2017 වසරේ දෙසැම්බර් මාසයට අයත් විද්‍යා පණිවුඩ

12

අඟහරුවාදා

අද විදු වදන

වසරකට දහස් ගණනක් ජීවිත පිලිකා රෝගය නිසා ලොවට අහිමි වෙයි.රසායනික චිකිත්සාව (chemotherapy) මෙයට ප්‍රතිකාර ලෙස භාවිතා වුවද එය රෝගියාට දැඩි වේදනාවක් ගෙන දෙන අතර කොන්ඩය අහිමි වීමටද බලපායි.මෙහිදි භාවිතාවන රසායනික ද්‍රව්‍ය පහර දෙන්නේ වේගයෙන් බෙදී නව සෛල නිපදවන සෛලවලටය.අවාසනාවකට කොන්ඩය නිපදවන සෛලද වේගයෙන් බෙදෙන සෛල වර්ගයකි.එම සෛලවලට හානි වූ විට කෙස් හැලීම සිදුවේ.


11

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ග්ලැසියර් වලට විශාල ස්කන්ධයක් ඇත.එම නිසා ග්ලැසියරයේ පහල ස්තරවලට දැනෙන පීඩනය/බලය ඉහලය.පීඩනය වැඩිවන විට ජලයේ ද්‍රවාංකය අඩු වේ.එම අගය අයිස් වල උෂ්ණත්වයට වඩා අඩුවූ විට පහල ස්තරයේ අයිස් ද්‍රව ජලය බවට පත්වේ.තවදුරටත් ජලය ද්‍රව ලෙස පවතින්නේ උඩින් ඇති අයිස් ස්තරය තාපපරිවාරකයක් ලෙස ක්‍රියාකරන නිසාය.


8

සිකුරාදා

සතියේ පැනය

ග්ලැසියර් යනු කදු මුදුන්වල සහ පෘථිවියේ ධ්‍රැවවල පිහිටන විශාල අයිස් ස්කන්ධයන්ය.එහෙත් මෙහි අයිස් වලට යටින්, ආසන්නව අයිස්වල උෂ්ණත්වයේම පවතින ද්‍රව ජලය සොයාගත හැක. මෙලෙස වන්නේ ඇයිදැයි පහදන්න.


7

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ලෝහවලින් සෑදූ වාහනයක් අකුණු සැර වදින විට සිටිය හැකි ආරක්ෂාකාරී ස්ථානයක් බව ඔබ දැන සිටියාද?ඊට හේතුව වාහනයේ රබර් ටයර් විද්‍යුත් පරිවාරක වීම නොව වාහනයේ ලෝහ රාමුව විද්‍යුතය සන්නයනය කිරීමයි.අකුණේ විදුලිය වාහනයේ රාමුව ඔස්සේ පොලොවට ගමන් කරන නිසා මගීන් ආරක්ෂා වෙයි.


6

බදාදා

අද විදු වදන

ඔබගේ අත්ලේ ඇති රේඛා ඇත්තේ ඇයිදැයි ඔබ සිතා බලා ඇත්ද?මෙම රේඛා නොවන්නට අත්ල සහ ඇගිලි නවන විට සම පිටට නෙරනු ඇත.එමගින් අත්ලේ ග්‍රාහක හැකියාව අඩුවේ.එහෙත් මෙම රේඛා ඔස්සේ සම නැවීම පහසුය.ඇතමෙක් මෙම රේඛාවලින් අනාගතය පවසන බව සිතුවද වෛද්‍ය විද්‍යාවේදී විවිධ රෝග හදුනාගැනීමට මේවා යොදා ගනියි.


5

අඟහරුවාදා

අද විදු වදන

ඔබ උදෑසනක ඇඳුම් මැද තිබෙනවා ඇති. එහෙත් ඔබ එය සිදුවන්නේ කෙසේදැයි මොහොතකටවත් සිතුවාද? ඇඳුම් මදින විට ඇඳුමේ තන්තු අතර බන්ධන ලිහිල් වේ. එම තන්තුවලට දැන් එහාමෙහා ගමන් කල හැක. ඉස්තිරික්කයේ බර අඳුමේ තන්තු, මුල් පිහිටීමට පත්කරයි. ඇඳුම සිසිල් වන විට තන්තු තම පිහිටීම රැකගන්නා නිසා පොඩි නොවුන ඇඳුමක් ඔබට ලබා දෙයි.


4

සඳුදා

අද විදු වදන

Galago/bush baby සත්වයන්ට නොනවත්වා වැඩි උසක් සහ දුරකට පැනපැන යා හැක. මෙය අධ්‍යයනය කළ පර්යේෂකයන්, එම සතුන් භාවිතාකරන ක්‍රමවේද මුසුකර රොබෝ යන්ත්‍රයක් නිපදවා ඇත.එතුලින් මෙයට එක් පැනීමක් අවසන් වනවාත් සමඟම ඊළඟ පැනීම ඇරඹීමේ හැකියාව ලැබී ඇත.මෙයට බිත්තියක් මතට පැන එතැන් සිට වෙනත් දිශාවකට පැනීමද සිදුකළ හැක. මෙලෙස රොබෝවන්ගේ හැකියාවන් වර්ධනයේදී සොබාදහමෙන් ආභාෂය ලැබුණ අවස්ථා බොහෝමයකි.