2017 වසරේ ඔක්තෝම්බර් මාසයට අයත් විද්‍යා පණිවුඩ

31

අඟහරුවාදා

අද විදු වදන

හැරී පොටර් වාගේ ලෝගුවක් පැළඳ ඇත්තටම ක්ෂණිකව නොපෙනී යන්න අපටත් පුළුවන් නම් කෙතරම් අපූරු ද? විද්‍යා ප්‍රබන්ධ රැසක හමුවන ‘අදිසි කබායට’ නම් මෙය සිදු කළ හැකියි. ලෝහමය හා පාරවිද්‍යුත් ද්‍රව්‍ය වලින් සැදි මෙටා-මැටීරියල් නම් විශේෂ නව ද්‍රව්‍යය, සැබෑ ජීවිතයේදී වුව එවැන්නක් සිදුකළ හැකි බවට ඉඟි පළකර තිබෙනවා. මෙය සැදී ඇත්තේ ආලෝකයේ තරංග ආයාමයටත් වඩා කුඩා ව්‍යුහයන්ගෙන්. ඒවා නිසි පරිදි සැලසුම් කළහොත් ගලක් මඟහැර ගඟක් ගලන්නා සේ අදාල වස්තුව මඟ හරිමින් ආලෝක කිරණ වටෙන් ගමන් කරයි. එවිට අපිට වස්තුව වෙන්කර හඳුනාගත නොහැකි වේ.


30

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ෆිල්ටරයේ ඇති ජල කඳේ උස අඩුවෙද්දී එමගින් පතුළ මත ඇති කෙ‍ෙරන ද්‍රවස්ථිතික පීඩනය ද අඩු වේ. මුල දී ටැංකිය පිරී තිබෙන විට විභව ශක්තිය වැඩි නිසා, පිටවන ජලයේ ඇති චාලක ශක්තිය වැඩියි. ජල කඳේ උස අඩු වනවාත් සමඟ පතුළ මත ඇතිකරන බලය ක්‍රම ක්‍රමයෙන් අඩු වේ. බ’නුලි ප්‍රෙම්යට අනුව එවිට කරාමයෙන් පිටවන ඒකක ජල පරිමාවක ඇති චාලක ශක්තිය ද අඩු වේ. එනම් කරාමයෙන් ගලන ජලයේ වේගය අඩු බව අපට පෙනේ.


27

සිකුරාදා

සතියේ පැනය

අද අපි බොහෝ දෙනෙක් පානීය ජලය ලබා ගන්නේ නිවසේ ඇති ජල පෙරනය හෙවත් ෆිල්ටරයෙන්. ජල ෆිල්ටරයේ ඇති ටැංකියේ ජල මට්ටම සැලකිය යුතු ලෙස පහත බසින විට, එහි පහළින් ඇති කරාමයෙන් පිටතට ජලය ගලන වේගය ද අඩුවන බව ඔබ හඳුනා ගත්තා ද? මෙය පසුපස ඇති හේතුව පහදන්න.


26

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මිනිසුන් වන අප එදිනෙදා වැඩ පහසු කරගන්න විවිධ ආම්පන්න, සරල ආවුද හා උපකරණ භාවිතා කරනවා. ඒත් නූතන මානවයා පරිනාමය වීමට පෙර කාලයේ සිටම තමා විසින්ම සොයාගන්නා ලද ආවුද උපකරණ විශිෂ්ඨ අන්දමින් භාවිතා කරන්නට දිය බල්ලන් සමත්කම් පෙන්වා ඇති බව දැන සිටියා ද? මේ දිය බල්ලන් මුහුදු පතුලෙන් සොයාගත් ගල් කැබලි ආවුදයක් ලෙසට ගෙන ඒවා මගින් කබලු මත්ස්‍යයින්ගේ හා බෙල්ලන්ගේ කට්ට ඉවත්කර ඇතුළත ඇති මාංශමය කොටසේ රස බලයි. එයින් ද නොනවතින ඔවුන් තමන් සොයාගත් වටිනා ගල් ආවුද තම බාහු අතර රඳවා තබා ගන්නේ ඉදිරි භාවිතය සඳහා යි!


25

බදාදා

අද විදු වදන

සිරුරේ අස්ථි වලට ආරක්ෂාව සපයමින් ද අස්ථි පුනර්ජනනයට ඉවහල් වෙමින් ද අස්ථි වටා පිහිටන, පෙරිඔස්ටියම හෙවත් අස්ථ්‍යාවරණය ගැන ඔබ අසා තිබෙනවා ද? මෙහි ව්‍යුහමය ප්‍රෝටීන සකස් වී ඇති අන්දම වැඩි ආතතියක් දරා ගැනීමටත් ඝට්ටනයන්ට ඔරොත්තු දීමටත් අස්ථිවලට ශක්තියක් වේ. මෙහි ඇති ව්‍යුහය අනුකරණය කර ප්‍රෝටීන වෙනුවට වෙනත් ප්‍රත්‍යස්ථ ද්‍රව්‍ය හා සේද යොදාගනිමින්, කෘත්‍රිම රෙදි නිපදවීමට යොමු වී තිබීම අපූරුයි නේද? ජෛව පටක විවීමේ ක්‍රියාදාමයේ මුල් පියවර මෙය යැයි සැලකුවහොත් ඉදිරි අනාගතයේ දී බිඳී ගිය අස්ථි හා සන්ධි අලුත්වැඩියා කිරීමට පවා මේවා යොදාගත හැකි වේවි!


24

අඟහරුවාදා

අද විදු වදන

කොපමණ වේලාවක් ඔබට ඔබේ හුස්ම අල්ලාගෙන සිටින්නට පුළුවන් ද? තත්පර 10ක්, 20ක්, නැතිනම් මින්ත්තුවක්? Emperor Penguin නම් පෙන්ගුවින් විශේෂයට විස්මයජනක ලෙස මිනින්තු විස්සක් පමණ හුස්ම රඳවා තබා ගන්න පුළුවන්! අයිස් තට්ටු වලට යටින් ඇති සීත ජලයේ කිමිදෙන විට ඔවුන්ගේ හද ගැස්ම මිනිත්තුවට ස්පන්දන 3ක් තරම් පහත වැටේ. එනම් සිරුර පුරා රුධිරය සංසරණය වන්නේ ඉතා සෙමින් වන අතර වැයවන ඔක්සිජන් ප්‍ර‍මාණය අවම වේ. තවද ඔවුන් අධි සංවේදී හිමොග්ලොබින් අණු විශාල ප්‍ර‍මාණයකට උරුමකම් කියන නිසා වැඩි ඔක්සිජන් ප්‍ර‍මාණයක් ග්‍ර‍හණය කර තබා ගන්නටත් පුළුවන්. සාගර පතුලේ කිමිද ගොදුරු සොයන්නට ඔවුන්ට මෙය ආශිර්වාදයකි.


23

සඳුදා

සතියේ පැනයට පිළිතුර

රාත්‍රියේ වුවත් දහවලේ වුවත් තරු දීප්තිය විහිදුවයි. නමුත් දහවල් කාලයේ දී අපේ වායුගෝලයට එන සූර්යයාගේ කිරණ ප්‍රකිරණය වීමෙන් වායුගෝලය හුරුපුරුදු නිල් පාටින් පෙනේ. මෙම දීප්තිමත් නිල් පැහැති වායුගෝලය හමුවේ ඈත පිහිටි අනෙකුත් තාරකා වලින් නිකුත්වන දුර්වල ආලෝකය ඇහැට හඳුනා ගැනීමට අපහසු වේ. නමුත් රාත්‍රියේ දී අහස අඳුරු වන නිසා එම තාරකාවන්ගේ දීප්තිය අපට දැක ගත හැකි වේ.


20

සිකුරාදා

සතියේ පැනය

19

බ්‍රහස්පතින්දා

අද විදු වදන

Sloth හෙවත් මන්දයා ලෙස හඳුන්වන ක්ෂිරපායින් ඔවුන්ගේ මන්දගාමී ක්‍රියාකලාපය නිසාම කාගේත් කතාබහට ලක්වන බව දැනටමත් ඔබ දන්නවා. මොවුන් චලනය වන්නේ කෙතරම් සෙමින් ද කිව්වොත් ඔවුන්ගේ ලෝම මත ඇල්ගී වර්ග පවා වර්ධනය වන බව ඔබට අදහාගත හැකිද? මෙසේ වැඩෙන ඇල්ගී ගලවා ඉවත්කර දමනවා වෙනුවට ඔවුන් ඒවා තම පැටවුන්ට ආහාර ලෙස ලබා දෙයි. තවද වෘක්ෂ ආශ්‍රිතව වෙසෙන විට වේෂාන්තරණ උපක්‍රමයක් ලෙස ද මෙය ඉවහල් වේ.


17

අඟහරුවාදා

අද විදු වදන

ඈත අතීතයේ පටන් මිනිසා බල ශක්ති ජනනයට ජලය උපයෝගී කරගෙන තිබෙන බව අප දන්නවා. ගලා යන රුධිර ධාරා භාවිතයෙන්ද මෙසේ ශක්තිය ජනනය කළ හැකියැයි ඔබ මොහොතකටවත් සිතුවාද? චීන විද්‍යාඥයන් පිරිසක් දැන් ඊට ක්‍රමයක් සොයාගෙන තිබෙනවා! ඔවුන් තැනූ Fluidic nanogenerator fiber නම් වූ කෙස් රොදකටත් වඩා සිහින් කෙදි වලට, ගලායන රුධිරයේ චලන ආධාරයෙන් විදුලි බලය නිපදවීමට පුළුවන්. ගෙම්බන් යොදාගෙන කළ මෙම පරීක්ෂණ සාර්ථක වී තිබේ. ඉතින් ඉදිරි පරීකෂණත් සාර්ථක වූවොත්, ඔබට අවශ්‍ය වන බල ශක්තිය ඔබ තුලින්ම නිපදවා ගැනීමට නුදුරු අනාගතයේදී හැකි වේවි.


16

සඳුදා

සතියේ පැනයට පිළිතුර

අයිස් කියන්නේ සීත කළ ඝන ජලයයි. අයිස් කැට ඇල්ලීමේදී අපේ ඇඟිලි වල සිට තාපය ගමන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, අයිස්වල මතුපිට පෘෂ්ඨයේ ඇති ජලය දිය වී යයි. නමුත් අධිශීතකරණයේ සිට ගත් අයිස්වල උෂ්ණත්වය සෙල්සියස් බිංදුවටත් වඩා අඩු නිසා, ඇඟිලි තුඩුවල රැඳි තෙතමනය සහ කලින් දියවී සෑදුණු ජල බිංදු ද යළිත් මිදීමට ලක්වේ. මෙසේ මිදීමෙන් සෑදෙන අයිස් ස්ථරය මගින් ඇඟිලි තුඩුවල සම සහ අයිස් කැට එකිනෙකට අලවා තබා ගනියි. ඝන අයිස් කැට සහ ද්‍රව ජල අණු අතර ඇතිවන හයිඩ්‍රජන් බන්ධන මේ සඳහා වැදගත් වේ.


13

සිකුරාදා

සතියේ පැනය

අධිශීතකරණය තුළ තැබූ අයිස් තැටියෙන් අයිස් කැට පිටතට ගන්නා විට, ඒවා අපේ ඇඟිලි වලට ඇලෙන බව ඔබත් අත්දැක ඇති. විශේෂයෙන්ම තෙතමනය සහිත ඇඟිලි වලින් ස්පර්ෂ කරන විට අයිස් ඒවාට ඇලෙන්නේ ඇයි?


12

බ්‍රහස්පතින්දා

අද විදු වදන

උෂ්ණත්වය හෝ පීඩනය වෙනස්වන විට අපේ ඇඳුම් වලටත් ඒවායේ පාට මාරු කිරීමට හැකි නම් කෙතරම් අපූරුද? ඇදීමට ලක් කිරීමේදී පැහැය වෙනස් කරන නව තන්තු විශේෂයක් නිපදවීමට මඟ විවර කරදීමට, Margaritaria nobilis නම් නිවර්තන කලාපීය ඵල විශේෂයට හැකි වී තිබෙනවා. මේ ඵල විශේෂය ඊට ආවේණික නිල් පැහැයෙන් දිස්වන්නේ එහි ඇති සංකීර්ණ නැනෝව්‍යුහ මතට පතිතවන ආලෝකය ප්‍රකාශ නිරෝධනයට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙසයි. ඉතින් මේ ව්‍යුහයන් ප්‍රත්‍යාස්ථ ද්‍රව්‍ය සමඟ සංයෝජනය කිරීම හරහා, විවිධ ප්‍රමාණයන්ට ඇදීමේදී එකිනෙකට වෙනස් විචිත්‍ර වර්ණවලට පැහැය වෙනස්වන දැකුම්කලු රෙදිපිළි තැනීමට අනාගතයේදී හැකි වේවි!


11

බදාදා

අද විදු වදන

ඔබේ පූස් පැටියා ද නිවසේ ඇති අගනා සෝපා ඇතුළු ගෘහ භාණ්ඩ පහුරු ගාමින් ඉරා දමා තිබේද? මෙසේ කිරීම පසුපස ඇති හේතුව දැනගත්තොත් ඔබ පුදුම වේවි! පූසන්ගේ පාද වල ෆෙරමෝන ස්‍රාවය කළ හැකි ඝ්‍රාණ ග්‍රන්ථි තිබේ. පහුරු ගෑමේදී ඔවුන් තම පාද වල ඇති මේ ග්‍රන්ථි භාවිතයෙන් එම ස්ථානයේ ගන්ධයක් ඉතිරි කර යයි. මේ ගන්ධය ආධාරයෙන්, අදාල සෝපාව තමන්ට අයිති බව සෙසු පූසන් ඇතුළු අනෙක් සතුන්ට දැනගැනීමට සලස්වයි! තවද පහුරු ගෑමේදී පූසන්ගේ පැරණි ගෙවීගිය නියපොතු ගැලවී ඉවත්වන නිසා අලුතින් නියපොතු වැඩීමට ද ඉඩ සැලසේ.


10

අඟහරුවාදා

අද විදු වදන

දිවා ආහාරය ළං ළං වෙද්දී හරියට ඒ ගැන මතක් කරන්නට වගේ ඔබේ බඩත් හිටිහැටියේ ගොරවන්නට පටන්ගෙන තිබෙනවා ද? බඩගිනි වූ විට මෙසේ බඩ කෑගහන්නේ ඇයිදැයි දන්නවා ද? ජීර්ණක පද්ධතියේ පේශි සංකෝචනය වීම් හමුවේ ආහාර, තරල හා වායු වලින් සැදි මිශ්‍රණය ජීර්ණක පථය දිගේ ගමන් කරද්දී සුළු සුළු ශබ්ද නැගේ. ආමාශයේ ආහාර නොමැති විට පවා මෙම පේශි ක්‍රියාත්මක වන්නේ කලින් ජීර්ණය නොවී ඉතිරි වූ ආහාර වී නම් ඒවා ඉවත් කිරීමටයි. ඉතින් මෙලෙස ආහාර නාලය හිස් කුහරයක් ලෙසට පවතිද්දී ඇතිවන ශබ්ද, සාමාන්‍ය විට දී නැගෙන ශබ්ද වලට වඩා හයියෙන් බාහිරයට ඇසෙන නිසා අපේ බඩ බඩගින්නෙන් කෑ ගසන බව සියල්ලන්ට හෙළිවේ.


9

සඳුදා

සතියේ පැනයට පිළිතුර

සාමාන්‍යයෙන් අපේ නාස් මාර්ගයට ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුළු වී උත්තේජනය වූ විට ක්ෂණිකව කිවිසුම් යෑම සිදුවේ. කිඹුහුමක් යාමේදී මුලින්ම ගන්නා ගැඹුරු හුස්ම සමඟ ‘හා…..’ ශබ්දය ඇති වේ. පසුව මෙම ආශ්වාසිත වාතය පෙනහලුවල වැඩි පීඩනයක් යටතේ සිට වේගයෙන් එළියට පැමිණේ. මෙහිදී මුඛ කුහරය තුළ දිව තල්ල මතට තදවී ඒ හරහා වාත කඳ ගමන් කරන විට ‘චූ..’ ශබ්දය නැගේ. තොල්පෙති ළංව තිබීම නිසා මුඛ විවරයෙන් මෙම වාතය තවදුරටත් පිටතට යාමේදී ‘‍ඌ…’ හඬ ඇතිවේ.


6

සිකුරාදා

සතියේ පැනය

4

බදාදා

අද විදු වදන

ආහාර හිඟයට පිළියම් සෙවීමේදී ජාන ඉංජිනේරු ක්‍රම ඇසුරෙන් විශාල පලතුරු හා එළවලු නිපදවීම ගැන ඔබ අසා ඇති. එහෙත් මෙසේ ජාන විකරණය කරනවා වෙනුවට, නැනෝ අංශු භාවිතයෙන් ඵලදාව වැඩි කිරීමට හැකිනම් අපූරුයි නේද! තක්කාලි පැළවලට සින්ක් ඔක්සයිඩ් හා ටයිටේනියම් ඩයොක්සයිඩ් නැනෝ අංශු ඉසීම හරහා ශාක මගින් ආලෝකය හා ඛනිජ අවශෝෂණය වැඩි කර, ඒවායේ පෝෂක අන්තර්ගතය ඉහළ නංවා වර්ධනය වේගවත් කළ හැකි බව සොයාගෙන තිබෙනවා. පර්යේෂකයින් පවසන්නේ නැනෝඅංශු පසට එක් කරනවාට වඩා කෙලින්ම ශාක පත්‍ර වලට ඉසීම ප්‍රතිඵලදායක බවයි.


3

අඟහරුවාදා

අද විදු වදන

අලුත උපන් Humpback තල්මස් පැටව් කරදරයක වැටුණු විට මුලින්ම අඬ ගසන්නේ ඔවුන්ගේ මව්වරුන්ටයි. එත් මේ තල්මස් අම්මලා සහ බබාලා විලෝපිකයන්ට නෑසෙන පරිදි ඔවුනොවුන්ට කතාකරගන්නේ සාමාන්‍ය කටහඬෙන් නොව, හීන් හඬින් කෙඳිරීමෙන් බව ඔබ දැන සිටියා ද? මෙසේ එකිනෙකාට කෙඳිරීම, මිනීමරු තල්මසුන් වැනි විලෝපිකයින් මඟහැර තම පැවැත්ම තහවුරු කරගැනීමට ඔවුන්ට උපකාරී වෙනවා. තවද එය සහකාරියන් සොයමින් සිටින පිරිමි තල්මසුන් ආකර්ෂණය වීම වළකමින්, මව්වරුන්ට හා ළදරුවන්ට එක්ව කාලය ගතකිරීමට ඉඩ සලසයි.


2

සඳුදා

සතියේ පැනයට පිළිතුර

සිරුර සමබරව තබා ගැනීමට අපේ ගුරුත්ව රේඛාව ( පුද්ගලයෙකුගේ ගුරුත්ව කේන්ද්‍රයේ සිට ඔහු සිටගෙන සිටින පෘෂ්ඨය මතට ඇඳි සිරස් රේඛාව) දෙපා අතර ඇති ආධාරක තලය ඇතුළත තිබිය යුතුයි. ආනත තලයක ඇවිදින විට සාමාන්‍යයෙන් මෙම රේඛාව පවතින්නේ තලයට ලම්භකවයි. එම නිසා අපට ඉස්සරහට නැමීම මගින් ගුරුත්ව කේන්ද්‍රය දෙපා අතර මැද ඉහළින් පිහිටන පරිදි සිරුර ඉදිරියට බර කිරීමට සිදු වේ. එසේ නැතිනම් දෙපා ඇත්තේ ගුරුත්ව කේන්ද්‍රයට වඩා ඉදිරියෙන් බැවින් අප පිටුපසට පෙරලී යා හැක. මෙලෙසම පල්ලමක යන විට, ඉදිරියට පෙරලී යාම වැළැක්වීමට අපට පහළට බරවීමට සිදුවේ.