2018 වසරේ ජනවාරි මාසයට අයත් විද්‍යා පණිවුඩ

24

බදාදා

අද විදු වදන

ඇතැම් චීස් වර්ග කපන විට ඒවා තුල සිදුරු තිබෙන බව ඔබ දැක තිබෙනවාද? මේ සිදුරු ඇතිවන්නේ චීස් මීයන් කෑම නිසා නම් නොවේ.මේවාට හේතුවන්නේ චීස් නිපදවීමේ ක්‍රියාවලියේදී එකතුකරන පියවි ඇසට පවා නොපෙනෙන බැක්ටීරියාවන්ය. මොවුන් කිරිවල ඇති ලැක්ටික් අම්ලය මත ක්‍රියාකර කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරයි. එකතුවන වායුව නිසා චීස් තුල ඇතිවන බුබුලු චීස් කපන විට පෙනෙන්නේ සිදුරු ලෙසය.චීස්වල සිදුරු ඇති කිරීමට අමතරව එම චීස් වර්ගයට ආවේණික රසයක් ගෙන දීමටද මෙම බැක්ටීරියාවල ක්‍රියාකාරිත්වය දායක වෙයි.


23

අඟහරුවාදා

අද විදු වදන

රෝග ඇති කරන ක්ෂුද්‍රජීවීන් අප සැමට හිසරදයක් වන කරුණකි. මොවුන් ඇති කරන රෝගවලට එරෙහිව ප්‍රතිශක්තිය ඇති කිරීමට ලබාදෙන සමහර එන්නත්වල එම රෝගය ඇති කරන ක්ෂුද්‍රජීවීන්ම අන්තර්ගත වන බව ඔබ දැන සිටියාද? එහෙත් වෛද්‍යවරයා ඔබට එන්නත් ලබා දෙනවිට ඔබ බිය විය යුතු නැත .ඒ ඔවුන්ව අඩපණ කර හෝ මරාදමා ඇති බැවිනි. මෙය ශරීරයට දුර්වල ප්‍රතිවාදීන්ට මුහුණ දීමට ඉඩදී වඩා ප්‍රබල ප්‍රතිවාදීන් පැරදවීමට අවශ්‍ය ආයුධ හඳුනාගැනීමට අවස්ථාව ලබාදෙන්නාක් මෙනි.මෙහිදී ශරීරය නිපදවන ආයුධ වන ප්‍රතිදේහ නම් ප්‍රෝටීන මගින් රෝගවලට එරෙහිව ප්‍රතිශක්තිය ලබාදෙයි.


22

සඳුදා

සතියේ පැනයට පිළිතුර

මෙම වීදුරුවල අඩ වශයෙන් රිදී ආලේපිත නිසා එහි පරාවර්තන හැකියාව අඩුවී වදින ආලෝකයෙන් කොටසකට හරහා යාමට ඉඩදෙයි. පොලිස් නිලධාරින් සිටින කාමරය අඳුරු අතර අනෙක දීප්තිමත් ලෙස ආලෝකමත් කර ඇත. වීදුරුවේ දීප්තිමත් පැත්තට පතිතවී පරාවර්තනය වන ආලෝකය අඳුරු පැත්තේ සිට එන ආලෝකයට වඩා බොහෝ දීප්තිමත් නිසා දීප්තිමත් පැත්තේ සිටින්නාට පෙනෙන්නේ තමාගේ ඡායාව පමණි.අඳුරු කාමරයට වීදුරුව හරහා එන ආලෝකය එම පැත්තෙන් පරාවර්තිත ආලෝකයට වඩා බොහෝ වැඩි නිසා එහි සිටින්නන්ට පෙනෙන්නේ දිප්තිමත් කාමරයේ සිදු වන දේය.


19

සිකුරාදා

සතියේ පැනය

පොලිස් නිලධාරීන් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම සහ ඔවුන්ගේ හැසිරීම් අධ්‍යයනය කිරීම සඳහා ප්‍රශ්න අසන කාමරවලට විශේෂ වර්ගයේ වීදුරු සවිකර ඇත. නිලධාරින්ගේ දෙසින් බලන විට පාරදෘශ්‍ය වීදුරු ලෙස ක්‍රියාකිරීම නිසා ඔවුන්ට සැකකරු පෙනුනද සැකකරුගේ දෙසින් බලන විට වීදුරුව කැඩපතක් ලෙස ක්‍රියාකිරීම නිසා සැකකරුවන්ට පොලිස් නිලධාරින් නොපෙනේ.මෙම විදුරු මෙලෙස ක්‍රියා කරන්නේ කෙසේද?


18

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ලෝක සිතියමක් දෙස බලන විට මහද්වීප එකිනෙකට ගැලපෙන ලෙස සම්බන්ධ කලහැකියි යන හැඟීම ඇතිවී තිබෙනවාද? එවන් සිතුවිල්ලක් ඇතිවීම සාධාරණය. ඊට හේතුව සියලු මහද්වීප තනි ගොඩබිමක් ලෙස කලක් පැවති නිසාය.එහෙත් පෘථිවියේ අභ්‍යන්තරයේ ඇති ද්‍රව මැග්මාවල ඇතිවන සංවහන ධාරා නිසා ඒ මත ඇති භූමියට විවිධ දිශාවලට ගමන් කිරීමට හැකිවේ.මේ නිසා මහද්වීප එකිනෙකින් ඈත්වී වර්තමානයේ ඇති පිහිටීම්වලට පැමිණ ඇත. මේ මොහොතේ පවා මෙම ක්‍රියාවලිය සිදුවන බව ඔබට විශ්වාස කල හැකිද?


17

බදාදා

අද විදු වදන

ඔබ වෙන අයෙක් ගොරවන හඬ නිසා නින්දෙන් අවදිවී තිබෙනවා විය හැක. ඇතමෙක්ට අප්‍රිය මෙම ශබ්දය ශ්වසන මාර්ගයේ පටකවල සිදුවන කම්පන නිසා ඇති වන්නකි. අප නිදාගන්නා විට ශ්වසන මාර්ගය වටා ඇති පේශි ඉහිල් වේ.එවිට ඒ හරහා පෙනහලු තුළට වාතයට ගමන් කල හැකි ඉඩ ප්‍රමාණය අඩු වේ. වාතය ඒ කුඩා ඉඩින් ගමන් කිරීමට උත්සාහ කරන විට අවට පටක කම්පනය වී ගොරවන හඬ ඇතිවේ.


16

අඟහරුවාදා

අද විදු වදන

කුඩා අකුරු කියවන විට ඔබ ඇස් පොඩි කර එදෙස බලාතිබෙනවා නේද? එමගින් අපේ පෙනීම වැඩි කරන්නේ කෙසේද? ඇස් පොඩි කිරීමෙන් අප බැලිය යුතු වස්තුවට අමතරව වෙනත් දිශාවලින් එන ආලෝකය අඩුකරන නිසා වස්තුව පැහැදිලිව නිරීක්ෂණය කල හැකිවේ. එමෙන්ම අපේ ඇස් වල හැඩයේ සිදුවන සුළු වෙනස්වීම ආලෝකය නිවැරදිව නාභිගත කරගැනීමට උදව් වේ.මෙය දුර්වල පෙනීමට ස්ථිර විසඳුමක් නොවුනද හදිසියකදී කුඩා අකුරු කියවීමට වැදගත් විය හැක.


15

සඳුදා

සතියේ පැනයට පිළිතුර

භාජනය සීල් කර තිබුනද මාලු මත සහ ඒ අවට වාතයේ ක්ෂුද්‍රජීවින් සිටියි.ඔවුන් මාලු වල පෝෂක බිඳමමින් මාලු නරක් කරයි.සැමන් ටින්වල මාලු සහ ටින් බඳුන අධික උෂ්ණත්ව සහ පීඩන යටතේ ජීවානුහරණය කර ඇති නිසා එහි ක්ෂුද්‍රජිවින් නැත. ඊට එකතු කරන ලුණු සහ රසායන ද්‍රව්‍ය ක්ෂුද්‍රජීවින්ගේ ක්‍රියාකාරිත්වය අඩාල කරයි. සීල් කර ඇති නිසා පිටතින් එතුලට ක්ෂුද්‍රජීවින් ඇතුල් නොවේ.ටින් බඳුන තුල ක්ෂුද්‍රජීවින් වර්ධනය සහ ක්‍රියාකාරිත්වය අඩපණ කර ඇති නිසා මාලු නරක් නොවී කල් තබා ගත හැක.


12

සිකුරාදා

සතියේ පැනය

සීල් කරන ලද ටින් කල මාළු වසරක් වුවද නරක් නොවී කල්තබා ගත හැක. එහෙත් සීල් කල භාජනයක් තුල සාමාන්‍ය මාළු නරක් නොවී තබා ගැනීම අපහසුය. සීල් කල බඳුනේ මාළු ඉක්මණින් නරක් වීමට හේතුවත් ටින් කල සැමන් කල් තබාගැනීමට යොදාගන්නා මූලධර්මත් කෙටියෙන් විස්තර කරන්න.


11

බ්‍රහස්පතින්දා

අද විදු වදන

නව ඖෂධ පරීක්ෂා කිරීමට සතුන් යොදාගැනීම මිනිස් සෛල මත පරීක්ෂා කිරීම මෙන් නිරවද්‍ය නොවේ.ඕර්ගන් ඉන් අ චිප් (Organ in a Chip) නම් නව නිපැයුම මීට පිලිතුරු සපයනු ඇත. මේ චිපයේ ඇති කුඩා නාල තුල මිනිස් අවයවවල සෛල ඇති අතර එවායේ පැවැත්මට අවශ්‍ය සියලු දේ නාල හරහා ලබා දෙයි. මේ හරහා සෛලවලට නව ඖෂධ හඳුන්වාදීමෙන් ඒවා හමුවේ සෛල ක්‍රියාකරන ආකාරය පහසුවෙන් හඳුනාගත හැකි අතර එමඟින් පර්යේෂණ සඳහා ගතවන කාලය අඩු කරගැනීමට බලාපොරොත්තු වේ.


10

බදාදා

අද විදු වදන

අපි සියල්ලෝම ඇමරිකාවේ ලෝක ප්‍රකට ලිබර්ටි ප්‍රතිමාව පිලිබඳ දනිමු. එහෙත් එය ගොඩනගන විට සිටි අයෙක් දැන් එය දුටුවොත් පුදුම වනු ඇත. එයට ආරම්භයේ තිබුනේ දුඹුරු පැහැයකි. ඒ එහි පිටත තඹ පත්‍රිකාවලින් සදාතිබූ නිසාය. කාලයත් සමඟ තඹ වාතය සමඟ ක්‍රියාකර විඛාදනය වීමෙන් කොල පැහැ සංයෝගයක් නිපදවුනි. මෙය සූරා හැර නැවත ප්‍රතිමාවට සෑබෑ ස්වරූපය දීමට හැකිවුවද මෙමගින් ඊට ඇතුලතින් පිහිටි ස්තර වාතය හා ගැටීම වලකන නිසා ඒවා විඛාදනයෙන් ආරක්ෂා කරයි.


9

අඟහරුවාදා

අද විදු වදන

සුඛෝපභෝගී බවේ සංකේතයක් වන රත්‍රන් සාමාන්‍ය ආහාර වේලක අලංකාරය මෙන්ම වටිනාකම ඉහල දැමීමට භාවිතාවේ.රන් භාණ්ඩවල ඇති රන් මෙන් නොව ආහාර සැරසීමට ගන්නා මෙම ආහාරයට ගත හැකි රත්‍රන් අපද්‍රව්‍යවලින් තොර වන අතර භාවිතයට පෙර තුනී පත්‍රිකා බවට තැලීම සිදුකරයි.රත්‍රන් රසායනිකව අක්‍රීය නිසා ආහාර මාර්ගය තුලදී අම්ල හා එන්සයිම මගින් ජීර්ණය නොවී ගමන් කරයි.අවාසනාවකට රත්‍රන් රසකින් හෝ සුවඳකින් තොර නිසා රත්‍රන් පිනවන්නේ අපගේ ඇස් පමණි.


8

සඳුදා

සතියේ පැනයට පිළිතුර

අපගේ සම මතුපිට ඇසට නොපෙනෙන සිදුරු රාශියක් පවතියි. මෙම සිදුරු ‘සීබම්’ නමැති තෙල් වැනි ස්‍රාවයක් නිපදවන ග්‍රන්ථි වර්ගයකට සම්බන්ධ වේ.මෙම ස්‍රාව සමේ තෙතමනය රැකදෙන අතර සම ආරක්ෂා කරයි. එහෙත් මේවා අධිකව ස්‍රාවය වනවිට සීබම් තරලය, සමේ මැරුණු සෛල සහ බැක්ටීරියා මගින් සමේ සිදුරුවල විවර අවහිරවෙයි. සිදුරු තුල සිරවන බැක්ටීරියා ගුණනය වීමෙන් එහි ආසාදනයක් ඇති වී, ඉදිමීමක් ඇති වී සැරව එක් රැස්වේ. එමගින් කුරුලෑ ඇතිවේ.


5

සිකුරාදා

සතියේ පැනය

4

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සීතල දිනයක අපගේ දේහයේ උෂ්ණත්වය පාලනය කර නැවත ප්‍රශස්ථ උෂ්ණත්වයට ගෙන ඒම අපගේ දේහයෙන්ම ඉටුකරදෙයි.එහෙත් තවදුරටත් සීතල වන විට කුමක් සිදුවේද? මොළයෙන් ලැබෙන සංඥා නිසා ශරීරය වෙව්ලීම ඉබේම ඇරඹී අපට අධික සීතලෙන් ආරක්ෂාව ලබාදෙයි. වෙව්ලීමේදී ශීඝ්‍රව මාංශ පේශි ක්‍රියාකරන නිසා ශරීරයේ අධික ශක්තියක් භාවිතා වේ. එහිදී පිටවන තාපය මුළු දේහයම උණුසුම් කිරීමට දායකවෙයි.


3

බදාදා

අද විදු වදන

ඔබට යමෙක් හදිසියේ වෙඩි තැබුවොත් ඔබට ඇති එකම පිහිට වෙඩි නොවදින කබායක් වනු ඇත. මෙම කබායන් නිපදවන්නේ කෙව්ලාර් (Kevlar) නම් ඉතා සැහැල්ලු ද්‍රව්‍යකිනි.එහෙත් මෙම කබාය, ඔබව පහසුවෙන් පසාරු කර යාහැකි උණ්ඩයකින් ඔබව බේරාගන්නේ කෙසේද? ඊට පිලිතුර මෙම කබාවල ව්‍යුහයේ සැඟවී ඇත. කබාය සෑදී ඇති කෙව්ලාර් තන්තු ඉතා තදින් ඇසිරී ඇත්තේ උණ්ඩයක මුළු චාලක ශක්තියම පාහේ තන්තු එකිනෙකින් ඈත් කිරීමට වැයවන ලෙසටය. එවිට උණ්ඩයේ වේගය අඩුවන නිසා උණ්ඩය ගැටෙන බලය අඩුවී ඔබව ආරක්ෂා කරවයි.


2

අඟහරුවාදා

අද විදු වදන

නව වසරේ උදාවත් සමගම රාත්‍රී අහස විවිධ වර්ණවල ගිනිකෙලි වලින් අාලෝකමත් වෙයි. ගිනිකෙලි වලින් මෙවැනි වර්ණවත් රටා මවන්න හැකිවී ඇත්තේ එහි අන්තර්ගත ලෝහ පරමාණු අඩංගු විවිධ සංයෝග නිසාය. ගිනිකෙලිවල ඇති වෙඩි බෙහෙත් දැවෙන විට පිටකරන තාපය මෙම ලෝහ පරමාණු මගින් උරාගෙන පසුව ආලෝකය ලෙස පිට කරයි.වෙනස් ලෝහ පරමාණු වෙනස් වර්ණවල ආලෝකය පිටකරන නිසා අඩංගු සංයෝග වෙනස් කිරීමෙන් විවිධ අපූරු වර්ණ රටා මවන ගිනිකෙලි නිපදවාගත හැක.