2017 වසරේ නොවැම්බර් මාසයට අයත් විද්‍යා පණිවුඩ

30

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මේ දිනවල ඇති වැසිබර කාලගුණයත් සමඟ අපගේ සිහියට නැඟෙන්නේ විදුලි කෙටීම්ය. ඉතා අනතුරුදායක වුවද එහි ශාඛනය වූ අක්-වක් රටාව අහසේ අපූරු රටා මවයි.අකුණකදී ඇතිවන විදුලිය වාතය හරහා ගමන්කරන්නේ බාධාව අඩුම මාර්ගය ඔස්සේය.සෘජු මාර්ගයක් නොවන එහිදී විදුලිය බෙදී ගමන්කිරීම නිසා එම ශාඛනය වූ රටාවන් ඇතිවේ.අපි ඇසිපිය හෙලන පමාවට සොබාදහම පහසුම මාර්ගය තෝරාගැනීම අපූරු නොවේද?


29

බදාදා

අද විදු වදන

බළලන් සහ සුනඛයන්ගේ රැවුල්(whiskers) අලංකරණයට එහා ගිය කෘත්‍යයක් ඉටුකරයි.ඔවුන් අඳුරේ මග සොයාගැනීමේ සමතුන් වී ඇත්තේ රැවුල්වල ආධාරයෙනි.වාතයේ සුළු කම්පන වලට සංවේදී රැවුල් ඔවුන්ට අවට ද්‍රව්‍යවල හැඩය,විශාලත්වය මෙන්ම චලනයන් පිළිබඳවද තොරතුරු ලබාදෙයි.දඩයම් කිරීමට සහ කුඩා ඉඩකින් ගමන්කළ හැකිදැයි තීරණය කිරීමට උදව්වීම මෙන්ම ගොදුරු සහ විලෝපිකයන් ගැන දැන්වීමටද දායක වන නිසා මේවා ඔවුන්ගේ තෙවන ඇස ලෙස සැලකිය හැක.


28

අඟහරුවාදා

අද විදු වදන

X-Men චිත්‍රපටයේ Wolverine මෙන් වේගයෙන් තුවාල සුවකර ගැනීමට අපටත් හැකියාව තිබුණා නම්? ප්‍රබන්ධයකට සීමාවූ මෙය ළඟදීම යථාර්ථයක් වන්නට පුළුවන.හානිවූ අස්ථි සහ සමේ කොටස් ඉක්මණින් සුව කිරීම සඳහා වර්ධක සාධක නිකුත්කරන අධිරෝපිතයක්(implant) විද්‍යාඥයින් නිපදවා ඇත.එමඟින් තුවාල සුවවීමට ගතවන කාලය කෙටිකරයි.නුදුරේදීම අපටද සුපිරි වීරයන්ගේ මේ හැකියාව ලැබෙන්නට පුළුවනි.


27

සඳුදා

සතියේ පැනයට පිළිතුර

වායු සමීකරණ යන්ත්‍රය ඇදගන්නා උණුසුම් වාතයේ ඇති තාපය, යන්ත්‍රය තුළ නළ පද්ධතියක් තුළ ඇති ශීතකාරක ද්‍රවයක් මඟින් උරාගනී. යන්ත්‍රය තුළට ඇදගත් වාතය සිසිල් වූ විට එහි ඇති ජලවාෂ්ප ඝනීභවනය වේ. එවිට කාමරයේ වාතයේ ජලවාෂ්ප ප්‍රමාණය/ආර්ද්‍රතාවය අඩුවේ. පිටකරන සිසිල් කළ වාතය කාමරය සිසිල් කිරීමට දායකවේ. අඩු ආර්ද්‍රතාවය සහිත එම වාතය දහඩිය වාෂ්ප වීම ශීඝ්‍ර කරවයි. දහඩිය වාෂ්ප වීමේදී ශරීරයෙන් තාපය උරාගන්නා නිසා දේහ උෂ්ණත්වය අඩුවේ.


24

සිකුරාදා

සතියේ පැනය

උණුසුම් දිනයකදී, වායු සමීකරණ යන්ත්‍රයක් තිබුණා නම් යන සිතුවිල්ල ඔබට ඇති වී තිබෙනවා නේද? වායු සමීකරණ යන්ත්‍රයක් කාමරයක් සිසිල් කරන්නේ කෙසේදැයි කෙටියෙන් විස්තර කරන්න.


23

බ්‍රහස්පතින්දා

අද විදු වදන

අවට පරිසරයේ ද්‍රව්‍ය ලෙස වෙස්වලා ගන්නා බූවල්ලන් ඇස් ඉදිරියේ සිටියදී පවා අදෘශ්‍යමානයව රැඳෙයි.සමේ පාට වෙනස් කිරීමද යොදාගන්නා ඔවුන්ගේ රහස් අවිය වන්නේ සමේ ස්වභාවය වෙනස් කර ගැනීමේ හැකියාවයි.ඔවුන් සම පිම්බීමෙන් ඇති කරගන්නා වලවල් සහ නෙරීම් මඟින් මුහුදු ශාක,ගල් සහ කොරල්වල හැඩරුව ලබාගන්නා අතර වෙස් මාරුව වඩා තාත්ත්වික කරයි.මේ ආභාෂය ලබාගෙන ත්‍රිමාණ ලෙසට හැඩගැසිය හැකි පැතලි කෘත්‍රීම සමක් නිර්මාණය කර ඇත.මේ චිත්‍රපටවල සිටින වෙස් මාරු කරන ‘shapeshifters’ලාගේ ආරම්භයද?


22

බදාදා

අද විදු වදන

සහෝදරයන් අතර ගැටුම් ඇතැම් විට දරුණු ප්‍රතිඵල වලින් අවසන් විය හැක. ‘Sand tiger shark’ නම් මෝරු විශේෂය ඒ පිළිබඳ සියළු දේ දනියි.මවගේ ගර්භාෂයේ දී බිත්තර වලින් ඉපදෙන මුල්ම පැටවා තම සහෝදර මෝර පැටවන් පමණක් නොව බිත්තර පවා ආහාරයට ගනියි.මෙය පරිසරයට උචිත ශක්තිමත් සතුන් පමණක් ඉතිරි කර ගැනීමට ස්වභාව ධර්මය විසින් යොදන ලද උපායකි. තම වර්ගයාට මෙයාකාරයට සලකන මෝරුන් වෙනත් සතෙකුට කුමක් කරයිද?


21

අඟහරුවාදා

අද විදු වදන

වමනය ගැන සිතීම පවා අපට පිලිකුලක් ඇති කරවනවා නේද? එහෙත් පෙන්ගුවින් කෙනෙක් ගෙන් අසා බැලුවොත් පිලිතුර මෙය නොවිය හැක. ඔවුන්ට එය මව් සෙනෙහස දක්වන ආකාරයකි. අලුත උපන් පෙන්ගුවින් පැටවුන්ට ආහාර සොයා යාම හෝ ආහාර ජීරණය කිරීම පවා අපහසුය. එම නිසා ආහාර සඳහා ඔවුන් මව්පියන් මත යැපෙයි. වැඩිහිටි පෙන්ගුවින්ලා ආහාර ගැනීමෙන් පසු නැවත පැමිණ අර්ධව ජීර්ණය වූ ආහාර වමාරා පැටවුන්ට ආහාරයට ගත හැකි ‍ලෙසින් ලබාදෙයි.


20

සඳුදා

සතියේ පැනයට පිළිතුර

කෝණික ගම්‍යතා සංස්ථිති මූලධර්මයට අනුව තටු කැරකෙන විට ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට හෙලිකොප්ටර් බඳ කැරකිය යුතුය.පසුපස කුඩා රොටරය කැරකීමෙන් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ඇතිවන ව්‍යාවර්තය/බලය මඟින් හෙලිකොප්ටර් බඳ කැරකීමෙන් වළක්වයි. කුඩා රොටරය සිරසට දරන කෝණය වෙනස් කිරීමෙන් එකම ස්ථානයේ සිටිමින් බඳ මුහුණලා ඇති දිශාව පාලනය කළ හැක.


17

සිකුරාදා

සතියේ පැනය

හෙලිකොප්ටරයක් ගුවන්ගත වීමට විශාල රොටරයක්/කැරකෙන තටු (Rotor Blades) දරයි.එහෙත් හෙලිකොප්ටර්වල පිටුපස ඇති සිරස් තලයක භ්‍රමණය වන කුඩා රොටරය(tail rotor) ඔබ දැක තිබෙනවාද? එහි කාර්යය පැහැදිලි කරන්න.


16

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සීතල ජලය නිසා ඔබ කී වරක් පිහිනීමෙන් වැලකී සිට ඇත්ද? ස්වභාව ධර්මය මෙම ගැටළුවට පිළිතුරු සපයා ඇත. බීවරයන් සහ දියබල්ලන්ගේ රෝම අතර සිරවන වාත ස්ථරය තාප පරිවාරකයක් ලෙස ක්‍රියාකර දේහයෙන් තාපය හානිවීම වලක්වයි. එමගින් ඔවුන්ව උණුසුම්ව හා වියලිව තබයි.මෙය අණුකරණය කළ විද්‍යාඥයින් අපටද ජලය තුල උණුසුම්ව සිටිය හැකි විශේෂ ඇඳුමක් නිපදවා ඇත.අප කෙතරම් තාක්ෂණිකව දියුණු වුවද අපේ ගැටළුවලට පිළිතුරු බොහොමයක් පරිසරය සතුව ඇත.


15

බදාදා

අද විදු වදන

විද්‍යුත් ඕර්ගනය වෙනත් ඕනෑම වාද්‍ය භාණ්ඩයක් අනුකරණය කළ හැකි අපූරු වාද්‍ය භාණ්ඩයකි. ඕර්ගනය මෙය සිදුකරන්නේ කෙසේද? එක් ස්වරයක් තැනී ඇත්තේ විවිධ සංඛ්‍යාත සහිත කම්පන රැසකිනි. මෙම කම්පනවල සංඛ්‍යාත හා හඬේ සැර වාද්‍ය භාණ්ඩයට ආවේණිකය. එමඟින් ඒවාට ආවේණික ශබ්දය ලබාදෙයි. ඕර්ගනය මෙම කම්පන රටා අනුකරණය කර වාද්‍ය භාණ්ඩවල නියම ශබ්දය ලබාගනී. මෙලෙස ස්වභාවිකව සිදුවන දේවල් අණුකරයෙන් ලැබෙන ප්‍රතිඵල අපූරුයි නේද?


14

අඟහරුවාදා

අද විදු වදන

ආලෝකමත් දිනයකදී හෝ සුදු පැහැ තිරයක් දෙස බලන විට ඹබේ ඇස් හරහා එහා මෙහා යන පණුවන් වැනි කෙඳි දැක තිබේද? මේවා ඇස තුළ ඇති පාරාන්ධ ද්‍රව්‍යවල සෙවනැලිය. මේවා ඇත්තේ ඇතැම් අයට පමණක් වන අතර තිබෙන අයගේද දෘෂ්ටියට බාධා වන්නේ කලාතුරකිනි. මහළු වන විට මේවා සංඛ්‍යාවෙන් වැඩි වේ. මෙය බොහෝ විට සාමාන්‍ය වුවද, දෘෂ්ටි පථයේ විශාල ප්‍රමාණයක් තිබීම, නිසි ප්‍රතිකාර නොලැබුණොත් පූර්ණ අන්ධභාවයට හේතුවන තත්වයක පෙර ලකුණක් විය හැක.


13

සඳුදා

සතියේ පැනයට පිළිතුර

කන්දක් නගින විට බාහිර වායුගෝලීය පීඩනය අඩු වේ. එම නිසා මැද කන හා ඇතුළු කන අතර පීඩන අන්තරයක් ඇති වේ. එම නිසා මැද කන හා ඇතුළු කන අතර පිහිටි කර්ණ පටහා පටලය පිටත නෙරයි. එම නිසා කන අගුළු වැටේ.


10

සිකුරාදා

සතියේ පැනය

9

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඇතැම් විට අප ගන්නා තීරණ අපගේ ජීවිත කාර්යබහුල කරයි. කාර්යබහුල දිවි ගෙවන අපට එම අත්‍යවශ්‍ය විවේකය සඳහා කාලය සොයාගන්නේ කෙසේද? ඊට පිළිතුර අපේ හෘදයේ ක්‍රියාකාරිත්වයෙන් ලබාගත හැක. ජීවිත කාලය පුරාම නොනවත්වා ක්‍රියාකළද හෘදය විවේකය සඳහා කාලය සොයාගෙන ඇත්තේ ස්ඵන්දන 2ක් අතර තත්පර 0.4ක කුඩා කාලයක් විවේකයට වෙන්කිරීමෙනි. මෙම විවේකය හෘදයට ජීවිත කාලය පුරාම කාර්යකෂමව ක්‍රියාකිරීමට ඉඩ සලසයි. ඔබව ජීවත්ව තබමින් ගනිමින් හෘදයට විවේකයට කාලය සොයාගත හැකි නම් ඔබටත් එය කළ හැකියි, නේද?


8

බදාදා

අද විදු වදන

සෞරග්‍රහ මණ්ඩලයේ උණුසුම වැඩිම ග්‍රහලොව, හිරුට ආසන්නම බුධ බව ඔබ සිතුවාද? එහෙත් නිවැරදි පිළිතුර හිරුගේ සිට දෙවනුව පිහිටි සිකුරුය. මෙය සිකුරු මත සිදුවූ මහා පරිමාණයේ හරිතාගාර ආචරණය නිසා ගෝලීය උණුසුම වැඩි වීමෙන් ඇති වූ ප්‍රතිඵලයකි. සිකුරුගේ ඝනකම් වායුගෝලය නිසා හිරුගෙන් ලැබෙන තාපය වැඩි ප්‍රමාණයක් සිකුරු තුල සිරවීමෙන් මෙය සිදුවී ඇත. සිකුරු, ගෝලීය උණුසුම වැඩි වීමේ අහිතකර බලපෑම මිනිසාට සිහිකර දෙන්නකි.


7

අඟහරුවාදා

අද විදු වදන

අප අවදිව සිටින කාලයෙන් 10% ක් ඇසි පිය හෙලීම නිසා ඇස් වසා සිටින බව ඔබ දැන සිටියාද? මෙය ඇසේ ක්‍රියාකාරිත්වයට ඇසි පිය හෙලීමේ වැදගත්කම විදහාපායි. ඇසි පිල්ලම වැසී නැවත විවෘත වන කාලය තුළ කඳුළු සහ ලිහිසිකාරක ඇසි පිල්ලම මඟින් ඇස පුරා පතුරුවා හරියි. එමඟින් ඇස්වල තෙතමනය රැක දී වියලීමෙන් ආරක්ෂා කරන අතර දුහුවිලි හා හානිකර ද්‍රව්‍ය ඉවත් කරයි.


6

සඳුදා

අද විදු වදන

මෝටර් රථ ධාවන තරඟ වලට භාවිතා වන වාහන සාමාන්‍ය වාහනවලට වඩා ශක්තිය භාවිතා කරයි. අමතර ශක්තිය නිපදවීමට මෝටර් රථ ධාවන තරඟවලදී නයිට්‍රස් භාවිතා කරන බව ඔබ දැන සිටියාද? නයිට්‍රස් යනු නයිට්‍රස් ඔක්සයිඩ් වායුව හෙවත් සිනහ වායුවයි. එන්ජිම තුළදී එය තාප වියෝජනය වී ඔක්සිජන් නිපදවයි. නිපදවෙන අමතර ඔක්සිජන් නිසා වැඩිපුර ඉන්ධන දහනය කළ හැකිය. එමඟින් අමතර ශක්ති අවශ්‍යතාව සපුරාගනී.


2

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සුනඛයන් නින්දට යාමට පෙර කීපවරක් තමා වටාම කැරකීම ඔබ දැක තිබෙනවා නොඅනුමානය. මෙය වනගතව වාසය කළ සුනඛයන්ගේ පූර්වජයන් දක්වා දිවෙන පුරුද්දකි. මෙලෙස කැරකීම වනයේ ඇති උස් තෘණ සමතලා කිරීමට හා එහි සිටින සතුන් පලවාහැරීමට දායක විය. එමගින් ආරක්ෂාකාරී සුවපහසු සයනයක් සකසාගන්නා ලදි. සුනඛයන් හීලෑ කර වසර 30000ක් ඉක්මවා ගියද සුනඛයන්ගේ ආරේ ගුණ නැතිවී නැත.


1

බදාදා

අද විදු වදන

මීටර 2ක් දිගු ගෙලක් සහිත ජිරාෆ් සත්ව ලොව දිගුම ගෙල දරයි. එහෙත් මිනිසා හා ජිරාෆ් දෙදෙනාම දරන්නේ ග්‍රෛවී කශේරුකා 7 බැගින් බව ඔබ දන්නවාද? නමුත් ජිරාෆ්ගේ කශේරුකා වඩා විශාල වේ.