2018 වසරේ පෙබරවාරි මාසයට අයත් විද්‍යා පණිවුඩ

19

සඳුදා

සතියේ පැනයට පිළිතුර

හෘදයේ දකුණු කෝශිකාවෙන් පිටවන රුධිරය ගමන් කරන්නේ පෙනහලු වෙතටයි.වම් කෝශිකාවෙන් පිටවන රුධිරය මුළු ශරීරය පුරාම ගමන් කරයි.ඒ අනුව වම් කෝශිකාව රුධිරය වැඩි දුරකට පොම්ප කල යුතුය. ඒ සඳහා වම් කෝශිකාව වැඩි පීඩනයක් ඇති කල යුතුය.හෘදයෙන් රුධිරය පිටවන්නේ කෝශිකාවල බිත්තිවල ඇති පේශි සංකෝචනය වීමෙනි. වම් කෝශිකාව වැඩි පේශි ප්‍රමාණයක් දරන ඝනකම් බිත්තියක් දැරීම නිසා මුළු ශරීරයටම රුධිරය පොම්ප කිරීමට අවශ්‍ය අමතර පීඩනය සපයාගත හැක. දකුණු කෝශිකාව වැඩි දුරකට රුධිරය පොම්ප නොකරන නිසා එයට ඇත්තේ සාපේක්ෂව තුනී බිත්තියකි.


16

සිකුරාදා

සතියේ පැනය

හෘදය යනු ශරීරයේ සෑම අවයවයකටම රුධිරය සපයමින් ජීවිත කාලය පුරාවටම ක්‍රියාකරන අවයවයකි. එයින් රුධිරය පිටතට පොම්ප කිරීමට දායක වන කෝශිකා නම් කුටීර දෙකක් ඇත. මෙම කුටීර දෙක අතරින් වම් කෝශිකාවේ බිත්තිය දකුණු කෝශිකා බිත්තියට වඩා විශාලය.එසේ වීමට හේතුව පහදන්න.


15

බ්‍රහස්පතින්දා

අද විදු වදන

වර්තමානයේ පරිගණක සමග භාවිතාවන මවුසය(optical mouse)ක්‍රියාකරන්නේ LED බල්බයකින් නිකුත්වන ආලෝක කදම්භයක් ආධාරයෙනි. පරිගණකයක් භාවිතා කර ඇති ඕනෑම අයෙකුට එම මවුසය එහා මෙහා ගෙනයන විට තිරය මත ඇති කර්සරයද ඒ සමග ගමන් කරන්නේ කෙසේද යන ගැටලුව ඇතිවෙයි. එය සිදුවන්නේ මෙසේයි. මවුසය තුල ඇති සංවේදකයක් (sensor), මවුසය තැබූ පෘෂ්ඨයේ වැදී නැවත එන ආලෝකය ආධාරයෙන් පෘෂ්ඨයේ ඡායාරූප ලබාගනියි.ඉන්පසු එහි ඇති රටා ඡායාරූපයෙන් ඡායාරූපයට වෙනස් වන ආකාරය හඳුනාගැනීමෙන් මවුසයේ ගමන් දිශාව සහ වේගය තීරණය කර ඒ අනුව තිරය මත කර්සරය ගමන් කරවයි.මෙම ක්‍රියාවලිය තත්පරයකට විශාල වාර ගණනක් වන නිසා කර්සරය තිරය මත ගැස්සීමකින් තොරව මෘදුව ගමන් කරයි.


14

බදාදා

අද විදු වදන

ඔබ ප්ලැටිපසෙක් ඡායාරූපයකින් හෝ දැක තිබේනම් ඔවුන් ඉතා අහිංසක සතුන් වර්ගයක් යැයි ඔබට සිතෙනවා විය හැක. ඔබ මතුපිටින් දකින්නේ එය වුවද පිරිමි ප්ලැටිපසුන් කුඩා සතෙකු අඩපණ කළ හැකි තරම් විෂ දරන බව ඔබ නොදැන සිටින්නට ඇත. ඔවුන්ගේ පිටුපස පාද ආසන්නයේ ඇති කුඩා උලක් වැනි ව්‍යුහයකින් නිදහස් වන විෂ මිනිසුන්ට දැඩි වේදනාවක් ගෙන දීමට සමත්ය. මෙම විෂ භාවිතා වන්නේ ඔවුන්ගේ ප්‍රජනක සමයේදී වෙනත් පිරිමි ප්ලැටිපසුන්ට එරෙහිව බවට විශ්වාස කෙරේ. පරිසරය අපට මෙහිදී කියාදෙන්නේ ඇතැම්විට යමක පිටත ස්වරූපය එහි සෑබෑ ස්වභාවයම නොවිය හැකි බවයි.


12

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ඛේටය ආහාර තෙත්කර ආහාර ගුලියක් සෑදීමට දායකවෙයි. එමගින් ආහාර ගිලීම වඩාත් පහසු කරයි. ආහාර තෙත් කිරීම නිසා ආහාරවල අඩංගු රස ඇති කිරීමට දායක වන රසායන ද්‍රව්‍ය ඛේටයේ දියවී රසාංකුර වෙත ගමන්කරන නිසා රස දැනීමටද ඛේටය දායකවේ. ආහාර ස්නේහනය කිරීමෙන් ගිලීම පහසුවන අතරම ආහාර මගින් ආහාර මාර්ගයට ඇතිවිය හැකි හානිවලින්ද ආරක්ෂාව සලසයි. ඛේටයේ අඩංගු ඇමයිලේස් එන්සයිමය කාබෝහයිඩ්‍රේට ජීර්ණය ආරම්භ කරයි. එලෙසම ඛේටයේ අඩංගු ලයිසොසයිම් එන්සයිමය ආහාරයේ ඇති බොහෝ බැක්ටීරියා විනාශ කර ශරීරය ආසාදන සහ ආසාත්මිකතා වලින් ආරක්ෂා කරයි.


9

සිකුරාදා

සතියේ පැනය

ප්‍රණීත ආහාර වේලක් දුටු විට හෝ එහි සුවඳ දැනුණු විට ඔබේ කටට කෙල ඉනුවා මතකද? මෙම ඛේටය ස්‍රාවය වන්නේ ඛේට ග්‍රන්ථිවලිනි. ඛේටය ඉටුකරන කෘත්‍ය රාශියකි. ඒ අතරින් අප ගන්නා ආහාරවලට අදාල වන ඛේටයේ ප්‍රධාන කෘත්‍ය සඳහන් කරන්න.


8

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මහද්වීප එකිනෙකින් ඈත්වූ ආකාරය ඔබට මතකද? පෘථිවි අභ්‍යන්තරයේ මැග්මාවල ඇතිවන සංවහන ධාරා නිසා භූතැටි ලෙස හැඳින්වෙන විශාල භූමි ස්කන්ධ එකිනෙකින් ඉවතට ගමන්කිරීම ඊට හේතුවිය. හිමාලය වැනි විශාල කඳු පන්ති නිර්මාණය වීම පිටුපසද මෙම ක්‍රියාවලිය පවතින බව ඔබ දැන සිටියාද? භූතැටි දෙකක් එකිනෙක ගැටෙන විට එම ප්‍රදේශ ආසන්නයේ භූමිය ඉහලට එසවෙයි. වසර ගණනාවක් මෙය සිදුවීමෙන් කඳු පන්ති නිර්මාණය වෙයි.අදටත් මෙම ක්‍රියාවලිය සිදුවන නිසා හිමාලය කඳු පන්තිය උසින් වැඩි වන බව ඇසුවොත් ඔබ පුදුමවෙයි. එහෙත් එය සිදුවන්නේ ඉතාමත් සෙමෙනි.


7

බදාදා

අද විදු වදන

වියළි කාලවලදී අකාෂ්ටීය ශාක මැලවෙන බව ඔබ දැක තිබෙනවා ඇත. මෙලෙස ශාක මැලවීමට හේතුව ඔබ දන්නවාද? කාෂ්ටීය ශාක මෙන් නොව අකාෂ්ටීය ශාකවලට සෘජුව සිටීමට උදව්වන්නේ ශුන සෛලයි.ඒවා අධික ලෙස ජලය පිරීම නිසා ඉහල අභ්‍යන්තර පීඩනයක් දරන ඉදිමුණු සෛලයි. එම නිසා ඒවාට දැඩි බවක් ලැබී ඇත. මෙම දැඩි බව ශාකයේ කඳ සෘජුව තබා ගැනීමට දායකවේ.ශාකයට ප්‍රමාණවත් තරම් ජලය නොලැබුණු විට සෛලවලින් ජලය පිටවෙයි. එවිට එහි දැඩි බව නැතිවන නිසා ශාකය මැලවීමට ලක්වෙයි.


6

අඟහරුවාදා

අද විදු වදන

යකඩ බඳක් සහිත නැව් යාත්‍රා කරන විට නිරන්තරයෙන් ජලය, වාතය සහ ලුණු සමඟ ගැටෙයි. මෙම ද්‍රව්‍ය ගැන කියන විට ඔබට ගැටලුවක් ඇතිවුණා නේද? ඔව්, මෙම ද්‍රව්‍ය යකඩ මල බැඳීමට දායක වන ද්‍රව්‍යයි. ඒවා සමඟ යකඩින් සැදි නැවේ බඳ නිතර ගැටෙමින් පැවතියද එය මල බැඳීමෙන් ආරක්ෂා වන්නේ කෙසේද? නැවේ බඳට පාස්සන ලද මැග්නීසියම් හෝ සින්ක් කුට්ටි යකඩවලට එම ආරක්ෂාව සපයයි.එම ලෝහ වාතය හමුවේ යකඩ වලට වඩා ප්‍රතික්‍රියාශීලී වන නිසා බඳට පෑස්සූ පසු යකඩ වෙනුවට ප්‍රතික්‍රියාවන්නේ එම ලෝහයයි.එමගින් යකඩ බඳ මල බැඳීමෙන් ආරක්ෂා කරයි.


5

සඳුදා

සතියේ පැනයට පිළිතුර

පාෂාණ ජීර්ණයෙන් ඇති වන ඛනිජ සහ පසේ ඇති ඛනිජ ජලයේ දියවී ගංගා වලට එකතුවී මුහුදට ගලායයි. එමෙන්ම මුහුද තුල සිදුවන ගිනිකඳු පිපිරීම් සහ පොලවේ ඇති පැලුම් හරහා මුහුදට එකතුවන ජලය මගින්ද මුහුදට ඛනිජ එකතුවේ. මුහුදෙන් ජලය වාෂ්ප වන විට මෙම ඛනිජ මුහුදේ ඉතිරි වේ.මෙම ක්‍රියාවලිය දිගු කාලයක් තිස්සේ නැවත නැවත සිදුවීමෙන් මුහුදේ ලුණු ආදී ඛනිජ ප්‍රමාණය වැඩිවිය.මිරිදිය ජලාශවලටද ගංගා ඔස්සේ ඉහත ලෙසම ඛනිජ ලැබුණද ගංගා ඔස්සේ ජලාශවලින් ජලය පිටවනවිට ඛනිජද ඒ සමග ඉවත්වෙයි. එම නිසා ජලාශ සාගරවලට වඩා ලවණතාවෙන් අඩුය.


2

සිකුරාදා

සතියේ පැනය

ලොව විශාලතම ජල ස්කන්ධය වන සාගරවල ජලයේ ලවණතාව සහ ඛනිජ ලවණ අන්තර්ගතය නිසා එම ජලය සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට ගත නොහැක.එහෙත් මිරිදිය ජලාශවල ජලයේ ලවණතාව සාපේක්ෂව අඩුය.සාගර ජලයේ අධික ලවණතාව ඇතිවූ ආකාරයත් මිරිදිය ජලාශ අඩු ලවණතාවක් දැරීමට හේතුවත් පහදන්න.


1

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඊයේ දිනයේ ලොවට දුර්ලභ සිදුවීමක් දිස්විය.එය චන්ද්‍රග්‍රහනයක්,සුපිරි සඳක් සහ නිල් සඳක්(එක මාසයක් තුල උදාවන 2වන පූර්ණ සඳ ) යන සිදුවීම් 3ම එකවර සිදුවූ අවස්ථාවකි.චන්ද්‍රග්‍රහණයක් වීමට හිරු,පෘථිවිය සහ සඳ ඉහත පිලිවෙලින් එක් රේඛාවක පිහිටිය යුතුය.එලෙසම සුපිරි සඳක් වීමට සඳ තම කක්ෂයේ පෘථිවියට ළඟම ලක්ෂ්‍යයේද පැවතිය යුතුය. මෙම සියලු සිදුවීම් එකම දිනයකදි වූ නිසා එය සුපර් බ්ලූ බ්ලඩ් මූන්(super blue blood moon) ලෙස හැඳින්වේ. ඔබ එය දුටුවේ නම් ඔබ වාසනාවන්තය. ඒ නැවත මෙවැනි අවස්ථාවක් උදාවන්නේ තවත් වසර 20කට පසුව වන නිසාය.