ පැනය

වසරකට ඇති සරත්, සිසිර, වසන්ත, ගිම්හාන යන ඍතු විපර්යාසයන් සමඟම සොබාදමේ පැහැය ද විවිධ විපර්යාසයන්ට ලක්වේ. ඒ අතරින් ගිම්හානයේ ඇති හරිත වර්ණ ගස්වැල් සරත් සමයේ දී රතු කහ පැහැයට හැරෙන අයුරු කැපී පෙනෙයි. මෙසේ ශාක පත්‍රවල පැහැය වෙනස් වන්නේ ඇයි?


14

බ්‍රහස්පතින්දා

අද විදු වදන

පුරාතන චීනයේ දී යුධ ගැටුම් වලින් අනතුරට ලක් වූවන්ගේ තුවාල මතට, පොඩි කරන ලද කකුළුවන් අතුල්ලන සිරිතක් තිබූ බව ඔබත් අසා තිබෙනවා ද? සැබැවින්ම කකුළු කවචයේ ඇති ප්‍රතික්ෂුද්‍රජිවී ගුණාංග වලින් පොහොසත් කයිටොසෑන් නම් ඛනිජයට බැක්ටීරියා නසමින් තුවාල සුව වීම වේගවත් කරන්නට පුළුවන්. මේ රහස නිරාවරණය කරගත් පසු, දැන් කකුළු කවච නිස්සාරක අඩංගු කර ඉක්මකින් තුවාල සුවපත් කළ හැකි හයිඩ්‍රොජෙල් වෙලුම් පටි සහ ප්ලාස්ටර් නිර්මාණය කිරීමට යොමු වී තිබෙනවා!


13

බදාදා

අද විදු වදන

යමක් කටපාඩම් කර ගැනීමට අවශ්‍ය වූ විට ඒවා රිද්මයානුකූල ගීතයක් ලෙසට පෙළ ගැස්වුවහොත් මතක තබා ගැනීම වඩාත් පහසු වන බව ඔබ අත්දැක තිබෙනවා ද? මෙයට හේතුව නම් එළිසමය හා එළිවැට යනු අපේ මතක ශක්තිය වැඩි දියුණු කිරීමට සමත් සරල නමුත් ඉතා ඵලදායී උපක්‍රමයක් වීමයි. ‘ධ්වනි කේතීකරණය’ නම් වන මෙම ක්‍රමවේදයට අනුව යම් තාලයකට අනුරූපව දත්ත සකස් කිරීම හරහා මොළයට වඩාත් පහසුවෙන් ඒවා කේතනය කරගත හැකි වෙනවා. ඉදිරියේ දී ඔබටත් යමක් මතක තබා ගැනීමට අවශ්‍ය වුවහොත් එම දත්ත වලට රිද්මයක් මුසු කිරීම හරහා කාර්යය පහසු කරගත හැකි වේවි.


12

අඟහරුවාදා

අද විදු වදන

මෝරුන් දඩයමට උපන් හපන්නුය. ගැඹුරු සාගරයේ ඇති අන්ධකාරය අතරේ ඔවුන් මෙතරම් විශිෂ්ඨ අන්දමින් ගොදුරු අල්ලා ගන්නේ කෙලෙසද යන්න මෑතක් වන තුරු දැවැන්ත අබිරහසක්ව තිබුණි. විද්‍යුත් සංඥාවන් පවා ඔවුන්ට ගොදුරු අල්ලාගැනීමට මග පෙන්වන වන බව දැන් සොයාගෙන තිබෙනවා. සියලුම ජීවීන් හෘදය ඇතුළු අනෙකුත් පේශීන් සංකෝචනය කරන විට ඒ අවට විද්‍යුත් ක්ෂේත්‍ර‍යක් නිර්මාණය කෙරේ. මෝරුන් ඉතාමත් සංවේදී විද්‍යුත් ප්‍ර‍තිග්‍රාහක වලට උරුමකම් කියන නිසා ඔවුන්ට තම ගොදුරු මගින් නිකුත් කෙරෙන මෙම දුර්වල විද්‍යුත් සංඥා පවා හදුනාගැනීමට පුළුවන්!


11

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ලී වල ඇති සවිවර ස්වභාවය නිසා එයට තෙතමනය උරා ගත හැක. වැසි සමයේ දී වායුගෝලයේ ආර්ද්‍රතාව ඉහළ ගොස් තෙතමනය වැඩි වේ. ලී මගින් එම ජල වාෂ්ප උරාගෙන ප්‍රසාරණය වේ. ප්‍රසාරණයේ ප්‍රතිඵලයක් ලෙස දැවමය දොර ජනෙල් සහ ඒවායේ රාමුව අතර ඇති පරතරය අඩු වීමෙන් මේවා ඇරීමට වැසීමට අපහසු වේ.


8

සිකුරාදා

සතියේ පැනය

වැසි කාලයේදී නිවසේ ලී දොරවල් හා ජනෙල් රාමු සමඟ කටයුතු කිරීමේදී ගැටලුකාරී තත්ව මතුවේ. මේවා විවෘත කළ පසු වැසීම වෙනදාට වඩා ඉතා අපහසු වෙනවා. එසේ විමට හේතුව කුමක් ද?


7

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මධ්‍යම හා දකුණු ඇමෙරිකානු වැසි වනාන්තරයන්හි තුරුමුදුන් වල වෙසෙන ‘මන්දයා’ හෙවත් Sloth නම් වන ලොම් සිහිත ක්ෂිරපායීන්, සත්ත්ව ලෝකයේ වෙසෙන ලොකුම අලසයින් ලෙස නම් දරා සිටියි. නමුත් ඔවුන් මෙසේ ඉතා මන්දගාමී ලෙස හැසිරීමට හේතුව කුමක්දැයි ඔබ සිතුවා ද? මොවුන් කෑමට ගන්නේ වැසි වනාන්තර වල ඇති විකීමට අපහසු දෘඩ ශාක පත්‍ර නිසා, ක්ෂිරපායින් අතරින් අවම ආහාර ජීර්ණ වේගයක් පෙන්වයි! එබැවින් ආහාර හරහා ශක්තිය ලැබෙන්නේ ද අඩු වේගයකින්. මේ නිසා ඔවුන් ශක්තිය ඉතා අඩුවෙන් වැයවන සේ ඉතාමත් සෙමින් ක්‍රියාකරයි.


6

බදාදා

අද විදු වදන

උණ ගැනී සිටින විට අපට වෙනදාට වඩා වැඩියෙන් අද්භූත භයංකර සිහින පෙනෙන බව ඔබත් අත්දැක තිබෙනවා ද? මෙය පසුපස ඇති හේතුව කුමක් විය හැකිද? අපේ මොළයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි උෂ්ණත්වය බලපෑම් කරන අතර අධිකව රත්වූ විට මොළය නිසි පරිදි ක්‍රියාත්මක නොවේ. උණ ගැනුණු විට මේ ආකාරයට මොළයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය අධික වී විචිත්‍ර චිත්තරූප, දුස්ස්වප්නයන් හා මනෝ භ්‍රාන්තියන් ඇති කළ හැක.


4

සඳුදා

අද විදු වදන

දශක ගණනාවක් තිස්සේ පවතින වායු දූෂණය හමුවේ නගරබද ගොඩනැගිලි අවපැහැ ගැන්වී, අඳුරු පැල්ලම් මගින් අවලස්සන වී යන අයුරු ඔබ දැක ඇති. මේ තත්වය නවතාලමින් ගොඩනැගිලි වලටම එය අවට වාතය පිරිසිදු කරගත හැකි නම් කෙතරම් හොඳ ද? දූෂිත වායු අණු උරාගනිමින් හිරු එළිය මගින් බල ගැන්වෙන උත්ප්‍රේරක ප්‍රතික්‍රියා හරහා එම දූෂක, හානිදායක නොවන ලවණ බවට හැරවිය හැකි නවමු කොන්ක්‍රීට් වර්ගයක් නිපදවා ඇත. සෑදෙන නිෂ්ක්‍රීය ලවණ වර්ෂාවත් සමඟ සේදී යයි. මිලාන් නගරයේ ඇති Palazzo Italia ගොඩනැගිල්ල මීට කදිම නිදසුනකි.